නව ක්‍රිකට් පුහුණුකරු හතුරු!

  👤  1228 readers have read this article !
Published by : MB WEB 2017-11-10 12:13:59

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පුහුණුකරුවා ලෙස පත්කිරීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇති අතර ඒ බව තවදුරටත් තහවුරු කරමින් හතුරුසිංහ තමන් හොබවන ජාතික පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට භාරදුන් බවද ඊයේ සවස වාර්තා විය.

එනම් පසුගිය මාස කිහිපයේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ චන්දික හතුරුසිංහ අතර පැවැති සාකච්ඡාවලින් පසුව එළැඹී ඇති එකඟතාවක් අනුව හතුරුසිංහ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය භාරගැනීමට එකඟවී ඇතැයි පැවැසෙන අතර ඔහුට අදාළ වැටුප පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ අංශයේ සිදු කළ යුතු වෙනස්කම්ද එකී එකඟතාවන්ට ඇතුළත් බව දැනගන්නට ඇත. ඒ අනුව හතුරුසිංහ සමඟ එකඟ වූ කාරණා කිහිපයෙන් එක් කොන්දේසියක් ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු සමඟ දීර්ඝ කාලයක් බංග්ලාදේශයේ කටයුතු කළ තිලාන් සමරවීර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා ලෙස පත්කෙළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික පුහුණුකරුවන් සොයා ගිය ගමනේදී ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන ඩීන් ජෝන්ස් සහ ජේසන් ගිලෙස්පිද ඉදිරියෙන්ම සිටි ඉල්ලුම්කරුවන් වුවද වර්තමානයේදී ලොව ඉහළම ගණයේ වැටුපක් ලබන පුහුණුකරුවා මෙන්ම වෘත්තීය දස්කම් පෙන්නුම් කිරීම අතින් ඉහළින්ම සිටි ශ්‍රී ලාංකික චන්දික හතුරුසිංහ කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ අවධානයක් තිබූ බවද නොරහසකි. කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ වත්මන් පුහුණුකරුවා ලෙස 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් කටයුතු කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුම් අස්සන් කර තිබෙන බැවින් එම ගිවිසගත් කාලවකවානුව නිමා වන්නට පෙර හතුරුසිංහ පුහුණුකරු තනතුරෙන් ඉවත් වුවහොත් ඊට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් පාලකයන්ට නීතිමය පියවරක් ගැනීමට ඇති අයිතිය කෙරෙහි අවධානය යොමු වී ඇතැයිද මේ පිළිබඳ වාර්තා තවදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් කුමන අන්දමේ බාධක පැමිණියද චන්දික හතුරුසිංහ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවාගේ රාජකාරිය භාර ගැනීමට කැමැත්ත පළකොට අවසන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ නිලධාරියකු 'මව්බිම'ට ඊයේ තහවුරු කළේය. කෙසේ වෙතත් දෙවැනි වරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සම්බන්ධ වී 2019 ලෝක කුසලානය තෙක් පුහුණුකරු තනතුර භාරගැනීමට ගිවිසගත් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ් පසුගිය ජුනි මාසයේ හොර රහසේම තනතුර හැර දමා යෑමෙන් පසුව ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුර හිස් විය. ඒ අනුව එවකට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ නික් පෝතාස් අන්තර් වාර පුහුණුකරුවා ලෙස පත්කිරීමෙන් පසුව තවමත් එම තනතුරේම සිටී.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය ක්‍රිකට් සංචාරය අවසන් වීමත් සමඟ චන්දික හතුරුසිංහ නව ශ්‍රී ලංකා පුහුණුකරුවා ලෙස 2019 ලෝක කුසලානය නිමාවන තෙක්ම කටයුතු කිරීමට රාජකාරි කටයුතු භාර ගනු ඇතැයිද පැවැසේ. ඒ අනුව හතුරුසිංහගේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිදුකරන පළමු ක්‍රිකට් සංචාරය ලබන ජනවාරියේ බංග්ලාදේශයටම යෙදී තිබීම විශේෂත්වයක් වන අතර 49 වැනි වියෙහි පසුවන හතුරුසිංහ 2010 වසරේදී ආවරණ පුහුණුකරු (ඉඩචඤධඹ ඛ්ධචජඩ) ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ කටයුතු කිරීමට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 26කට සහ එක් දින ජාත්‍යන්තර තරග 35කට සහභාගි වී ඇත. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකාවට එනවාද? නැත්නම් නැවතත් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පුහුණුකරු තනතුරක් භාරගැනීමට යනවාද? යන්න තවමත් තීරණය කර නොමැති බවද තවත් වාර්තාවකින් කියැවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්