කාලයට ඔබින විදියට සිනමාවට ආපු

  👤  2715 readers have read this article !
Published by : MB WEB 2019-02-06 06:13:16

මොකක්ද මේ ඔබ තිරයට ගෙනාපු 'තාල'?

තාල කියන්නේ මගේ අලුත් චිත්‍රපටය. මුලින් මම චිත්‍රපටයට දාලා තිබුණේ වෙන නමක්. චිත්‍රපටයට 'තාල' කියන නම ආවේ ළමයින්ට එක එක තාල තියෙනවා කියන අදහසත් එක්ක. එක එක ළමයින්ට තියෙන්නේ එක එක තාල. අපි ඒක තේරුම් ගන්න ඕන. ළමයින්ගේ ඒ ඒ තාල, හැකියා තේරුම් අරගෙන තමයි ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන්න ඕන. ඒ එක එක ළමයින්ගේ තාල ගැන අදහස නිසා තමයි මගේ චිත්‍රපටයට 'තාල' කියලා නම තිබ්බේ.

ඇයි මේ වගේ ළමා චිත්‍රපටයක් කරන්න හිතුවේ?

මට හැමදාම තිබ්බ ප්‍රශ්නය තමයි ලොකු අයව තමයි මේ මොහොතේ නිර්මාණවලට අල්ලගන්නේ. අපි විශ්වවිද්‍යාල ගැන කතා කරනවා.

කම්කරු පන්තිය ගැන කතා කරනවා. අලි ගැන කතා කරනවා. ආගම් ගැන කතා කරනවා. මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා කතා කරනවා. හැබැයි පොඩි ළමයින්ට මොකද වෙන්නේ කියලා කවුරුත් කතා කරන්නේ නෑ. විද්‍යානුකූල අධ්‍යාපන ක්‍රමය තියෙන රටවල අවුරුදු තුන, හතරේ ඉඳන්ම දරුවව සිස්ටම් එකකට අල්ල ගන්නවා. අපේ වගේ රටක පවුල්වලට ජීවත් වෙන්න, කන්න බොන්න ප්‍රශ්න, ගුරුවරුන්ටත් විවිධ ප්‍රශ්න. නොගැළපෙන ඉගැන්වීම් රටාව නිසා බොහෝ දේ අසාර්ථක වෙලා. මේවට උත්තර හොයන්න කවුරුවත් මහන්සි වෙන්නේ නෑ. මම මගේ පළමු චිත්‍රපටයේ ඒ දේ ගැන යම් සාකච්ඡාවක් ඇති කරලා තියෙනවා.

ඔබ චිත්‍රපටය තුළ වෙන හැඩයක ගුරුවරයෙක් මවලා තියෙනවා?

මට ජීවිතය කියා දුන්න ගුරුවරයා තමයි ගුණතිලක සර් කියන්නේ. ඕන දෙයක් ඉගෙන ගන්න, ඕනම වෘත්තියකට අනන්තයක් තියෙනවා කියලා එතුමා මට ඉගැන්වුවා. මගේ ඉංග්‍රීසි ගුරුවරයා මට ලෝකය පෙන්නුවා. ප්‍රාථමික අධ්‍යාපනයෙදි ගුරුවරු හරිම වැදගත්. මම යෝජනා කරනවා ඉස්කෝලෙක සිටිය යුතු ගුරුවරු ගැන. ෆින්ඩ්ලන්ඩ්වල පන්ති කාමරවලින් ප්‍රාථමික අධ්‍යාපනය අයින් කළා. ළමයින්ගේ වීරයෝ විදියට හිතන අය තමයි ගුරුවරු ලෙස පාසලේ ඉන්නේ. මම යෝජනා කරන ඉස්කෝලේ තමයි චිත්‍රපටය තුළ තියෙන්නේ.

ඔබ හිතනවද මේ ෆැන්ටසි ගුරුවරයාව ප්‍රේක්ෂකයා වැලඳ ගනියි කියලා?

මගේ කාර්යභාරය තමයි කලාව ඇතුළෙන් යම් යෝජනාවක් කරන එක. ඒක භාර ගන්නවද නැද්ද කියන එක ප්‍රේක්ෂකයන්ට භාරයි. ළමයි විවිධත්වයට කැමැතියි. අලුත් අලුත් දේවල්වලට කැමැතියි. වැඩිහිටියෝ කරන්නේ ඔවුන් කැමැති දේ දරුවෝ ලවා කරගන්න එක. ඒ සිස්ටම් එක වෙනස් විය යුතුයි. හිරවෙලා ඉන්න පිරිස මම මේ යෝජනා කරන නිදහසට කැමැති වෙයි.

ගුරුවරයා වීරයෙක් කරන්නද ඕන වුණේ?

මට ගුරුවරයා වීරයෙක් කරන්න ඕන වුණේ නෑ. මම කළේ චිත්‍රපටය තුළින් සාකච්ඡාවක් ගොඩනඟන එක. වීරයෝ තනි තනිව ජීවත් වෙන්නේ නෑ කියන දේ අසේල කියන ගුරුවරයාගේ චරිතය මඟදී නැවැත්වීමෙන් මම පෙන්නලා දෙනවා. නමුත් වීරයෝ කොහොම හරි ජය ගන්නවා.

ඔබ හේමාල්ව මෙහි ප්‍රධාන භූමිකාවට තෝර ගන්න විශේෂ කාරණාවක් තිබුණාද?

මම හේමාල්ව සම්බන්ධ කරගත්තේ ඔහු නොකරපු චරිතයකට. හේමාල්ව බොහෝ වෙලාවට දැකලා තිබ්බේ ප්‍රේමවන්තයාගේ චරිතයෙන්. මට ඕන වුණා ගුරුවරයා ජව සම්පන්න වීරයෙක් කරන්න. හේමාල් කියන්නේ තරුණ ළමයි ආදරය කරන චරිතයක්. ඉතින් මම ඔහුව අසේල කියන ප්‍රධාන ගුරු භූමිකාවට යොදා ගත්තා. හේමාල්ගෙන් ඒ චරිතයට ලොකු දායකත්වයක් ලැබුණා.

ඔබ බලාපොරොත්තු වුණු උපරිමය 'තාල' තුළින් එළියට ගේන්න පුළුවන් වුණාද?

මම එහෙම හිතන්නේ නෑ. අඩුපාඩු තියෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමස්තයක් විදියට මගේ චිත්‍රපටය සාර්ථකයි කියලා හිතනවා. මම මහා අමුතු වැඩක් කළේ නෑ. ලෝකයේ සාකච්ඡා කළ දෙයක් අපිට ගැළපෙන විදියට මම මේ නිර්මාණයෙන් ඉදිරිපත් කරලා තියෙනවා.

ළමයි ගොඩක් එකතු කරගෙන වැඩක් කරන එක හිතන තරම් පහසු නැහැ නේද? ඔබටත් එය එසේ වෙන්න ඇති?

මම දරුවන්ට ඇහුම්කන් දීලා රැකවරණය දීලා ආදරය දුන්නා. මම චිත්‍රපටයට සම්බන්ධ කරගත්ත ළමයි අතරින් එකම ළමයයි හිටියේ මීට කලින් රඟපාලා තිබුණු. කැමරාවක් දැකලාවත් නැති දරුවෝ චිත්‍රපටයේ හිටියා. මාස හයක් පුරාවට ලංකාව පුරා සම්මුඛ පරීක්ෂණ කරලා මේ දරුවෝ ටික හොයා ගත්තේ. දවස් පහක වර්ක්ෂොප් එකක් තියලා ළමයි ටික මට අවශ්‍ය රංගනය ගන්න හදාගත්තා. දැන් ඔවුන්ගේ රංගනය දිහා බලද්දි ඔවුන්ගේ රංගනය සාර්ථකයි කියලා දැනෙනවා.

මෙය සංගීතාත්මක චිත්‍රපටයක්. ප්‍රේක්ෂකයන්ට වඩාත් ළං වෙන්නද එවැනි තෝරා ගැනීමක් කළේ?

මම ලංකාවේ වැඩිම ආදායම් ලැබූ සිරිපැරකුම් චිත්‍රපටයේ කැමරාකරු විදියට වැඩ කළා. ලංකාවේ චිත්‍රපට ශාලාවකට එන මිනිස්සු ගැන මම දන්නවා. සංගීතය භාවිත කිරීම තුළින් මිනිස්සුන්ට ළං වෙන්න පුළුවන් කියලා මම දන්නවා. මට අත්දැකීමක් තියෙනවා. මගේ මිත්‍ර ගුරුවරයෙක් ඔහුගේ පාසලේ මෝඩ බෑන්ඩ් එකක් හදලා ඒක ජයග්‍රහණය කළා. පරමාදර්ශී බෑන්ඩ් එක හදාගන්න මට ඒ දේ වැදගත් වුණා. මමත් ගිටාර් ගහන්න, සංගීතය කරන්න කැමැති වුණු කෙනෙක්. ඒ හැම දෙයක්ම චිත්‍රපටයට එකතු වුණා. චින්තක මට අවශ්‍ය දේ සංගීතයෙන් එළියට ගන්න උපරිම දායකත්වය දුන්නා.

'තාල' ප්‍රේක්ෂකයෝ වැලඳ ගන්න චිත්‍රපටයක් බව ඔබට විශ්වාසද?

ජනප්‍රිය තැනක, මිනිස්සු බලන තැනක මගේ චිත්‍රපටය තියෙයි. චිත්‍රපටයට කැමැති අය වගේම අකැමැති අයත් ඉඳියි. එහෙම වෙන්න ඕන. මොකද මම මාර වැඩක් කරලා නැහැ. නමුත් චිත්‍රපටය මිනිස්සු වැලඳ ගනියි.

කැමරාකරුවෙක් වූ ඔබ අධ්‍යක්ෂණයට යොමු වෙන්න හිතුවේ?

වයසට යෑමත් එක්ක අපිට වැඩ ලැබෙන එක අඩු වෙනවා. මම විශ්වවිද්‍යාලයේ ඉගැන්නුවාට මං ළඟම තියෙන දේ තමයි අධ්‍යක්ෂණය. ඉතින් ඒ දෙයට මම යොමු වුණා. එය මම කැමැත්තෙන් කරන්න පටන් ගත්තා.

ඔබ වඩාත් කැමැති වාණිජ සිනමාව ඇසුරු කරන්නද?

මම කැමැති කර්මාන්ත සිනමාවට. මිනිස්සු බලන චිත්‍රපට කරන්නයි මම උත්සාහ කරන්නේ. මිනිස්සු එක්ක සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකා මගේ චිත්‍රපටවලින් එළියට එයි.

ඔබ දිගටම අධ්‍යක්ෂණ භූමිකාවේ රැඳෙයිද?

එකක් උඩ එකක් චිත්‍රපට කරන එකක් නෑ. නමුත් මගේ පළමු චිත්‍රපටයට කැමැති, අකැමැති, ගහන, බනින දේවල් ගැන මම බලනවා. විශේෂයෙන්ම ක්ෂේත්‍රයේ ගරු කරන උගතුන්ගේ විවේචන බලනවා. තරුණ වුණත් ප්‍රවීණ වුණත් ගැඹුරින් වගකීමෙන් මාව විවේචනය කරනවා නම් මම ඒවා ‍ෙදාහොත් මුදුන් දී පිළිගෙන ඒ පණ්ඩිතයන්ගේ සම්මානය ලැබෙන කල් ඉස්සෙල්ලාම බලාගෙන ඉන්නවා.

ඒ කියන්නේ ඔබ විවේචන භාරගන්න කෙනෙක්?

ඔව්, මම මාර පොරක්, මම මාර දක්ෂයි කියලා මම කියන්නේ නැහැ. මටත් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.

සමහරු කියනවා වෙනත් චිත්‍රපටවල සෙවණැලි 'තාල' චිත්‍රපටයට වැටිලා කියලා. ඔබ එය පිළිගන්නවාද?

වෙන්න පුළුවන්. සමහරු කියනවා මගේ චිත්‍රපටය 'ගෝල්' චිත්‍රපටය වගේ කියලා. නමුත් 'ගෝල්' චිත්‍රපටය කළේ මගේ චිත්‍රපටයට පස්සේ. නමුත් ඒක මගේ චිත්‍රපටයට කලින් රිලීස් වුණා. තවත් සමහරු කියනවා මගේ චිත්‍රපටය 'හෝ ගාන පොකුණ' චිත්‍රපටය වගේ කියලා. මම මාර පොරක් නෙවෙයි. මටත් වෙනත් නිර්මාණවලින් බලපෑම් ඇවිත් ඇති.

හැබැයි මම කියන්නේ මම චිත්‍රපටය තුළින් කතා කරන දේ අවබෝධ කරගන්න කියලා. ප්‍රාථමික අධ්‍යාපනයේ ගැටලු ගැන මම සාකච්ඡා කරන්නේ. ළමයි, ගුරුවරු, මවුපියෝ මේ චිත්‍රපටය බලලා යමක් හිතයි. මම වෙන චිත්‍රපටයක් බලලා මේ චිත්‍රපටය කළා නෙවෙයි. මම කොපි කරන්න දක්ෂයෙක් නෙවෙයි. මම කියන්නේ අනුන්ගේ යෝජනාවලට අත උස්සන්නේ නැතුව තමන්ට එය බලලා කතා කරන්න දෙයක් තියෙන්න ඕන. මම ළමයින්ගේ ජීවිතේ මට දැනෙන තැනක් සාකච්ඡා කරලා තියෙනවා. ඒක බලලා ප්‍රේක්ෂකයන් තීරණය කරයි ඒකෙ වැදගත්කම.

ඔබට මේ නිර්මාණ කාර්යයට බොහෝ පිරිසකගේ සහාය ලැබෙන්න ඇති?

සත්‍යජිත්, අනුෂ්, පියල්, ඩෙනිස්, පෙරේරා, ලලිත් රත්නායක, චන්න දේශප්‍රිය, තිස්ස සුරේන්ද්‍ර, නදී කම්මැල්ලවීර කියන මගේ මිතුරු මිතුරියෝ මේ චිත්‍රපටයේ තිරපිටපත ලියද්දි ඒ ගැන සාකච්ඡා කරන්න එකතු වුණා. ඒ වගේම ඉන්දික ෆර්ඩිනැන්ඩු මට ගොඩක් උදවු කළා. ලාභ පරමාර්ථයක් නැතුව නිලාන් වීරසිංහ මට චිත්‍රපටයට සල්ලි දුන්නා.

සුසාර චිත්‍රපටය විකුණ ගන්න උදවු කළා. මගේ ගමේ යාළුවෝත් ගොඩක් උදවු කළා. අශෝක හඳගම, ආචාර්ය අනුරාධ මහසිංහ, තිසර ගීත රචනා කළා. චින්තක තමයි සංගීත නිර්මාණය කළේ. අතුල ජයසිංහ ස්ටූඩියෝවෙදි ගොඩක් වැඩ කළා. පාරු ගීතය, ඉල්හාම්, දිමුතු, සිතුම් ෂූට් කළේ. මෝඩ මෑන්ඩ් ගීතය ෂූට් කළේ චන්න දේශප්‍රිය, තිස්ස සුරේන්ද්‍ර, ධම්මික රත්නායක. විශාල යාළුවෝ පිරිසක් මට මේ වැඩේට උදවු කළා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon