බොන්න වතුර යන්න පාරක් නැතිව දුක් විඳින කඳුකර වැසියෝ

  👤  1540 readers have read this article !
Published by : MB WEB 2019-02-11 07:02:02

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

පළාත් දෙකක මායිමේ පිහිටි කඳුකර ජනපදයක පවුල් 30කට වැඩි පිරිසක් මේ වන විට ගමට යෑමට පාරක් සහ ජලය නොමැතිකමින් පීඩාවිඳින අතර ඒ වෙනුවෙන් මෙතෙක් කිසි අයකුගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ඔවුන් එම දුෂ්කරතා මධ්‍යයේ අපහසුවෙන් ජීවිකාව ගෙන යන අයුරු ඉකුත් දිනෙක අප එහි සංචාරය කිරීමේදී දැකගත හැකි විය.

මේ ගම්මානය මධ්‍යම පළාතටත් තවත් කොටසක් සබරගමුව පළාතටත් අයිති වන අතර මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කලාපයට අයත් කෙහෙල්පන්නල නැඟෙනහිර හා මධ්‍යම පළාතට අයත් ගල්පාය ග්‍රාමසේවා වසමට අයත් පවුල් මේ ගම්මානයේ බොහෝම අමාරුවෙන් ජීවිකාව ගෙනයයි. මේ ගම්මානය රිළාගල සහ 17 කොටස ලෙස බොහෝ දෙනකු හඳුන්වයි. මුහුදු මට්ටමේ සිට අඩි 1,000කට වඩා වැඩි උසකින් මේ කඳුකර ගම්මානය පිහිටා ඇති අතර ගමේ සිට අවට පරිසරය ඉතා සුන්දරව දැකගත හැකි වෙයි.

හෙම්මාතගම හරහා කෙහෙල්පන්නල, පුහුල්හේන පසු කරමින් වාහනයකින් ගමන් කරන කෙනකුට එතැන් සිට මේ ගමට අඩි පාරවල් ඔස්සේ ගමන් කර පිවිසිය හැකි අතර කඳු හෙල් සහිත ගල් බොරලු තරණය කරමින් මේ ගමන යා යුතුයි. නැති නම් මධ්‍යම පළාතේ ගම්පොළ මී තලාව මාර්ගයේ පැමිණ අලුගොල්ල හන්දියෙන් ගම්මානය වෙත පිවිසිය හැකිය. පරම්පරාගතව ජීවත් වන ඔවුන් බොහෝදෙනා ජීවත් වෙන්නේ වැවිලි බෝග වගාවෙන් හා කෘෂිකාර්මික ජීවන කටයුතු සහ කුලී වැඩ කටයුතු කරගනිමින්ය. රජයේ රැකියා කරන අය මේ ගම්මානයේ නොමැති බව එහි ගිය අපට ගම්වැසියෝ පවසති. ඔවුන්ට ගම්මානයේ සිය ජීවන වෘත්තිය කර ගැනීමට තිබෙන අපහසුකම් නිසා කුලී නිවාස හා පවුලේ ඥාතීන්ගේ නිවාසවලට ගොස් පදිංචි වී සිටී. දැනට මෙම නිවාසවල ජීවත් වන පාසල් දරුවන් ඉතා අපහසුවෙන් උදේ සවස මාර්ග පහසුකමක් නොමැති කැලෑ මාර්ග හරහා පාසල් වෙත ගමන් කරනු ලැබේ.

පී.ජී. පියදාස (70) නො. 17, කෙහෙල්පන්නල

මහත්තයෝ මේ ගම්මානයේ අපි ජීවත් වෙන්නේ ගොඩාක් අමාරුවෙන්. ඇත්තෙන්ම නියඟත් සමඟ මේ වන විට අපිට ජලය නොමැති නිසා විශාල කරදරයකට මුහුණපාන්න සිද්ධවෙලා තියෙනවා. ගමට එන්න පාරවල් ගණනාවක් තිබුණත් එන්න තියෙන කෙටිම ගමන් මාර්ගයන් තියෙන්නේ මීතලාව ගම්පොළ පාරේ ඇවිත් අලුගොල්ල හන්දියෙන් ඉඳලා අඩිපාර දිගේ ගමට කිලෝමීටර් තුනහතරක් පයින් එන එකයි.

පවුල් 30කට වැඩි දෙනෙක් ගමේ ඉන්නවා. ඉතින් මේ බොහෝ පවුල්වල ඉන්න දරුවන් පාසල් යවන්න තමයි මේ ගමේ අය ගොඩාක් කරදරයක මුහුණපාන්නේ. ඒ මොකද යන්න එන්න පාරක් නැති නිසා ගෙදර කවුරු හරි දරුවන් එක්කරගෙන පාසල් යවන්න යන්න ඕනෑ. අලුත්ගම, මීතලාව, ගල්පාය පාසලට තමයි යන්නේ.

ඒ වාගේම මහත්තයෝ නියඟය නිසා මේ වන විට උල්පත් සේරම හිඳිලා තියෙන්නේ. ඒ නිසා කවදාවත් නැති විදියට අපි දැන් අමාරුවේ වැටිලා ඉවරයි.

අලුගොල්ල, මීතලාව සෝමපාල (63)
අපිට දැන් අවුරුදු 10කට කලින් විදුලිය ලැබුණා. ඒ අලුගොල්ල හරහා. පාර හැදුණා නම් ගොඩක් වටිනවා. දැන් වතුර ගේන්නත් අම්බුළුවාවට යන්න ඕනෑ කිලෝමීටර් දෙක තුනක්. ඒ කන්ද බැහැලා නැවත වතුර අරන් කන්ද නඟින්න ඕනෑ. දේශපාලනඥයන් කියලා කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මේ ගමට ඇවිත් නැහැ. සබරගමුව පළාත් සභා මන්ත්‍රි මිල්ලන්ගොඩ මහත්තයා නම් මේ ගමට ඇවිත් තියෙනවා. අපිට කියලා රජයෙන් මොනවාවත් හම්බවෙන්නේ නෑ. වගා කටයුතු ගම්මිරිස්, කරාබු වාගේ දේවල් නිසා ජීවත් වෙන්න සල්ලි හොයා ගන්නවා. රබර් වගාවත් තියෙන නිසා ගැටලුවක් නැහැ. ඒත් මෙහෙම වැස්සේ නැත්නම් මේ බෝග වුණත් ගස් පිටින් මැරෙන්න බැරි නෑ.

පී.ජී. සෝමපාල
අපි බොන්නේ උල්පත් ජලය. ඉඩෝරය දවස්වලට ජල ප්‍රශ්නය තදින්ම තියෙනවා. ඒ වාගේම තමයි මේ ගමට යන්න එන් හරිහමන් පාරක් නෑ. අඩුම ගානේ හෙම්මාතගම-ගම්පොළ මාර්ගයේ ඩබල් බෝක්කුව ගාවින්වත් පාරක් හදලා දෙනවා නම් වටිනවා. අඩි පාර තිබුණාට හදිස්සියට රෑවෙලා ලෙඩක් දුකක් හැදිලා කරදරයකදී ඒ පාරවල්වල යන්න බැහැ සත්තු ඉන්නවා. අඩුම ගානේ අපිට අඩි කිහිපයක් පළලට හදලා දෙනවා නම් ඒක වටිනවා. මේ ගමේ ජනතාව එක් පැත්තකින් එලෙස පීඩා විඳිනකොට රිළවුන් සහ උෟරන් සහ වෙනත් වගාවන් විනාශ කරන සතා සිවුපාවන්ගෙන් පීඩා විඳිනවා. මේ සඳහාත් අපි වගකිවයුතු අයගෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවා.

පී.ඩී. ජයතිලක
අපේ ගම දියුණු වෙනවා කියලා පේන තෙක් මානයක නෑ. කටුමැටි ගෙවල් 10කට වැඩිය තියෙනවා. අපිට ගෙයක් ‍ෙදාරක් හදාගන්න කියලා බඩුමුට්ටු අදින්නම සෑහෙන වියදමක් යනවා. පයින් කන්දේ ඒ සේරම අදින්න ඕනෑ. ඒ වුණත් ගෙයක් හරියට හැදුවා කියලා වෙන කිසිම පහසුකමක් නැති තරම්. දේශපාලනඥයන් හැම කෙනකුටම කීවා.

ලියුම් ලීවා. ජනාධිපතිතුමාට කීවා. වැඩක් වුණේ නැහැ අපේ ගම මධ්‍යම පළාත, සබරගමුව පළාතට කියලා හැම කෙනකුම මඟහරිනවා. මම මේ අලුගොල්ල හන්දියේ ඉඳලා මේ එන්නේ දැන් පැය දෙකක් විතර එනවා. සතැපුම් දෙක තුනක් එන්න ඕනෑ. කැලෑ පාරේ පයින් බැහැලා එන්න ඕනෑ. මාගේ ගෙදර අය වුණත් දැන් වෙන තැනක කුලියට ඉන්නේ වතුර සහ පාර නැති නිසා. ළමයි පාසල් යවන්න ඕනෑ යැයි පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon