ක්‍රිකට් ගොඩ ගන්න සිංහයෝ දෙදෙනෙක්

  👤  838 readers have read this article !
Published by : MB WEB 2017-11-11 17:12:48

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම තරග පරාජයන්ගේ මිහිර පමණක් විඳින කාලවකවානුවක ක්‍රිකට් පිළිබඳව ප්‍රේක්ෂකයකු වීමට හෝ ක්‍රිකට් ගැන කතා කිරීමට පවා අකැමැත්තක් දක්වන මෙරට බහුතර ක්‍රිකට් ප්‍රජාවගේ ඇඟිල්ල දිගු වන්නේ වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙතය.

එයට හේතුව මෙරට සමාජගත දේශපාලනයේ අතපෙවීම් මෙරට ක්‍රිකට් පරිපාලනයට රිංගා තිබීමට අමතරව ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක වන ක්‍රිකට් දේශපාලනය නිසාය.

එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු රටේ ජාතික ක්‍රීඩාවක නිසි වගකීම් උසුලන තැනක් බව අමතක කොට එහි අරක්ගෙන ඇති නිලධාරීන් කටයුතු කිරීමත් එවැනි වගකිවයුතු ඉහළ නිලධාරීන්ගේ හිතෛෂිභාවය මුසුවූ බල මහිමය තම ආභරණයක් කොටගෙන හැසිරෙන පිරිසක් ක්‍රිකට් ආයතනය තුළ හොල්මන් කරමින් සියලු දේ අනාගනිමින් කටයුතු කරති.

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් නොදුටු නාඩගම් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වමින් සිටින අතර ගෙවී ගිය මාස හයක කාලය පමණක් සලකා බැලුවහොත් හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පැදුරටත් නොකියා යෑමේ සිට තවත් විධියකින් කිවහොත් අසංක ගුරුසිංහගේ ආගමනයේ සිට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වෙමින් පවතින පරිහානිය ක්‍රීඩාංගණවලදී ලබන පරාජිත ප්‍රතිඵලවලින් ලෝකය පුරාම එළිදැක්වී ඇත.

ඒ පාපකර්මයට කරගැසීමට ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිදුවීම ඉතා කනගාටුදායක තත්ත්වයක් වී ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය පිළිබඳව අතීතයේ සිට අවබෝධයක් ඇති ක්‍රිකට්වලට ළැදි ප්‍රජාව නම් මෙහි ආදීනව හොඳින් තේරුම්ගෙන ඇත.

එහෙත් මෙකී යථාර්ථය ක්‍රිකට් කරවන මහත්වරුන්ට නොතේරීම සහ නොතේරෙනවා සේ සිටීම එක්තරා රඟපෑමක්දැයි සිතෙන තරමටම දිනෙන් දින කරුණු කාරණා ඉස්මතු වෙමින් පවතී.

කිසිදාක ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු ලෙස කටයුතු නොකළ අසංක ගුරුසිංහ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ ක්‍රිකට් කළමනාකරුවකු ලෙස පත්වීම් ලැබීමත් එතැන් සිට ප්‍රධාන පුහුණුකරුවාව සිටි ග්‍රැහැම් ෆෝර්ඩ්ගේ රාජකාරියට ඇඟිලි ගසා ඉන් කෑල්ලක් කඩාගෙන කටයුතු කිරීමට උත්සාහ කිරීමත් වත්මන් ක්‍රිකට් අර්බුදයේ ආරම්භයේ එක් ජවනිකාවක් පමණකි. එතැනින් පටන්ගත් අර්බුදයට තවත් පොහොර වැටුණේ එවකට පන්දු රැකීමේ පුහුණුකරුවාව සිටි නික් පෝතාස් ප්‍රධාන පුහුණුකරුවාගේ පුටුවේ අසුන් ගැනීමත් සමඟය.

ඉන් පසුව ක්‍රිකට් කණ්ඩායමට සිදු වෙමින් පවතින විපත තේරුම් ගන්නට ක්‍රිකට් පාලකයන් අසමත් වූයේ සත්‍ය ක්‍රියාත්මක කරනවාට වඩා තම තමන්ගේ කැමැත්ත පමණක් ක්‍රියාත්මක කිරීමේ න්‍යාය ඉදිරියේ තබාගෙන කටයුතු කිරීම නිසාය.

එම න්‍යාය ක්‍රිකට් ආයතනයේ තීරණ ගැනීමේදී භාවිත වූ හෙයින් ගුරුසිංහගේ සහ පෝතාස් දෙදෙනාට තවදුරටත් යහතින් වැජඹීමට අවස්ථාව උදා වූ අතර ක්‍රිකට් පාලකයන් ඉදිරියේ දණින් වැටී හෝ රැකියාව බේරාගත යුතුයි යන තියරිය ගුරුසිංහ සහ පෝතාස් දෙදෙනාම භාවිත කළහ. නමුත් ෆෝඩ්ගෙන් පසුව කල්ල මරේ යැයි මොවුන් දෙදෙනාම සිතුවද කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත් කර ගන්නට අසමත් වූ ගුරුසිංහ හා පෝතාස් යුවළ අවසානයේදී උත්සාහ කළේ පසුගිය පාකිස්තානුවන්ට එරෙහිව ලැබූ ටෙස්ට් තරගාවලි ජයෙන් පසුව හෝ ගොඩ එන්නටය.

එහෙත් එම උත්සාහයද අසාර්ථක වුණේ ඉන් පසුවත් එක දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයන් වැලක් උරුම කරගත් නිසාය. තවද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එල්ල වන එම අපවාදයන්ට තවත් කුණු එකතු වූයේ මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ක්‍රිකට් සංචාරයට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ටෙස්ට් සංචිතයෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කිරීම නිසාය. එහෙත් ඒවා ගැන ප්‍රශ්න කරන්නට මාධ්‍යට අවහිර කර තිබිණි.

වර්තමානයේ ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබන සියලුම ක්‍රියාකාරකම්වලදී කාන්තාවක් මුල් තැන ගෙන කටයුතු කිරීම අද තවත් මහා ව්‍යසනයක් බවට පත්ව ඇත. ඒ නිසාම මින් පෙර යම් තරමකින් හෝ ක්‍රිකට් දේශපාලනයෙන් අෑත්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය අද අච්චාරු සපයන තැනක් බවට පත් කර ඇත.

මින් පෙර කිසිදාක මාධ්‍යවේදීන්ට ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට ක්‍රිකට් මාධ්‍ය ඒකකයෙන් සහයෝගයක් මිස බාධාවක් එල්ල වූයේ නැත. එහෙත් අද තත්ත්වය ඉතා කනගාටුදායකය. එවන් අයහපත් ක්‍රියාවන්හි අලුත්ම සිදුවීම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට යෑමට පෙර දිනයේ දැකගත හැකි විය.

මාධ්‍ය උපදේශකයන් එමටය. මාධ්‍ය කළමනාකරු රූකඩයක් බවට පත්ව ඇත. "කුක්ලා වැඩි නිසා සුප් එක අවුල්" වැනිය. මේ අතරේ නව පුහුණුකරුවකු ලෙස චන්දික හතුරුසිංහ ලංකාවට පැමිණෙන බවට වාර්තා පළ වී ඇත. එය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සුබවාදී ප්‍රවෘත්තියක් වුවත් හතුරුසිංහගේ අනාගතයට එම තීරණය කෙසේ බලපාන්නේදැයි කීමට තවමත් ඉක්මන් වැඩිය.

එසේ වුවහොත් ගුරුසිංහ සහ හතුරුසිංහ යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාට ශ්‍රී ලංකා පිල භාර වනු ඇත. එවිට සිංහලා දෙදෙනකුට එක්ව වැඩ කිරීමට සිදුවේ. නමුත් හතුරුසිංහ යනු ෆෝඩ් මෙන් උපාසක ලීලාව පෙන්වන කෙනකු නොවන බව ගුරුසිංහ මෙන්ම කවුරුත් සිහිතබා ගත යුතුය.

සිරිනාම රාජපක්ෂ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්