නිදන් සොරුන්ගේ ග්‍රහණයට හසුවූ මාවෙල වළගම්බා රජමහ විහාරය

  👤  1868 readers have read this article !
Published by : MB WEB 2019-02-12 07:01:52

රඹුක්කන - සරත් උඩගම

අවස්ථා කීපයකදීම නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වූ මාවෙල වළගම්බා රජමහ විහාරස්ථානය ක්‍රි.පූ. 103ක පමණ අෑත අතීතයකට දිවයන්නකි. පෞරාණික බව විදහා දැක්වෙන මෙම පුදබිම කෙරෙහි බලධාරීන්ගේ දෑස් යොමුකර මතු පරපුර ආරක්‍ෂා කර දෙන්නැයි විහාරාධිකාරි පොළොන්නරුවේ තල්පොත අත්තදස්සි හිමි ඉල්ලීමක් කරයි.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල නගරය පසුකර පහළ කඩුගන්නාවේ පැරැණි අම්බලමට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පහළට ගල් පඩි 240ක් බැස ගිය පසු ඝණ්ටාර කුලුන සහිත පිවිසුමෙන් විහාර බිමට ඇතුළුවූ පසු කටාරම් සහිත ගල්ලෙන තුළ දාගැබ දක්නට ලැබෙන අතර පෞරාණික බව විදහා පාන වසර 200ක් පමණ පැරැණි බෝධීන් වහන්සේ වැඩ සිටින අතර දෙවැනි ගල්ලෙනෙහි මහනුවර යුගයේ බිතුසිතුවම් සහිත කටාරම් ලෙන තුළ දහඅට රියන් වූ සැතපෙන බුද්ධ ප්‍රතිමාව දක්නට ලැබේ. මෙම ප්‍රතිමාවේ පපු පෙදෙස සිරස්පත නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වූ බවට තොරතුරු දැක්වේ.

කටාරම් කෙටූ ගල්ලෙන් ත්‍රිත්වයකින් සමන්විත මෙම පුදබිමේ අනෙක් ගල්ලෙන් සංඝාවාසය ලෙස භාවිත කරයි. කුඩා කාමර කිහිපයකින් සමන්විත සංඝාවාසය තුළ වත්මන් විහාරාධිකාරි හිමියන් වැඩසිට මෙම පුද බිම ආරක්‍ෂා කිරීමට වෙරවීරිය දරන අයුරු එහි ගිය අප වෙත දැක ගැනීමට ලැබිණි. මෙම ගල්ලෙන වළගම්බා රජතුමා සැඟව සිට සේනා සංවිධාන කටයුතු කළ ස්ථානයක් බවටද තොරතුරු වාර්තා වේ.

මෙම පුදබිම පිළිබඳ විහාරාධිකාරි

පොළොන්නරුවේ තල්පොත අත්තදස්සි හිමි පැවැසුවේ මෙම විහාරස්ථානය වළගම්බා රාජ්‍ය සමය පුරා දිවයන පෞරාණික සිද්ධස්ථානයක්. වර්තමානයේ ලංකාරාම විහාරයේ නායක හිමිපාණන් වහන්සේගේ භාරකාරත්වය යටතේ පවතින එකක්. මම මේ ස්ථානයට ඇවිත් මාසයක් පමණ වෙනවා. මම එන විට වල්වැදී කැලෑවෙලා තිබුණු ස්ථානයක්. හැටපස් අමුණක් තිබෙන පන්සලක් වුවත් මම එනවිට ඉතාම සුළු දායක පිරිස 200ක් විතර එකතු කරගත්තා. මගේ අරමුණ මේ පුදබිම වන්දනාකරුවන් උදෙසා වන්දනාමාන කිරීම සඳහා සංවර්ධනය කිරීමයි. කඩුගන්නාවේ අම්බලමට දෙන ප්‍රසිද්ධියවත් මේ රජමහ විහාරයට ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙහි ඇති චෛත්‍ය සහ විශාල පිළිමය නිදන් හොරුන් හාරලා තියෙනවා.

බැද්දවෙල පදිංචි ඩී.පී.ජී.එස්. වික්‍රමසිංහ මහතා: මේ පන්සල පිළිබඳ අපිට තොරතුරු දැනගන්න ලැබුණාට පස්සේ මමත් මගේ යාළුවත් සමඟ ආවා. ඒ එනකොට හාමුදුරුවෝ වැඩ සිටියා. අපි හාමුදුරුවොත් සමඟ කතා කළා. එතකොට තමයි දැනගත්තේ හාමුදුරුවෝ මේ ස්ථානයට අලුතින් වැඩමකර සිටින්නේ කියලා. හාමුදුරුවන්ගේ උත්සාහය මේ සිද්ධස්ථානය දියුණු කරන්නයි. ඒ බව අපිට උන්වහන්සේ සමඟ කතා කරන අවස්ථාවේ දැනගන්නට ලැබුණා.

ගන්ගොඩ පදිංචි ආර්.වයි. සිරිසෝම මහතා: දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ තමයි මේ විහාරස්ථානයට යන්න වෙලා තියෙන්නේ. අපි මේ වාගේ පන්සල් හොයාගෙන යනවා. ඇත්තටම මේ ස්ථානය ගැන කවුරුත් වැඩිය දන්නේ නෑ. මේතැනට ආවාමයි මේ ස්ථානයට අත්වෙලා තියෙන ඉරණම දැකගත්තේ. විහාරස්ථානයට අලුතින් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කර සිටිනවා. උන්වහන්සේගේ ලොකු උනන්දුවක් තියෙනවා විහාරස්ථානය දියුණු කරන්න. ඒ සඳහා උන්වහන්සේ සමඟ දායකයන් පිරිසක් එකතු වෙමින් පවතිනවා.

බැද්දෙවල පදිංචි වයි.ජී. ජයවීර මහතා: මේ වාගේ වෙහෙර විහාරස්ථාන ආරක්‍ෂා කිරීමට තරුණ භික්‍ෂුන් වහන්සේ නමක් ඉදිරිපත්වීම ගැන සතුටක් දැනෙනවා. උන්වහන්සේ ආරක්‍ෂා කිරීමත් විහාරස්ථානය ආරක්‍ෂා කිරීමත් දායකයන්ගේ යුතුකමක් වෙනවා.

රුවන් දර්ශන මහතා: මම මුස්ලිම්. මගේ නෝනා බෞද්ධ. ඒ නිසා මමත් මේ බෞද්ධ වුණා. අපි කවුරුත් මිනිස්සු. ඒ නිසා ආගම්වලට ජාතිවලට බෙදිලා වැඩක් නෑ. අපි කවුරුත් එකතුවෙලා මේ ස්ථාන ආරක්‍ෂා කරමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon