හෙළ වාරි ශිෂ්ටාචාරය පිළිබඳ ප්‍රථම සිනමා නිර්මාණය තිරයට

  👤  1686 readers have read this article !
Published by : MB WEB 2017-10-28 12:23:30

ජනතාවට කුණු ගොඩවල් විකුණලා මුදල් හම්බ කරන්න වුවමනා නැහැ.

ඔබේ කුලුඳුල් සිනමා අධ්‍යක්‍ෂණය ප්‍රේක්‍ෂකයෝ අතරට ගේන්න සූදානම් නේද?

ඔව්. 'කාල' සිනමා සිත්තම මේ මාසේ 27 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට මුදා හරින්න සියලු කටයුතු සූදානම්. මේ 27 වැනිදා සිට දිවයින පුරා රිද්ම මණ්ඩලයේ සහ CEL මණ්ඩලයේ සිනමාහල්වල චිත්‍රපටය තිරගත වෙනවා.

චිත්‍රපටය රූගත කරලා එය ප්‍රේක්‍ෂකයන් අතරට ගේන්න කාලයක් බලාගෙන ඉන්නත් වුණා නේද?

මීට අවුරුදු තුනකට ඉස්සෙල්ලා තමයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කළේ. පොඩි පොඩි ගැටලු සහ චිත්‍රපට පෝලිමේ තියෙන ප්‍රශ්නය නිසා චිත්‍රපටය තිරගත කරන්න ටිකක් පරක්කු වුණා. දැන් චිත්‍රපටය ප්‍රේක්‍ෂකයන් අතරට ගේන්න පුළුවන් පසුබිම හැදිලා තියෙනවා.

චිත්‍රපටයේ දිගහැරෙන කතාන්දරය ප්‍රේක්‍ෂකයන් වෙනුවෙන් මතක් කළොත්?

අනුරාධපුරයේ ධාතුසේන රජ සමයේ රජතුමාට ඕන වුණා වැවක් නිර්මාණය කරන්න සුදුසු ස්ථානයක් හොයා ගන්න. යම් යම් නිලමේලාට එය භාරදීලා එය සොයාගෙන යන අතරේ රජතුමත් යනවා කැලෑවට මේ තැන හොයන්න. ඔය අතරේ කැලෑවේ කැලෑ සතා ලෙස හඳුන්වන මනුස්සයෙක් ගැන මිනිස්සු අතරේ රාවයක් යනවා. රජතුමාට මස් ගෙනියන මස් වැද්දා කැලෑ සතාව අල්ලාගෙන ගිහින් රජතුමාට භාර දෙනවා. රජතුමා කැලෑ සතාගෙන් මහාවාපියක් නිර්මාණය කර ගන්න ස්ථානය සොයාගෙන ඔහුව වැව් භාර නිලමේ බවට පත් කරනවා. ඒ කතාව තමයි චිත්‍රපටයේ ඉදිරියට ගලා යන්නේ.

මෙහි තිර රචනය ඔබේ වුවමනාවටම ගොඩනැඟුණක්ද?

මේ තිරපිටපත ලියන්නේ ඩී. කේ. ආටිගල කියලා ළමා නාට්‍ය ශිල්පියෙක්. ඔහුව මට මුණ ගස්වන්නේ දර්ශන රුවන් දිසානායක. මමයි දර්ශනයි කොහොමත් ඉතිහාසයෙ සිදුවුණ සංසිද්ධීන් ගැන කතා බහ කරනවා. ඔය කතා බහේ ප්‍රතිඵලයක් ලෙස තමයි මට ආටිගලව හඳුන ගන්න ලැබෙන්නේ. මෙහි තියෙන්නේ කඩවර දෙවියන් සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ එන කතාවක්. මේ කතාව පාසලේ 6 ශේ‍ර්ණිය පෙළ පොතෙත් තියෙනවා. ප්‍රසිද්ධ ජනප්‍රවාද දෙකක් අරගෙන තමයි මෙය නිර්මාණය කරන්නේ.

'කාල' කියන්නේ ඉතිහාස කතාවක්. ඇයි එවැනි තේමාවකින් ඔබේ පළමු නිර්මාණය ගොඩනඟන්න හිතුවේ?

සිනමා කෘතියක් හෝ මොන යම් හෝ නිර්මාණයක් කරද්දි කලාකරුවෝ විදියට නිර්මාණයේ ප්‍රස්තුතය තෝරා ගැනීමේදී කාලෝචිතව ගැළපෙන තේමාවක් තෝරගත්තොත් තමයි එය වඩාත් ප්‍රතිඵලදායි. 'කාල' සිනමා කෘතිය ඉතිහාස කතාවක් ආශ්‍රයෙන් ගත්තත් වර්තමානයට වගේම අනාගතයටත් සෑහෙන වශයෙන් ගැළපෙයි. එය තමයි මේ තේමාව තෝරගන්න ප්‍රධාන කාරණය වුණේ. ඒ වගේම සිංහල ජාතීන් වූ අපිට අනන්‍යතාවක්, සංස්කෘතියක් තිබෙනවනේ. ඒවා තවදුරටත් රැකගෙන සමාජගත කරද්දී අනන්‍යතාව, සංස්කෘතිය ගැන කතා කරන්න අපිට තියෙන්නේ ඉතිහාසය විතරයි. ඒ කාරණා නිසා තමයි මම මේ තේමාවෙන් චිත්‍රපටය කරන්න පෙලඹුණේ.

පසුගිය කාලේ පුරා ඉතිහාස කතා රැල්ලක් බිහිවුණා. ඒ තුළ ඒකාකාරී හැඩයක් තිබුණා. නමුත් 'කාල' කියන්නේ ඉතිහාසයේ සුවිශේෂී වූ දෙයක් පදනම් කරගෙන කළ නිර්මාණයක්?

අනිවාර්යයෙන්ම. ඉතිහාස කතා ගත්තම මෑත කාලයේ බිහිවුණ ඉතිහාස කතා රැල්ලක් ලෙස තමයි බොහෝ අයට පේන්නේ. නමුත් ඉතිහාස කතා කලිනුත් සිද්ධ වුණා. යම් යම් කාල සීමා වලදි ඉතිහාස කතා අඩු වැඩි වශයෙන් නිෂ්පාදනය වුණා. පසුගිය කාලේ බිහිවුණ ඉතිහාස කතාවල ඒකාකාරීත්වයක් දැක්කා කියලා ගොඩක් අය කියනවා. නමුත් මට තවත් නිර්මාණයක් විවේචනය කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ. මම තීරණය කළා මගේ නිර්මාණය මට අනන්‍යතාවක් තිබෙන, මගේ අනන්‍ය ක්‍රමවේදයකින් ප්‍රකාශ කරන්න. වෙන කවුරුවත් ඉතිහාස කතා කරන විදිහට මට කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මම මෙය නිර්මාණය කරන්න මට ආවේණික වුණ ශෛලියක් භාවිත කළේ. මම සමහර රීති මෙහිදී කැඩුවා.

ඔබට අනන්‍ය වූ ශෛලීන් කියලා ඔබ අදහස් කළේ?

මම මේ චිත්‍රපටය නිර්මාණය කරන්න දේශීය හෝ විදේශීය නිර්මාණයක් ආදර්ශයට ගත්තේ නැහැ. මට හොඳයි කියලා හිතෙන ආකාරයට තමයි මම මේ නිර්මාණය කළේ. එහෙම නැති වුණොත් අපිට අව්‍යාජ නිර්මාණයක් එළියට දාන්න බැහැ.

ඉතිහාස කතා ප්‍රතිනිර්මාණය කිරීමේදී, අසා තිබෙන ඉතිහාසයට හානිවන නිර්මාණ අපි දැකලා තියෙනවා. මෙය එවැනි නිර්මාණයක් නොවෙයිද?

ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමේදී කලාකරුවෙක්ට තමන්ගේ පරිකල්පන ශක්තිය මත එය ගොඩනැඟීමේ හැකියාව තියෙනවා. නමුත් අපි දන්න ඉතිහාසයට හානියක් නොවී නිර්මාණයක් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. 'කාල' කියන්නේ ඉතිහාසයටත් හානියක් නොකර සිනමාවටත් හානියක් නොකර කරපු අහිංසක නිර්මාණයක්.

ඉතිහාස කතාවක් වුවත් හෙළ වාරි කර්මාන්තය පිළිබඳ ප්‍රථම වතාවට චිත්‍රපට නිර්මාණයක් කිරීමට හැකිවීම ගැන ඔබ සතුටු වෙනවා ඇති?

ඇත්තටම සතුටුයි. මේ කතාව ගැන කියද්දී අපි ඒක කරන්න එක පයින් කැමැති වුණා. මේක දැවැන්ත වැඩක් නිසා නිර්මාණය කරන්න අභියෝගයක් තිබුණා. රජ කතාවක්ම විතරක් වුණා නම් මම මේ චිත්‍රපටය කරන්නේ නැහැ.

ඔබ මේ නිර්මාණයට අධ්‍යක්‍ෂණයෙන් වගේම බොහෝ කර්තව්‍යයන්ට උරදුන්නා කියලා ආරංචියි?

මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්‍ෂණ කටයුතු කළෙත් මමමයි. පසුතල ඉදිකරලා මේ වගේ නිර්මාණයක් කරන එක ලේසි නැහැ. නමුත් මම එයත් කරලා අධ්‍යක්‍ෂණයත් කරලා පසු නිෂ්පාදන කටයුතුවලදීත් ප්‍රචාරණ කටයුතුවලදීත් මම විසින් ගොඩක් දේවල් කළා. නිර්මාණය වෙනුවෙන් මම සෑහෙන්න මහන්සියක් වුණා.

මේ නිර්මාණයට සිනමාවේ දැකලා හුරු නුහුරු, නමුත් දක්‍ෂ රංගන ශිල්පීන් පිරිසක් සම්බන්ධ කරගෙන තිබෙනවා. චරිත තෝරා ගැනීමේදී ඔබ මොන වගේ තක්සේරුවකද හිටියේ?

මගේ තෝරා ගැනීම් ගැන ඇත්තටම මට සන්තෝෂයි. මෙහි ප්‍රධාන රංගන ශිල්පීන්, ශිල්පිනියන්ට අමතරව අනෙකුත් චරිත සඳහා තෝරාගත් ශිල්පීන්, ශිල්පිනියන් සහ කුඩා ළමයින් මම තෝරා ගන්න උනන්දු වුණේ කොළඹට පරිබාහිරින්. චරිත තෝරා ගැනීමේදී මම බාහිර ස්වරූපය ගැන වගේම ශරීර ප්‍රකාශනය ගැන ගොඩක් සැලකිලිමත් වුණා. මහේන්ද්‍ර පෙරේරා වැනි දක්‍ෂ නළුවෙක් මම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තා. මාදිනි මල්වත්ත වේදිකාවේ ඉතාම දක්‍ෂ නිළියක්. ඒ වගේ දක්‍ෂ පිරිසක් මම මෙයට දායක කර ගත්තා.

විශ්ව කොඩිකාරව අපි මීට කලින් මේ වගේ නිර්මාණයකින් දැකලා තිබ්බේ නැහැ. ඔබ ඔහුටත් මේ තුළ වෙන හැඩයක් දීලා?

ඔව්. ඔහුව දකින්නේ ජනප්‍රිය රැල්ලේ නිර්මාණවලින්. නමුත් මම දකින විදිහට විශ්වට ඊට එහා දක්‍ෂතාවක් තිබුණා. විශ්වගෙන් මේ හැකියාව එළියට ගන්න මම ඔහුව මගේ චිත්‍රපටයට තෝරා ගත්තා.

සම්භාව්‍ය සිනමා නිර්මාණ, වාණිජ සිනමා නිර්මාණ, ළමා සිනමා නිර්මාණ වශයෙන් විවිධ ප්‍රේක්‍ෂකයන් ඉලක්ක කරගත් සිනමා නිර්මාණ ලාංකේය සිනමා පසුබිම තුළ නිර්මාණය වෙනවා. 'කාල' මොන වගේ ප්‍රේක්‍ෂක පිරිසක් ඉලක්ක කරගෙනද නිර්මාණය කළේ?

මට හිතෙනවා මේ චිත්‍රපටය රටේ විශාල පිරිසක් නරඹයි කියලා. මෙහි පාසල් දරු දැරියන්ට අධ්‍යාපනික වටිනාකමක් තිබෙනවා වගේම සාමාන්‍ය ජනතාවට, පවුලේ සියලු දෙනාට එකට සිට මෙය නරඹන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ සියලුම ප්‍රේක්‍ෂකයන් මේ චිත්‍රපටය වැලඳ ගනියි කියලා මම හිතනවා. මේ චිත්‍රපටය බලලා සුන්දරත්වය විඳිනවා වගේම මිනිස්සුන්ට හිතන්නත් දෙයක් තියෙයි.

අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ඔබේ පළමු වෑයම සාර්ථකයි කියලා හිතනවද?

මම කරන දේ ගැන මම නිගමන දෙන්න හොඳ නැහැ. අපිට සියලු දෙනාම සතුටු කරන්න බැහැ. සතුටු වෙන කෙනා සතුටු වෙයි. මම හිතනවා මේක වැඩි ප්‍රේක්‍ෂක පිරිසක් අතරට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. එතකොට අපිට හිතෙනවා ප්‍රේක්‍ෂකයෝ මේ චිත්‍රපටය නරඹලා රසවින්දනයක් ලබලා යද්දී තමන්ගේ හිතට මොනයම් හෝ දෙයක් දැනෙනවා නම් ගෙදර ගියාමත් චිත්‍රපටයේ මොනයම් හෝ අඩුපාඩුවක් ගැනවත් හිතන්න අවස්ථාවක් තියෙනවා නම් එතැන මම සාර්ථකයි.

ඒ කියන්නේ ඔබ ගුණ වගෙම ‍ෙදාස් අහන්න සූදානමින් වගේ ඉන්නේ?

අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕනේ. අපි කරන කිසි දෙයක් සියයට සියයක් සාර්ථක නැහැනේ. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕන ගුණ ‍ෙදාස් සියල්ල අහන්න. හැබැයි අපිට හැමෝම කියන දේවල් කරන්න බෑනේ. සියලු දෙනාම සතුටු කරන්නත් අපිට බැහැ.

කලා අධ්‍යක්‍ෂවරයෙක් වුණ ඔබ සිනමා අධ්‍යක්‍ෂණය තෝරා ගත්තේ ඉදිරි පිම්මකටද?

මම අධ්‍යක්‍ෂවරයෙක් වෙන එකත් හරිම අමුතුයි. 2009 මම කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා 'සීමා' කියලා. කලා අධ්‍යක්‍ෂවරයෙක් ලෙස මම සාර්ථක වුණාට පස්සේ ඊළඟ අදියරට යන්න ඕන කාලේ හරි කියලා මට දැනුණට පස්සේ මම කෙටි චිත්‍රපටයක් සඳහා පිටපතක් ලිව්වා. එය ලියලා මම පෙන්නුවේ ජයන්ත චන්ද්‍රසිරිට. ජයන්ත අයියා පිටපත කියවලා මට කිව්වා ඒ පිටපතේ කිසි දෙයක් වෙනස් කරන්න එපා කියලා. මම ඒ කෙටි චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළා. ඒ කෙටි චිත්‍රපටයට බොන්ෂුවා කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටයට සම්මානය ලැබෙනවා. සිග්නිස් සම්මාන උළෙලෙත් එය හොඳම කෙටි චිත්‍රපටය වෙනවා. එතැනදී මට ලැබුණ ප්‍රතිචාරවලින් මට තේරුණා මේ කරනදේ හොඳයි කියලා.

ඔබේ පළමු කෙටි චිත්‍රපටය සම්මානනීය ඇගැයුම් ලැබුවා. 'කාල' කියන්නේ ඊට බොහෝ සෙයින් ඉදිරියට ගිය නිර්මාණයක්. මේ නිර්මාණය වෙනුවෙන් සම්මානනීය ඇගැයුම් ගැන බලාපොරොත්තුවක් තියෙනවද?

දැන් සම්මාන උළෙලවල් තියෙනවා. අපිට සම්මානත් ලැබෙනවා. කලා අධ්‍යක්‍ෂවරයෙක් විදියටත් මම සම්මාන යම්කිසි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. නමුත් මේ සම්මාන උළෙලවල්වල තියෙන ප්‍රමිතීන් ගැන මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. සම්මාන උළෙලවල විනිශ්චය මණ්ඩලවල ඉන්න අයගේ චිෂයානුබද්ධ බව ගැනත් මට ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ කෘතිය හොඳ නම් සම්මාන නොලැබෙන්න හේතුවක් නැහැ.

දැනටමත් චිත්‍රපටයට ඇගැයීම් කිහිපයක් ලැබිලා තියෙනවා නේද?

සංගීත සම්මාන උළෙලේ හොඳම ළමා ගායකයාට හිමි සම්මානය ලැබුණේ හිමාෂ මනුප්‍රියට. ඒ උළෙලේම හොඳම ගී තනු හා සංගීත අධ්‍යක්‍ෂණයට දර්ශන රුවන් දිසානායකට සම්මානය ලැබුණා මේ චිත්‍රපටයෙම ගීතයකට. සංගීතමය පැත්තෙන් අපිට දැනටම සම්මාන ලැබිලා තියෙනවා. හෙළ වාරි ශිෂ්ටාචාරය ගැන කරපු ප්‍රථම සිනමා කෘතිය ලෙස ඕස්ට්‍රේලියාවෙන් අපිට ගෞරව සම්මානයකුත් ලැබුණා.

එක එක නිර්මාණකරුවෝ සල්ලි හොයන්න, විනෝදයට, ආත්ම තෘප්තියට නැතිනම් තමන්ගේ හැකියාව පෙන්නගන්න නිර්මාණ කරනවනේ. ඔබ චිත්‍රපට අධ්‍යක්‍ෂණයට අත තිබ්බේ කුමන අභිලාෂයකින්ද?

මේක ටැක්ස් කවර් කරන්න කරපු නිර්මාණයක් නෙවෙයි. මේක කැසිල්ලට කරපු නිර්මාණයක්. මම අවුරුදු විසි එකක් විතර වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපටවල කලා අධ්‍යක්‍ෂණය කරමින් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. මම මේ කලාවට ආදරෙයි. අපිට මුදල් ඕන ජීවත් වන්න. හැබැයි ජනතාවට කුණු ගොඩවල් විකුණලා මුදල් හම්බ කරන්න වුවමනා නැහැ. ප්‍රේක්‍ෂකයාට බුද්ධි මට්ටම වැඩි කරන්න එක දශමයකින් හරි අපිට දායක වෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මම කරන නිර්මාණයකින් මම බලාපොරොත්තු වෙන්නේ මතුපිටින් දෙයක් බලලා රස විඳින්න පුළුවන් පිරිසට එහෙම රස විඳින්නත්. ගැඹුරට බැහැලා රසවිඳින්න පුළුවන් පිරිසට යටි පෙළක් තියෙන නිර්මාණ කරන්න.

පළමුවැනි සිනමා නිර්මාණය නිසා ගීත වැඩිපුර දාලා වාණිජ හැඩයකට විකුණන්න පහසු විදිහේ නිර්මාණයක් කරන්න ඔබට වුවමනා වුණේ නැද්ද?

මේ චිත්‍රපටයේ සමහර ගීත නිර්මාණය කළේ චිත්‍රපටයේ රූගත කිරීම් නිම කරලා. චිත්‍රපට සංස්කරණය කරමින් යද්දී මට හිතුණා ඒ ඒ තැන්වලට වෙන සිංදුවක් ඉල්ලනවා කියලා. සමහරු කරන්නෙ සිංදු අටයි ෆයිට් අටයි චිත්‍රපටනේ. නමුත් ඒ කාලේ ගියා. දැන් කලාත්මක සිනමාව වෙනුවෙන් අපේ රටේ පිරිසක් හැදීගෙන එන වෙලාව. මේ වෙලාවේ චිත්‍රපටය බලලා යමක් ගෙදර ගෙනියන්න බැරි නම් නිර්මාණයක් කරලා වැඩක් නැහැ.

ඔබ ඉදිරියටත් එවැනි නිර්මාණ කරන්නේ නැද්ද?

නැහැ. එහෙම වුණොත් මම මේ ක්‍ෂේත්‍රයෙන් අයින් වෙනවා. කලා අධ්‍යක්‍ෂවරයෙක් විදියට මම තෝරගත්ත නිර්මාණ කළේ. කලා අධ්‍යක්‍ෂවරයෙක් විදියට මට යමක් කරන්න තියෙනවා නම් කළා. මම වැඩ කළෙත් අධ්‍යක්‍ෂවරු තෝරා බේරාගෙන. කරන්නන් වාලේ කරන නිර්මාණවලට මම කැමැති නැහැ. වෙලේගෙදර රණසිංහ මගේ ගුරුන්නාන්සේ. ඔහු මුදල් පස්සේ ගියේ නැහැ. ඒ ආභාසය මට තියෙනවා. අපි කරන දේ රහක් තියෙන්න ඕන.

ඉදිරි වැඩවලට අඩිතාලමක් දාලද තියෙන්නේ?

තවත් සිනමා කෘති දෙකක් කරන්න සාකච්ඡා මට්ටමින් තියෙනවා. ඒ දෙකෙන් අති දැවන්ත නිර්මාණයක් කරන්න තියෙනවා. එය ලංකාවේ එදාමෙදා කරපු දැවැන්ත නිර්මාණයක් වෙයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්