චිත්‍රාංගනී විජේවීරගේ චරිතයට එකම තෝරාගැනීම වුණේ මම

  👤  2545 readers have read this article !
Published by : MB WEB 2019-02-07 08:15:25

ඔබ තිරයෙදි විජේවීරගේ බිරිය වෙලා. ඒ චරිතෙට සම්බන්ධ වෙන පසුබිම නිර්මාණය වුණේ කොහොමද?

මට අනුරුද්ධ ජයසිංහ අයියා කතා කරලා කිව්වා ඔහු රෝහණ විජේවීර මහත්මයාගේ චරිතය අලළා චිත්‍රපටයක් කරනවා. එතුමාගේ බිරියගේ චරිතයට මාව තෝරාගෙන තියෙනවා කියලා. ඒ අවස්ථාව මට ඉතාම හොඳ අවස්ථාවක් වෙයි කියලා හිතුණා. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයට මට කතා කරද්දී මගේ දියණිය ලැබිලා මාස හතරක් පහක් වගේ. මම අනුරුද්ධ අයියට කිව්වා මගේ තත්ත්වය ගැන. ඔහු මට අවශ්‍ය පහසුකම් දෙන්න කැමැති වුණා. මම ඔහු එක්ක යකඩ පහන්තිර නාට්‍යයේ වැඩ කරලා තිබ්බ නිසා මම ඔහුව හොඳින් හඳුනනවා. ඔහු මගේ රංගන ධාරිතාවත් හොඳින් දැනගෙන හිටපු නිසා මම චිත්‍රාංගනී විජේවීරගේ චරිතය කරන්න භාරගත්තා.

විජේවීරගේ බිරියගේ චරිතයට එකම තෝරා ගැනීම වෙලා තිබ්බේ ඔබද?

මම අනුරුද්ධ අයියාගෙන් ඇහුවා මේ චරිතයට මං හැර වෙන විකල්පයක් හිතුවේ නැද්ද කියලා. ඔහු කිව්වා ඒ චරිතයට මම හැර වෙන කෙනෙක් ගැන හිතුවේ නැහැ කියලා. චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ මුහුණේ හැඩරුව මට තිබීම තමයි මාව තෝර ගන්න පළමු කාරණාව වෙලා තිබුණේ.

දේශපාලන චරිතාපදානයක් කියන කාරණාව මේ නිර්මාණයට සම්බන්ධ වෙද්දි ඔබට බලපෑමක් කළේ නැද්ද?

මම රංගන ශිල්පිනියක්. අපි රඟපාන්න ඕන. සමහර කසිකබල් වැඩ ඇතුළේ ප්‍රතිභාපූර්ණ රංගනයන් කරන අය ඉන්නවා. ඒ දිහා බලන අය 'අර නළුවා නිළිය මාරයි' කියන වචනය කියනවා. අනුරුද්ධ අයියගේ වැඩ හොඳයි කියලා මම දන්නවා. අනුරුද්ධ අයියා ක්ෂේත්‍රයේ නමක් තියෙන පුද්ගලයෙක්. ඉතින් ඔහු මට මේ නිර්මාණයට කතා කළාම මට තිබ්බේ මගේ කාර්යය සාර්ථකව කරන අභියෝගය. මෙවැනි නිර්මාණයක් ලැබීමත් මට භාග්‍යයක්. මෙය කතාබහට ලක්වෙන නිර්මාණයක් වෙයි කියලත් හිතුව නිසා මෙය අත නොහැර මම භාර ගත්තා.

ප්‍රබල දේශපාලන චරිතයක, ජීවත්ව සිටින බිරියගේ චරිතයක් නිරූපණය කරන්න අවස්ථාව ලැබෙද්දි ඒක අභියෝගයක් විදියට දැනුණේ නැද්ද?

ඇත්තටම මේ චරිතය වෙනුවෙන් මට කතා කරද්දි එකපාර හිතුණා ඇයි මට මේකට කතා කරන්නේ කියලා. ලංකාවේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියන් ඉන්නවා. ඉතින් ඒ අතරින් මාව මේ චරිතයට ගත්ත එක මට අභියෝගයක් වුණා. රටක් දන්න ලොවක් දන්න රෝහණ විජේවීර කියන විප්ලවවාදී නායකයාගේ බිරියගේ චරිතය කිරීම අභියෝගයක්. ඒ චරිතය සියුම්ව නොකළොත් එල්ල වෙන ප්‍රතිචාර නරක වෙන්න තිබ්බා. මම අභියෝගාත්මක රංගනයන් භාරගන්න කැමැති කෙනෙක්. මගේ වපසරිය මේ රංගන අවස්ථාවෙන් මට අතගාලා බලන්න පුළුවන් කියලා හිතුණා. ඒ නිසා බයත් එක්කම ඒ අභියෝගය භාරගත්තා.

සිනමාවෙදි මේ චරිතය ගොඩනඟන්න ඔබට කොතරම් මහන්සි වෙන්න වුණාද?

මුහුරත් උළෙලට ගියාම මට චිත්‍රපටයට අදාළ තිරපිටපත ලැබුණා. මම දහ ‍ෙදාළොස් වතාවක් විතර එය කියෙව්වා. ඒ හරහා මට චිත්‍රපටයේ නිරූපිත චිත්‍රාංගනී විමලවීර ගැන අදහසක් ආවා. ඒ වගේම චිත්‍රාංගනීගේ කටඋත්තරය කියන පොත තුළින් සැබෑ චිත්‍රාංගනී ගැන අදහසක් මම ලබා ගත්තා. විජේවීර මහත්මයාව ඇසුරු කළ චිත්‍රාංගනී විජේවීර මහත්මිය ගැන දන්න සහ ඇසුරු කළ අය එක්ක මම කතා බහ කළා. ඒ මූලාශ්‍ර ඇසුරු කරලා තමයි මම ඇයගේ චරිතය නිරූපණය කළේ.

ඔබට චිත්‍රාංගනී විමලවීරව හැබෑවට මුණ ගැහෙන්න බැරි වුණාද?

මම අනුරුද්ධ අයියාගෙන් ඉල්ලුවා මට ඇයව මුණගස්සවන්න කියලා. උත්සාහ කළාට ඒ උත්සාහය මඟ හැරුණා. ඇයව මුණ ගැහෙන්න තිබ්බා නම් හොඳයි. නමුත් මම අනෙක් මූලාශ්‍ර ඇසුරු කරගෙන ඒ චරිතය නිරූපණය කළා. චිත්‍රපටය බලද්දී මට හිතෙනවා මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා.

චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය දවසේ විජේවීරගේ පුතා චිත්‍රපටය බලලා සුලෝචනාට මොකද කිව්වේ?

උවිඳු විජේවීර එදා ආවා. එදා ඔහුට ෆිල්ම් එක වෙනුවෙන් කතාවක් කරන්න තිබ්බා. චිත්‍රපටයේ ඒ දර්ශනය නරඹන්නමයි ඔහු රුසියාවේ ඉඳන් ඇවිත් තිබුණේ. ඔහු චිත්‍රපටය බලලා මගෙන් ඇහුවා 'මම ඔයාට චිත්‍රාංගනී විජේවීර මැතිනිය ලෙස කතා කරන්නද කියලා'. එතුමියගේ පුතාම එහෙම කියද්දි මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා හිතෙනවා.

ඔබේ රංගනය ගැන බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා කියලා ආරංචියි?

මාධ්‍ය දර්ශනය, මංගල දර්ශනය ඉවර වෙලා එළියට බහිද්දී බොහෝ අයගෙන් ආදරණීය සිප ගැනීම් ආදරණීය ප්‍රතිචාර ගොඩක් ලැබුණා.

මේ රංගනය තුළ සම්මානනීය බලාපොරොත්තුත් ඇති නේද?

නැහැ, සම්මාන මට අලුත් දෙයක් නෙවෙයි. වේදිකාවේ හොඳම නිළිය, රූපවාහිනියේ හොඳම සහාය නිළිය, නැඟී එන නිළිය වගේ සම්මාන අටක් දහයක් මගේ සම්මාන රාක්කයේ තියෙනවා. මට සම්මාන සිහිනයක් නෑ. එහෙම බලාපොරොත්තු තියාගෙන ඒවා බිඳ වට්ටගන්නවාට වඩා මෙහෙම ඉන්න එක හොඳයි. මම මොන නිර්මාණය කළත් උපරිම මහන්සියෙන් සහ කැපවීමෙන් කරනවා. සම්මානයක් ලැබුණොත් සතුටින් භාරගන්නවා. සම්මානයක් කියන්නේ වගකීම් වැඩිවීමක්. අපි කරන නිර්මාණයක් බලන අය අපිට කතා කරලා ඒක අගයද්දී එය සම්මාන දාහක් ලැබුණා වගේ සතුටක්.

එක රාමුවකට කොටු නොවුණු ඔබ විවිධ විවිධ චරිතවලින් මුණගැහෙන නිළියක්. චරිතාංග නිළියක් වෙන්න අවකාශය ඔබට හදලා දුන්නේ අධ්‍යක්ෂවරුද?

මේක අධ්‍යක්ෂවරුම හදලා දීපු දෙයක් නෙවෙයි. මම ඒකට ලොකු කැපකිරීමක් කරනවා. මට වැඩවලට කතා කරනවා. නමුත් මම හැම නිර්මාණයක්ම භාරගන්නේ නෑ.

මම හැම නිර්මාණයක්ම කළා නම් මට හොඳ නිර්මාණ ලැබීම මමම අහුර ගන්නවා. මම මේතාක් කරපු නිර්මාණවලට ඇගයීම් ලැබිලා තියෙනවා. සමහර ශිල්පීන් උදේට එක නිර්මාණයක, දවල්ට තව නිර්මාණයක, රෑට තව නිර්මාණයක වැඩ. ඒකට ඔවුන්ට වැරැදි කියන්න බෑ. මටත් ආර්ථික අපහසුකම් තියෙනවා. නමුත් මම හරි සරල ජීවිතයක් ගත කරන්නේ.

මමත් මෙගා නාට්‍ය කළා නම් හොඳ ගෙයක්, හොඳ කාර් එකක් අරගෙන තියෙන්න පුළුවන්. අපිට අපේ රංගනයට යම් තක්සේරුවක් තියෙනවා. සමහර නිර්මාණවලින් අපි ඉල්ලන ගාණ දෙන්නේ නෑ. මගේ ගාණ දුන්නේ නැත්නම් මම ඒ වැඩේට යන්නේ නෑ. මම ඒ කැපකිරීම කරන්නේ මට විතරක් නෙවෙයි. අනෙකුත් රංගන ශිල්පීන් ශිල්පිනියනුත් වෙනුවෙන්.

ඒ කියන්නේ ඔබ ඔබේ රංගනය තුට්ටු දෙකට පාවලා දෙන්නේ නැහැ?

මම විනෝදෙට, හැඳුනුම්කම්වලට, ලස්සන නිසා රඟපාන කෙනෙක් නෙවෙයි. අපි උනන්දුවෙන් කැපවීමෙන් ජනප්‍රියත්වය පස්සේ යන්නේ නැතුව මේ ගමන ආවේ. මම කරන කැපවීම අනෙක් අයටත් එක්ක කරන්නේ. ඒ කැපවීම කරන නිසා මම ගුණාත්මක නිර්මාණවල ඉන්නවා. විවිධ රැලි එනවා. හැබැයි මම ඇතුළු කිහිප දෙනෙක් ක්ෂේත්‍රයට ඇවිත් මරණයෙන් විතරයි ආපසු යන්නේ. මම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ. මම මගේ වෘත්තිය, පවුල, මගේ අධ්‍යාපන කටයුතු සියල්ල කරගෙන තමයි රංගන කටයුතු කරන්නේ. මාව වටිනා අය මගේ වටිනාකම දීලා නිර්මාණවලට දායක කරගනියි.

ඔබ වැඩිපුර නිර්මාණවල පේන්න නැත්තේ ඔය කාරණා නිසාද?

සමහර සෙට්වලට ගියාම ප්‍රශ්න. මම එක ටෙලි නාට්‍යයක දවස් තුනකට රූගත කිරීම්වලට ගියා. කතා කරගත්ත ගාණ නැතුව වෙන ගාණක් මට දෙන්න ලෑස්ති වුණා. මගේ ගාණ දුන්නේ නැති නිසා මම ඒ දුන්න මුදලත් එපා කියලා නාට්‍යයෙන් අයින් වුණා. සමහර නාට්‍යවල රඟපාලා නැති අය දාගෙන එයාලට සීන් වැඩි කරගෙන අනෙක් අයගේ සීන් කපනවා. අපි ප්‍රඩක්ෂන්වල ප්‍රශ්න දැකලා කටවහගෙන ඉන්නේ නෑ. අපිට වැඩ නැතත් ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා. මම ගොඩනඟාගත්ත අනන්‍යතාව නැති කරගන්නේ නෑ. ඒකයි මම වැඩිපුර නිර්මාණවල දකින්න නැත්තේ. නමුත් මට හොඳ වැඩ ලැබෙනවා.

වෘත්තීය, අධ්‍යාපන කටයුතු, පවුලේ වැඩ කටයුතු කියන දේවල් නිසා මඟහැරෙන දේවල් ඇති?

ඔව්, තියෙනවා. බිරියක්, මවක් වුණාම වගකීම් වැඩියි. ඉස්සර වගේ චිත්‍රපට බලන්න යන එක, වේදිකා නාට්‍ය බලන්න යන එක මට මඟහැරෙනවා. මට අතට පයට වැඩකාරයෝ නෑ. මමම තමයි උයලා පිහලා රැකියාවට යන්නේ. දුව ගැනත් බලන්න ඕනේ. කලින් වගේ නිදහසක් නෑ. ඒක එක අතකින් ඛේදවාචකයක්. මවක් කියන දේ ගැහැනියකට මාරම හැඟීමක්. මට දුවක් ඉන්නේ. ඒ වගකීමත් එක්ක සමහර දේවල් සීමා වෙනවා.

තවත් අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණාද?

අවුරුදු තුනකට පස්සේ මම අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ රොෂාන් රවීන්ද්‍රගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන තණමල්විල කොල්ලා නාට්‍යයට. හොඳ නිර්මාණ ලැබුණොත් මම ඒවට සම්බන්ධ වෙනවා.


ඔබට මතක් කරන්න පිරිසකුත් ඇති?

මගේ දුව මෞලි ආර්යා. මම ඇයව මාස හයේදී තමයි රූගත කිරීම්වලට අරගෙන ගියේ. ඇය මං වෙනුවෙන් කැපකිරීමක් කළා. මගේ අම්මා, සැමියා මේ හැමෝම මගේ රංගනයට නිහඬ සහයෝගයක් දෙනවා. ඒ වගේම ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයට සම්බන්ධ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් නිසා තමයි හැම දෙයක්ම නිරවුල්ව කරගන්න පුළුවන් වුණේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon