සමන් ද සිල්වාගේ පුතා ලංකාවට ඇවිත් ගායන භූමිකාවට පණ දෙන්න ලෑස්තියි

  👤  2789 readers have read this article !
Published by : MB WEB 2019-02-09 06:20:42

කොහොමද චිලාන්...? ලංකාවට ආවේ විශේෂ වැඩක්වත් සැලසුම් කරගෙනද..?

ඔව්, මේ පාර මම නිවාඩුවට ආවේ වැඩ කිහිපයක්ම සැලසුම් කරගෙන. මගේ ඔරිජිනල් ගීත දෙකක් කරන්න සැලසුම් කරගෙන ආවේ. ඒ ගීත දෙක දැන් වොයිස් කරලා තියෙන්නේ. ඒ ගීත දෙකට මියුසික් වීඩියෝ නිර්මාණය කරලා මාසයක් වගේ ඇතුළත රිලීස් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

මොන වගේ ගීත දෙකක්ද නිර්මාණය කරලා තියෙන්නේ...?

ඒ ගීත දෙකම ආදර ගීත. එක ගීතයක් තමයි "අහසට ගිනි තියා" කියලා කියන්නේ. අනෙක් ගීතය තමයි "පෑරෙනා නෙතු අගින්" කියන්නේ. මේ ගීත දෙකම ලිව්වේ මනුරංග විජේසේකර. එක ගීතයක සංගීතය නිර්මාණය කළේ ගයාන් රැන්ඩි. අනෙක් ගීතයේ සංගීතය නිර්මාණය කළේ දිලුම් තේජන. මේ ගීතවලින් එක ගීතයක රූප රචනය ලංකාවෙදි කරනවා. අනෙක ලන්ඩන් ගිහින් කරන්නේ.

මනුරංගට කියලා ඔබේ ගීත ලියවා ගන්න හිතුවේ...?

මනුරංග කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඔහුගේ ඉබරතඥ එකට, ඔහුගේ ගී පද රචනාවලට මම ආසයි. ඒකයි මම ඔහුට කියලා මගේ ගීත ලියාගත්තේ.

චිලාන් දැන් කාලයක් ඉඳන් විදේශ ගතවෙලා නේද ඉන්නේ...?

ඔව්, මම ලන්ඩන්වලට ගිහින් අවුරුදු අටක් වෙනවා. අවුරුදු තුනක්ම මම උපාධියේ වැඩ කටයුතුවලට වෙන් කළේ.

දැන් ඔබ වෘත්තීයමය පසුබිමකුත් හදාගෙන නේද ඉන්නේ...?

ඔව්, මම Business Development Management  කරන්නේ. මම හොටෙල් දහහතක් බලා ගන්නවා.

සංගීතයට කාලය යොදවලා තියෙන්නේ මොන විදියටද...?

මම පාට් ටයිම් තමයි සංගීතය කරන්නේ. ලන්ඩන්වල ජීවත්වෙන ලංකාවේ කට්ටිය එකතු වෙලා ඡ්යජඥඥඤ කියලා බෑන්ඩ් එකක් හදාගෙන තියෙනවා. මම ඒ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් වාදනය කරනවා. අපේ බෑන්ඩ් එක ගොඩක් ජනප්‍රියයි වගේම අපිට දිගටම වැඩ ලැබෙනවා. ඉතිං ඒ වැඩවලටත් මම සම්බන්ධ වෙනවා.

වෘත්තීයමය කටයුතු එක්ක සංගීත කටයුතුවලට කාලය හදාගන්නේ කොහොමද...?

ලන්ඩන්වල ගොඩක් ප්‍රසංග තියෙන්නේ සෙනසුරාදා. ඒ නිසා රැකියාවේ වැඩ කටයුතුවලට බාධාවක් නොවෙන්න සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. ඒක පහසු නැහැ. ඒත් කොහොම හරි ඒ වැඩ සමබරව කරගෙන යනවා.

ගායක පියවරුන්ගේ පුත්තු ගායනයෙන් තමන්ගේ ගමන හදාගනිද්දි චිලාන්ගේ ගමන ප්‍රමාද වුණේ කොහොමද..?

මම පාසල් යන කාලෙදිම තාත්තාගේ බෑන්ඩ් එකට සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ මම උසස් අධ්‍යාපන කටයුතුවලට ලන්ඩන් ගිය නිසා මට මගේ ගමන හදාගන්න කාලයක් වෙන් කරන්න වුණා. මම අවුරුදු තුනක්ම අධ්‍යාපන කටයුතුවලට වෙන් කළේ. මට මියුසික් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබ්බේ නෑ. දැන් මම මගේ වෘත්තීය ගමන හදාගෙන නිසා මේ කාලේ මගේම දෙයක් කරන්න හොඳම කාලය කියලා හිතුවා.


චිලාන් තාත්තාගේ ආභාසයෙන්ද සංගීත ගමන පටන් ගත්තේ...? නැත්තම් හැදෑරීමක් තියෙනවාද..?

ගොඩක්ම තියෙන්නේ තාත්තාගේ ආභාසය. මම ලන්ඩන් ගියාට පස්සේ ඩ්‍රම්ස් සම්බන්ධව ඉගෙන ගත්තා.

සමහර ගායක දරුවෝ තාත්තාගේ හඬ අනුකරණය කරනවා. චිලානුත් එහෙමද...?

මගේ කටහඬත් තාත්තාගේ කටහඬට ළඟින් යනවා. නමුත් තාත්තාගේ කටහඬ අනුකරණය කරන්න පහසු නැහැ. මම කැමැති අනුකරණයක් වෙන්න නෙවෙයි. මගේම අනන්‍යතාවක් හදාගන්න.

චිලාන් වැඩිපුර කැමැති සංගීත ශෛලියක් තියෙනවාද...?

මම R & B  ස්ටයිල් එකට තමයි වැඩිපුර කැමැති. ඒ වගේම මම ලන්ඩන්වල ෂෝවලදී තාත්තාගේ ගීත වගේම මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ, ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීතත් ගායනා කරනවා. මම එක ශෛලියකට කොටුවෙලා නෑ. විවිධ ශෛලීන්වල ගීත මම ගායනා කරනවා.

තාත්තා (සමන් ද සිල්වා) ඔබේ ගමන අගය කරනවාද..?

ඔව්, තාත්තා මං ගැන ආඩම්බර වෙනවා. ලන්ඩන්වල ගොඩක් කට්ටිය මාව හඳුනනවා. තාත්තා සාමාන්‍යයෙන් අවුරුද්දකට පස් හය වතාවක් ලන්ඩන් එනවා. මම වෘත්තීයමය පසුබිම හදාගෙන තිබෙන විදියට සහ මගේ සංගීත ගමන ගැනත් තාත්තාට සතුටුයි. තාත්තාගේ සහයෝගය මට කවදත් තියෙනවා. තමන්ගේ දෙයක් කරන්න කියලා තාත්තා මට කවදත් කිව්වා.

තාත්තායි පුතායි එකතු වෙලා අලුත් වැඩක් කළොත් නරකද...?

මමයි තාත්තායි එකතු වෙලා ප්‍රසංගයක් කරන්න හිතාගෙන ඉන්නවා. තාත්තාගේ යාළුවොත් කිව්වා එහෙම වැඩක් කළොත් හොඳයි කියලා. තව අවුරුද්දකින් විතර ප්‍රසංගය කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද...?

තව අවුරුදු දෙකකින් විතර ලංකාවේ දිගටම ඉන්න එන්න හිතාගෙන ඉන්නවා. මම දැන් මගේ ගීත එළියට ගේන්න හදන්නේ. සංගීතයෙන් මගේ ගමන ලංකාවෙදි හදාගන්න මට පුළුවන් වෙයි.

ලංකාවේ කලාකරුවෝ විදෙස් ගත වෙද්දී චිලාන් ලංකාවට එන්න ගන්න තීරණය හරි කියලා හිතනවද...?

මට දැන් ලන්ඩන්වල වැඩ කරලා අත්දැකීම් තියෙනවා. මම සංගීතයෙන් ස්ථාවරයක් හදාගන්න පසුබිම හදාගෙන තමයි ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ. තාත්තාගේ බෑන්ඩ් එක කරගෙන යන්නත් අදහසක් තියෙනවා. ලංකාවට එන එක එක්තරා විදියක අභියෝගයක්.

ගායක ප්‍රවීණයන්ගේ දරුවෝ අතරින් ඔබ වැඩිපුරම ඇසුරු කරන්නේ කාවද..?

අපේ ගෙදර සංගීතමය පසුබිමක් තිබ්බ නිසා පොඩි කාලේ ඉඳන් මට ක්ෂේත්‍රයේ අයව ඇසුරු කරන්න ලැබුණා. ගයාන් ගුණවර්ධන, දිල්මින් පෙරේරා මිත්‍රයෝ. ඔවුන්ව තමයි මම ඇසුරු කළේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon