කඩා වැටුණු බෝ ගසෙන් පවුල් 12ක් තවමත් අවතැන්

  👤  1629 readers have read this article !
Published by : MB WEB 2019-02-11 06:42:46

දමුණුපොළ - චමින්ද ජයලත්

කෑගල්ල අටාල වතුයායේ පින්දෙණිය වත්තේ අක්කර 50 කොටසේ ප්‍රධාන ලැයිම් නිවාසය මතට මීට මාස 8කට පමණ ඉහතදී බෝ ගසක් ඉදිරි වැටීමෙන් අනාථ වූ පවුල් 12ම තවමත් තාවකාලිකව ඉදි කරගත් මඩුවල ඉතා දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන බව අසරණ දෙමළ ජනතාව කියති.

කෑගල්ල - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පින්දෙණිය පොලිසිය අසලින් වමට ඇති පාලමෙන් ගොස් කි.මී. 2ක් පමණ පසු කළ තැන පින්දෙණිය වත්තේ අක්කර 50 කොටස හමුවේ. මෙම අක්කර 50 කොටසේ කෝවිල අසල තිබූ ඉපැරැණි බෝධිය 2018 මැයි මස 12දා සවස ප්‍රදේශය පුරා හමා ගිය අධික සුළඟ හේතුවෙන් පහළ තිබූ පවුල් 12ක් පදිංචිව සිටි ලැයිම් නිවාසය මතට වැටීමෙන් ලැයිම් නිවාසයේ පදිංචිව සිටින ජනතාව සම්පූර්ණයෙන්ම අනාථ වූහ.

බෝධිය ඉදිරී වැටිමෙන් පසු රජය මඟින් යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් බෝගසේ අතු කපා ඉවත් කර ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම්වරයා, ගලිගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් අසරණ ජනතාව පින්දෙණිය වත්තේ දෙමළ විද්‍යාලයේ තාවකාලිකව පදිංචි කෙරිණි. විද්‍යාලයේ දිවි ගෙවමින් සිටි ජනයා වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් හා පරිත්‍යාගශීලීන්ගේ මැදිහත් වීමෙන් පිසූ ආහාර, වියළි ආහාර, ඇඳුම් පැලඳුම් ලබාදීම මෙන්ම මුල් අවධියේදී ඔවුන්ගේ ලෙඩට දුකට පිහිට විණි.

ලැයිම් නිවාස කඩා වැටීමෙන් පසු ඔවුන්ට නිවාසයක් තනාදීම දේශපාලන අධිකාරිය යොමු කර සිටියේ අටාල වතුයායේ බලධාරීන්ටය. අටාල වතුයායේ බලධාරීන් ජනයාට ප්‍රකාශ කර ඇත්තේ හානියට පත් ලැයිම් නිවාසය අලුත්වැඩියා කරදෙන බවත් පසුව ලැයිමට ගොස් යළි පෙර පරිදි ජීවත් විය හැකි බවත්ය. එම අවස්ථාවේ අසරණ ජනයා එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප

කෙරිණි. මන්ද අරණායක සාමසර කන්ද නාය ගිය අවස්ථාවේදී පින්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 20ක් නාය යෑමේ අධි අවදානම හේතුවෙන් එම ඉඩම්වලින් ඉවත් කර පින්දෙණිය වත්තේ අක්කර 50 කොටසේ ඉඩමක් වෙන් කර ගෙන පර්චස් 20 බැගින් ඔවුන්ට ලබාදී නිවාස ඉදිකර ගැනීම සඳහා රු. ලක්‍ෂ 15ට අධික මුදලක්ද ආධාර ලෙස පරිත්‍යාග කර තිබිණි. එම හේතුවෙන් දෙමළ ජනයා කියා සිටින්නේ තමන්ටද එවැනි ඉඩම් ලබාදී නිවාස තනාදෙන මෙන්ය. දෙමළ විද්‍යාලයේ පදිංචිව සිටි ජනයා පසුව පාසල ආරම්භ කිරීමෙන් පසු පින්දෙණිය වත්තේ පුල්ලේමඩුවට ගොස් මාස කිහිපයක් එහි රැඳී සිටි බවත්ය. පසුව ජනයාට එහි රැඳී සිටීමේ අපහසු බව දන්වා යළි කඩා වැටුණු ලැයිම් නිවාසය අසලට පැමිණ තාවකාලිකව ඉදිකර ගත් ටකරන් සෙවිලි කර පැල්පත්වල එදා සිට අද දක්වා බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවමින් සිටිති.

කේ. කාලිඅම්මා (අවු. 72 - අක්කර 50, පින්දෙණිය වත්ත, අටාල),
මේ ටකරන් කොටු කරලා තිබෙන කෑල්ලේ මමයි පුතයි, බිරියයි, පිරිමි දරුවෝ තුන්දෙනකුයි ගැහැනු දරුවෝ තුන්දෙනෙක් ඇතුළු අපි 09 දෙනකු ජීවත් වෙනවා. කොහොමද මේකේ ඉන්නේ කියලා පොඩ්ඩක් හිතන්නකෝ. මේ ඉන්න ගැහැනු ළමයින්ගෙන් එක්කෙනෙක් හෙට අනිද්දටම වැඩිවියට පත් වෙන්න ඉන්නවා. එතකොට කොහෙද ඒ

ළමයා තියන්නේ. තියන්න තැනක් නැහැ. ඡන්දෙ කාලයට නම් හැමෝම ඡන්දේ ඉල්ලන්න වැඳගෙන එනවා. අපි අරක කරලා දෙන්නම් මේක කරලා දෙන්නම් කියලා එතකොට කියනවා. අද අපි අසරණ වෙලා ඉන්න අවස්ථාවේ කවුරුත් බලන්න එන්නේ නෑ. පසුගිය දවස්වල ෆොටෝ ගහගෙන ගියා. ගෙවල් ඉක්මනට හදල දෙනවා කියලා. ඊට පස්සේ කිසිවකු ආවේ නැහැ. මේ ටකරන් මඩුවේ අපි නවදෙනෙක් උයා පිහාගෙන කනවා කියන්නේ මහ පුදුමයක්.

කේ. යෝගේෂ්වරන් (අවු. 36 - අක්කර 50, පින්දෙණිය වත්ත, අටාල),
2018 මැයි මාසේ 12දා ලැයිම මතට බෝගහ වැටුණට පසු ලැයිමේ පදිංචිව සිටි පවුල් 12ක් දෙමළ විද්‍යාලයට ගියා. එතැන දවස් දෙකක් හිටියා. පසුව පාසල පටන් ගන්න ඕනෙ කියලා කීවා. ඒ පවුල් 12ම පුල්ලෙමඩුවට අරන් ගියා. කට්ටිය එතැනට බලන්න ආව ගියා. මුලදී උදවු කළා. නැහැ කියන්නේ නැහැ. ඊට පස්සේ මාසයක් පමණ ඒකේ ඉඳලා හැමදාම ඉන්න බැරි නිසා ආයෙමත් හිටපු ලැයිම ළඟට ඇවිල්ලා තාවකාලිකව මඩු ඉදිකර ගත්තා. මුලදී ආවා අරක කරලා දෙන්නම් මේක කරලා දෙන්නම් කියලා. දැන් කවුරුත් අපිව බලන්න එන්නේ නැහැ.

වත්තෙන් කියනවා මේ ලැයිම හදලා දෙනවා කියලා. මිනිස්සු ඒකට කැමැති නැහැ. මොකද මේ ලැයිම අවුරුදු 200කට වඩා පැරැණියි. නැවත ඒ ලැයිම් නිවාසය අලුත්වැඩියා කරලා දීලා ඉන්න බැහැ කියනවා. වත්තෙන් බලන්නේ ලැයිම් නිවාසයම හදලා දීලා ඒකට මේ ජනයා තල්ලු කරලා දාන්න. අපේ මිනිස්සුත් කැමැතියි දියුණු වෙන්න. ඉඩම් කැබැල්ලක් දීලා තනි ගෙවල් හදලා දෙන්න කියනවා. පසුගිය කාලයේ අපේ සහෝදර සිංහල ජනතාවට ඒ වත්තෙන්ම පර්චස් 20ක් දීලා සල්ලිත් දීලා ගෙවල් හදලා දීලා හොඳට ජීවත් වෙනවා. ඒ ගෙවල්වලට උඩිනුයි මේ ලැයිම තියෙන්නේ. ඇයි අපේ මිනිසුන්ට විතරක් ඉඩම් දීලා ගෙවල් හදලා දෙන්න බැරි. අපිත් ලංකාවේ මිනිස්සු. විපතක් සිදු වුණාම හැමෝටම එක වගේ සලකන්න ඕනේ.

ගලිගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි (එජාප) විමලසිරි රාජපක්‍ෂ,
බෝ ගස වැටුණු වේලාවේම අපි ඇවිල්ලා ප්‍රාදේශීය ලේකම්වරයා ගෙනැල්ලා ඒ මොහොතේ කරන්න පුළුවන් හැම උදව්වක්ම කරලා දුන්නා. සිංහල ජනතාවත් නාය යන අවස්ථාවලදී ඔවුන්ට ස්ථීරව ඉන්න ගෙවල් හදලා දුන්නා. වතු ජනතාව අපිත් එක්ක එකට ජීවත් වෙන ජන කොටසක්. රජයකට රටකට මේ අය මුදල් හොයලා දෙනවා නම් රජය මේ පිළිබඳ මේ ජනතාව කෙරෙහි වහාම පියවරක් ගන්න ඕනේ. මාස ගණනාවක ඉඳලා එකම පවුලේ හත්අට දෙනෙක් ටකරන් මඩුවල ජීවත් වෙනවා.

රජයේ වතු කොම්පැනියට ලබාදුන්නාට පසු කොටසක් රජයටත් අයිතියක් තියෙනවා. ඒනිසා රජයයි කොම්පැනියයි දෙකම එකතු වෙලා මේ ජනතාව වෙනුවෙන් බලන්න ඕනේ කියන තැන මම ඉන්නවා. දැන් මේ දෙගොල්ලොම දෙපැත්තට අදිනවා. ඒකෙන් ජනතාව අසරණයි. දැන් මාස ගණනාවක් ගිහින් වැසි කාලවල ඉන්න බැහැ. තීරණයක් අරගෙන තියෙනවා පර්චස් 07ක් දීලා ගෙවල් හදලා දෙනවා කියලා.

රජය එක පැත්තකට අදිනවා. කොම්පැනිය තවත් පැත්තකට අදිනවා. මැතිවරණ කාලයට අපේක්‍ෂකයෝ එනවා. මමත් ඡන්දේ ඉල්ලගෙන එනවා. බෝගස වැටුණාට පසු ජනතාවට මම මුලදී උදවු කරපු හැටි ජනතාව දන්නවා. හැබැයි මම ඒ වෙලාවේ කළේ මට කරන්න පුළුවන් කොටස පමණයි. අද මේ ජනතාව හොඳටම දුක් විඳිනවා. රජයත් වතු සමාගමත් දෙගොල්ලම මේ ජනයා වෙනුවෙන් වගකිව යුතු යැයි මන්ත්‍රිවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon