සම්මානනීය වුණ ගොළු තාත්තා නිසා අධ්‍යක්ෂවරයාගේ හිත හැදුණද?

  👤  1755 readers have read this article !
Published by : MB WEB 2017-11-01 16:51:06

සම්මාන උළෙලවල් කිහිපයකම ගොළු වුණ ගොළු තාත්තා මෙවර සිග්නීස් සම්මාන උළෙලේදී කතා කළා. ඔබට මොකද හිතුණේ?

මෙහෙමයි ප්‍රතික්‍ෂේප වීම මගේ ප්‍රශ්නයක් නොවෙයි. ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. අනෙක ලංකාවේ සම්මාන උළෙලක තියෙන ප්‍රමිතිකරණය ඉතාම පහළයි. එහිදී වෙන්නේ කලාකරුවාට අසාධාරණයක්. එය දිගින් දිගටම වෙනවා. පෞද්ගලික න්‍යාය පත්‍රවලට මෙම සම්මාන උළෙලවල් පවත්වන්නේ. ඉතින් මෙය තවදුරටත් සාමූහික කාරණාවක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මට හිතන්න වෙන කිසිවක් නැහැ.

පසුගිය සම්මාන උළෙල කිහිපයකම ගොළු තාත්තාට සම්මාන අහිමි වෙනවා. බොහෝ අය ඒ ගැන දුක් වුණා. ඔබත් ඔබේ නිර්මාණය අධි තක්සේරු කරමින් සම්මාන නොලැබීම ගැන කනගාටුවෙන්ද හිටියේ?

එහෙම නැහැ. මොකද මම නිර්මාණ කරන්නේ මගේ රස වින්දනය සඳහා. මොකද අඩුම තරමේ මටවත් රස වින්දනයක් මගේ නිර්මාණ හරහා නැතිනම් වැඩක් නැහැ. එම නිර්මාණයේ ගැඹුරක් හරයක් තියෙනවා කියලා මට දැනෙනව නම් විතරයි මං එය ප්‍රේක්‍ෂකයා අතරට යවන්නේ. මගේ නිර්මාණ හරහා බුද්ධි මට්ටමක් නැත්නම් දැනුම විශාලනය කරන්න පුළුවන් නම් ඒ මත ස්වයං නිර්මාණයක් මට ඇති කර ගන්න පුළුවන් නම් ඒ ඇති. මං අධි විනිශ්චයක නැහැ. හැබැයි ඔය හතර පස් දෙනා තෝරන විනිශ්චය මං පිළිගන්නේ නැහැ. අනික ඔවුන් ගැන මට දැඩි අප්‍රසාදයක් තියෙනවා.

ඔබට සිග්නිස් සිනමා උළෙලේ සම්මානනීය ඇගයුම් ලැබීම නිසා අදාළ විනිශ්චය මණ්ඩලය ගැන සෑහීමකට පත් වෙනවද?

මෙහෙමයි, විනිශ්චයට නතු කිරීම අපටත් කරන්න පුළුවන්, ඔබටත් පුළුවන් විනිශ්චය කරන්න. එය විවිධ බුද්ධි මට්ටම් අනුව තමයි තීරණය වෙන්නේ. හැබැයි උසාවියක විනිශ්චය ගත්තේ තර්කයට අනුව. එතකොට ඕනෑම කලා කෘතියක විනිශ්චයක් කිරීමේදී සවිඥානික බුද්ධියකින් පූර්ණ විග්‍රහයකින් හා පරිකල්පනයෙන් ගවේෂණයකින් ඉදිරිපත් කළ යුතුයි. එය සමාජයීය කාරණයක්. ඉතිං එය යථාර්ථවාදී විනිශ්චයක් විය යුතුයි. ඒ නිසා මං සෑහීමකට පත් වන්නේ නැහැ.

සමහරු සම්මාන ලැබෙද්දී සතුටු වෙනවා. නොලැබුණාම සම්මාන උළෙලවලට යම් යම් දෝෂාරෝපණ එල්ල කරනවා. හැබැයි ඔබ මේ දෙකෙහිදිම නිහඬයි. හරියට ගොළු තාත්තා වගේ. අඩුම තරමේ ඔබ සම්මාන උළෙලටවත් සහභාගි වන්නේ නෑ. ඒ ඇයි?

සම්මානයක් ලබාගන්න වුවමනාවක් තිබ්බේ නැතිවත් නොවෙයි. ඇතිවත් නොවෙයි. මට ඔය දේ ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. නොලැබුණත් ප්‍රශ්නයක් නැහැ. මං ටෙලි නාට්‍යයක් කළේ සම්මානයක් බලාගෙන නොවෙයි. මට මේ උත්සවයට යන්න වුවමනාවක් නැහැ. මට පියතුමා කතා කළා. නමුත් මම කිසිම සම්මාන උළෙලකට නොගිය නිසා මේකටත් ගියේ නැහැ. ඉතිං මෙම උත්සවයටත් නොගියේ ඒ හේතුව වගේම ඒ දවසේ තවත් වැඩක් මට යෙදුණු නිසා. අනික මට ලංකාවේ කලා උළෙලවල් ගැන අදහසක් නැහැ. මාව ඒ කලා උළෙලවලට සුදුසුත් නැහැ.

ඒ කියන්නේ ඔබ සම්මාන උළෙලවලට විරුද්ධද?

මම නිහඬව ඉන්න කැමැතියි. මගේ නිර්මාණ ගැන මම කතා කරන්නේ නැහැ. හැබැයි රුපියල් ශතවලට, විනිශ්ච මණ්ඩලවලින් තෝරන්නේ ධනපති පන්තියේ කාගේ හරි වුවමනා මත කාගේ හරි නිර්මාණයක්. එයට මං විරුද්ධයි. නිදහස් අධ්‍යාපනයෙන් ඵල ප්‍රයෝජන අරගෙන කිසි හිරිකිතයක් නැතිව ඔය විනිශ්චය මණ්ඩලවල ඉන්න මහාචාර්ය හොරු සම්බන්ධව මට නිහඬව ඉන්න බෑ. මං ඒ පිළිබඳ දිගින් දිගට කතා කළා. මම සමස්ත කලාව වෙනුවෙන් මිසක් මගේ නිර්මාණ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒකයි නිහඬව සිටියේ.

හැබැයි සිග්නිස් සම්මාන උළෙලේදී ගොළු තාත්තාට වටිනාකමක් නේද ලැබුණේ?

මෙහෙමයි ඒක ලැබුණා. ලැබිය යුතු දේ ලැබිය යුතුයි. මොකද අනුන්ගේ ඒවා මං ළඟ තබා ගන්නේ නැහැ. මහේන්ද්‍ර පෙරේරාට ලැබිය යුතු දේ ලැබිය යුතුයි. මාලනී ෆොන්සේකාට ලැබිය යුතු දේ ලැබිය යුතුයි. ඒ තැන ලැබිය යුතු වුණාට මට මේ සම්මානය ලැබීම දැනෙන්නේ නැහැ හැබැයි.

සම්මානයක් ලැබීම ඔබේ නිර්මාණ කාර්යයට උත්තේජනයක් නොවෙයිද?

මට කවුරුවත් කියලත් නෑ නිර්මාණ කරන්න කියලා. මං එහෙම කරන්නෙත් නැහැ. මම ගොළු තාත්තා 2005 කරන්න හිටියේ. මට සියලුම දක්‍ෂතා හැකියා තිබ්බා. නමුත් අපේ රටේ ඒ පිළිබඳව කතිකාවක් ගොඩනඟන්න පර්යේෂණයක් කරන්න කිසිම අවස්ථාවක් නෑ. ඒක සියලු කලාකරුවන්ට පොදුයි. ලංකාවේ එහෙම උත්තේජන කිසිම තැනක ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් සම්මාන උළෙලකින් ඒ කිසිවක් දැනෙන්නේවත් නැහැ.

ඔබ කුමකින්ද තෘප්තිමත් වෙන්නේ?

මම කරන නිර්මාණ මතම තමයි මං තෘප්තිමත් වෙන්නේ. මොකද ඇගයීම මම නොවෙයිනේ කරන්නේ. ඇගයීම අයිති ප්‍රේක්‍ෂකයාට.

එකම නාට්‍යටම සම්මාන කිහිපයක් ලැබෙද්දී සතුටු වෙන්න ඕන වුණත් ඔබ අසතුටෙන් වගේ පේන්නේ?

මට එහෙම එකක් නැහැ. මාව ඇගයීම ගැන සතුටුයි. මට පෙනෙන්නේ මේ සම්මාන ඇතුළේ ප්‍රෝඩාවක් තියෙන්නේ. ඉතිං ඔය හැමෝම කියන ඒවා මං පිළිගන්නේ නැහැ. නමුත් මං කොහොමත් සතුටින් ඉන්නේ. මට සම්මානයක් ලැබුණා කියලා දැනෙන්නේවත් නැහැ. අනික ලංකාවේ සතුටු විය හැකි සම්මාන උළෙලවල් නැහැ. ලංකාවේ දේශපාලනය වගේමයි මෙම කලා උළෙලවල්. පිට කොන්දක් නෑ. කුහක මහාචාර්යවරු ටිකක් ධනපති පුද්ගලයන්ට අනුව විනිශ්චය කරනවා එච්චරයි.

ඔබේ නිර්මාණ ප්‍රේක්‍ෂකයන්ට බර වැඩියි කියලා සමහරු කියනවා. ඇතැම් සම්මාන උළෙලවලදි එයට සම්මාන ප්‍රතික්‍ෂේප වෙන්නෙත් එය බලපාන්න ඇතිද?

මන්ද මානසිකයෝ නෙවෙයි නම් හොඳටම තේරනවා. මොකද මගේ ටෙලි නාට්‍යත් මහා එකක් නෙවෙයි. මේ වගේ ඒවා ඕන තරම් තිබිලා තියෙනවා. මේ නාට්‍ය එක නාට්‍යයක් විතරයි.

ඔබේ නිර්මාණ වටේ එක් රැස් වුණ ප්‍රේක්‍ෂකයන්ට නව නිර්මාණයක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකිද?

ඔව්. මේ වසරේ චිත්‍රපටයක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. එය ඉදිරියේදී ප්‍රේක්‍ෂකයා අතරට එයි.

නුවන් හෙට්ටිආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්