ඉතිහාසයේ පළමු වරට ශුද්ධෝත්තම පියතුමෙක් අරාබියේ සංචාරයක

  👤  1784 readers have read this article !
Published by : MB WEB 2019-02-05 10:44:12

අරාබි අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ පළමු පාප් වහන්සේ බවට පත් වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණ සිටිති.

අබු ඩාබි ගුවන් තොටුපොළට පැමිණි පාප් වහන්සේ පිළිගනු ලැබුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමඩ් බින් සයෙඩ් අල්-නායන් විසිනි.

ශුද්ධෝත්තම පියතුමන් එහිදී අන්තර්ආගමික සමුළුවකට සහභාගි වීමට නියමිත අතර, අඟහරුවාදා (පෙබරවාරි 05) බැතිමතුන් 120,000ක් පමණ සහභාගි වනු අතැයි අපේක්ෂා කරන දේව මෙහෙයක් පැවැත්වීමට ද නියමිතය.

වතිකානයෙන් පිටත් වීමට පෙර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මැදිහත් වී සිටින යේමනයේ යුද්ධය සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පියතුමා අදහස් පළ කළහ.

"දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටුම් නිසා යේමනයේ ජනතාව වෙහෙසට පත්ව සිටිනවා. දරුවන් විශාල පිරිසක් කුසගින්නෙන් පෙළෙනවා, ඒත් එහි ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට ළඟා වෙන්න බැහැ," උන්වහන්සේ පැවසූහ.

"මේ දරුවන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ විලාප හඬ දෙවියන් වහන්සේටත් ඇසෙනවා."

සිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය අතරතුර මෙම අර්බුදය සම්බන්ධයෙන් උන්වහන්සේ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව හඬක් නගනු ඇද්දැයි මෙතෙක් තහවුරු වී නැත. යේමනයේ පවතින ගැටුම්වලට සෞදි අරාබි මිත්‍ර රටක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය සම්බන්ධ වී සිටී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ රෝමානු කතෝලික බැතිමතුන් මිලියනයක් පමණ වාසය කරති. ඔවුන්ගෙන් බහුතරය පිලිපීනයෙන් හෝ ඉන්දියාවෙන් පැමිණි අය වෙති.

අඟහරුවාදා පැවැත්වෙන දේව මෙහෙයට සහභාගි වීම සඳහා අවසර පත් ලබා ගැනීමට ජනතාව පෝලිම්වල රැඳී සිටින බව වාර්තා විය. එක්සත් අරාබි එමීර් වැසියෙකු ඒඑෆ්පී සේවයට පවසා ඇත්තේ, ශුද්ධෝත්තම පියතුමන්ගේ සංචාරය තුළින් "ලෝකයට අවශ්‍යව ඇති ඉවසීම සම්බන්ධයෙන් සංවාදයක් ගොඩ නැගීමට දොරටු විවර වන" බවය.

පසුගිය බ්‍රහස්පතින්දා වීඩියෝවක් මගින් පාප් වහන්සේ පැවසුවේ, "දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තැබීමෙන් එක්සත්භාවය ඇති වෙනවා, බෙදීමක් ඇති වෙන්නේ නැහැ. ඈත් වීම වෙනුවට ළං වීම සිදුවෙනවා. එය අප එදිරිවාදිකම් සහ අප්‍රසන්නභාවයෙන් ඈත් කරනවා," යනුවෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය "සහජීවනයේ, මානව සහෝදරත්වයේ ආදර්ශයක් බවට පත්වෙමින් සිටින අතර, විවිධ ශිෂ්ටාචාර සහ සංස්කෘතීන් හමුවන ස්ථානයක් බවට ද පත්ව ඇති" බව ද ශුද්ධෝත්තම පියතුමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින් පැවසූහ.

අබු ඩාබි සංචාරය අතරතුරදී ශුද්ධෝත්තම පියතුමන් සුන්නි මුස්ලිම්වරුන්ගේ උසස් ම දේවස්ථානය ලෙස සැලකෙන කයිරෝහි අල්-අස්හර් දේවස්ථානයේ ප්‍රධාන ඉමාම්වරයා වන ෂෙයික් අහමඩ් අල්-තයෙබ් හමුවීමට ද නියමිතය.

අබු ඩාබිහි සිටින බීබීසී අරාබි සේවයේ වාර්තාකරු මුරාද් ෂිෂානි පවසන්නේ, ශුද්ධෝත්තම පියතුමන්ගේ සංචාරය හරහා සෞදි අරාබිය ඇතුළු රටවල මුස්ලිම් නොවන වැසියන්ට සිය ආගමික කටයුතුවල නිරත වීම සඳහා පවතින තහනම් කිරීම් සහ දේවස්ථාන ඉදි කිරීම් සම්බන්ධයෙන් වන සීමා ලිහිල් කර ගැනීමට හැකි වනු අතැයි වතිකානය අපේක්ෂා කරන බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන කතෝලික ප්‍රජාව වෙනුවෙන් ශක්තිමත් දේව සභාවක් පිහිටුවීමට අවශ්‍ය බව වතිකාන බලධාරීන්ගේ ස්ථාවරය වී තිබේ.

"අපි ගොඩක් ව්‍යාප්ත වෙලා ඉන්නේ. අපිට තවත් දේවස්ථාන අවශ්‍යයි. අපිට තවත් දේව සේවකයින් අවශ්‍යයි," වතිකානු බලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

(BBC)

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon