පාර්ලිමන්ට් ජෝක්ස් නිසා ටවුමේ ඉස්කෝලේ දර්ශන වාර ගලවයි

  👤  1815 readers have read this article !
Published by : MB WEB 2019-02-03 08:07:31

ටවුමේ ඉස්කෝලෙට කෙනෙහිලිකම් වෙනවලු. මොකද්ද මේ ආරංචිය?

අපි ටවුමෙ ඉස්කෝලේ චිත්‍රපටය පෙන්නන්න පටන් අරන් හරියටම සති තුන ඉවර වෙන දවසේ අපිට කිව්වා ෆිල්ම් එකට බලාපොරොත්තු වන මට්ටමේ ක්‍රවුඩ් එකක් නැහැ. ඒ නිසා චිත්‍රපටයේ දර්ශන වාර මැද්දට වෙන චිත්‍රපටයක් දාන්න වෙනවා කියලා. චිත්‍රපට ශාලා හිමිකරුවෝ ගැන හිතලා අපි අපේ දර්ශන වාරයක් වෙනත් චිත්‍රපටයකට දීමට එකඟ වුණා.

ඔවුන් ඔබව දැනුවත් කළාද තිරගත වෙන අනෙක් චිත්‍රපටය ගැන?

ඔවුන් අපිට කිව්වේ නැහැ චිත්‍රපටය මොකද්ද කියලා. හැබැයි අපිට ආරංචි වුණා ඒ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය කියලා.

ඔබ ඒ චිත්‍රපටයට දර්ශන වාරයක් දෙන්න එකඟ වුණා නම් මොකද්ද එතැන තියෙන ගැටලුව?

එක දර්ශන වාරය වෙනුවට අපිට දර්ශන වාර දෙකක්ම දෙන්න වෙලා තියෙන්නෙ. දැන් තිස් වැනිදා වෙනකම්ම අපිට දින දීලා තිබුණට අපිට දීලා තියෙන දර්ශනත් බලෙන් අරගෙන.

අපි අහිංසක කලාකාරයෝ. අපිට කා එක්කවත් හැප්පෙන්න බෑ.

ඔබ මේ ගැන බෙදාහැරීමේ මණ්ඩලයෙන් විමසීමක් කළාද?

සර්කිට් එකෙන් ඇහුවම ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ එහෙම දෙයක් කළා කියලා දන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ එක එක්කෙනාට බෝලේ පාස් කරගන්නවා.

හෝල්වලින් ප්‍රශ්න එනකොට ඔවුන්ට කරන්න දෙයක් නැහැ. චිත්‍රපට සංස්ථාවෙනුත් මේ වගේ අසාධාරණකම්වලට මැදිහත් වීමක් නැහැ.

මේ චිත්‍රපටය ගලවන්න ලොකු කුමන්ත්‍රණයක් දියත් වෙනවා. මේ වගේ දේවල් සිදුවීම කර්මාන්තයට අලුතින් පිවිසෙන අයට, නිෂ්පාදකවරුන්ට ලොකු අසාධාරණයක්.

චිත්‍රපටයට බලාපොරොත්තු වූ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් නොලැබීම මේකට හේතුවක් වුණාද?

අපේ චිත්‍රපටය දෙසැම්බර් 20දා රිලීස් කළේ. 22 පෝය. 25 නත්තල්. 31, 01 වැනිදා අලුත් අවුරුද්ද නිසා මිනිස්සු ෆිල්ම් බලන්න එනවා අඩුයි. එතකොට සති 3ට දවස් 16ක් වගේ තමයි මේ ෆිල්ම් එක හෝල්වල ගියේ. ඒකත් අපිට යම් පසුබෑමකට ලක් වෙන්න හේතුවක් වුණා.

කොහොම වුණත් චිත්‍රපටයට යම් ප්‍රේක්ෂක පිරිසක් හිටියා. අපිට ගෙවල්වලට ගිහිල්ලා චිත්‍රපට පෙන්නන්න බැහැනේ. මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම සාමාන්‍ය අතට හැරෙනකොට මිනිස්සු චිත්‍රපටය බලන්න ආවා. මිනිස්සු චිත්‍රපටය බලන්න හෝල් එකට එනකොට හෝල් එකේ පෙන්නන්නේ වෙන චිත්‍රපටයක්.

චිත්‍රපටය නැරැඹූ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

චිත්‍රපටය බලපු හැමෝම චිත්‍රපටය හොඳයි, හොඳ චිත්‍රපටයක් කියලා කියනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් චිත්‍රපටය දරුවන්ට පෙන්වීමට අවසර ලැබුණා.

ඇතැම් සිනමාහල්වල ඔබේ චිත්‍රපටයේ කටවුට් ගලවලා කියලත් ආරංචියි?

ඔව්, ෆිල්ම් දෙකක් යනවා කියලා අපේ පෝස්ටර් උඩින් පෝස්ටර් ගහනවා. ඔවුන්ගේ බලය පාවිච්චි කරලා ඒක කරන්නේ.

ඇතැම් සිනමාහල්වල අපේ කටවුට් එක ගලවලා. හෝල් එකේ මේන් රිලීස් එකේ කටවුට් එක එහෙම අයින් කරන්න බෑ. ඒක නීති විරෝධියිනේ.

හෝල් එකේ අපේ කටවුට් එක නෑ කියන්නේ අපේ චිත්‍රපටය ඒ හෝල් එකේ පෙන්නන්නේ නෑ වගේනේ.

පාර්ලිමන්ට් ජෝක්ස් කියන්නේ අවුරුදු ගාණක් පරණ චිත්‍රපටයක්නේ. සමහර විට මේ ප්‍රශ්නත් එක්ක අපේ චිත්‍රපටය ගලවයි. එහෙම වුණොත් අපිට ඒ පාඩුව විඳදරා ගන්න වෙනවා.

චිත්‍රපටය වෙනුවෙන් ලොකු පිරිවැයක් දරන්නටත් ඇතිනේ. ඒවා පියවගන්නේ කොහොමද?

ඔව්, නිෂ්පාදකවරයා ලක්ෂ 300ක් පමණ චිත්‍රපටයට වියදම් කළා. අපිට හරියට දර්ශන වාර දෙකක්වත් දුන්නා නම් චිත්‍රපටය 30දා ගැලෙව්වත් කමක් නැහැ. නමුත් අපිට ඒකත් නැහැ. කොහොම වුණත් නිෂ්පාදකවරයා වියදම් කළ මුදල සොයා දෙන එක අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මගේ යුතුකමක්.

චිත්‍රපටය තිරගත වනතුරු අවුරුදු කිහිපයක් බලාගෙන ඉඳලත් අත්වෙන්නේ යහපත් ඉරණමක් නෙවෙයි නේද?

ඔව්, අපි ටවුමෙ ඉස්කෝලේ චිත්‍රපටය කරලා අවුරුදු 2ක් පෝලිමේ ඉඳලා තමයි මේ අවස්ථාව ලබා ගත්තේ. කිසිම ක්‍රමවේදයක් නැතුව පසුගිය දවස්වල චිත්‍රපට දැම්මේ. ඒත් අපි අවුරුදු දෙකක් පෝලිමේ හිටියා.


ඒත් අපිට උදාවෙලා තියෙන්නේ මේ වගේ තත්ත්වයක්.

අවුරුදු ගාණක් බලන් ඉඳලා මහන්සියෙන් කරපු නිර්මාණයක් මේ වගේ වතුරේ යනවා බලාගෙන ඉන්නද කල්පනාව?

ලංකාවේ තවම නීතියක් කියලා එකක් තියෙනවානේ. දැන් අපිට තියෙන්නේ මේ ගැන නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීම පමණයි.

ඔබේ ඊළඟ චිත්‍රපටයත් ළඟදීම තිරගත වෙයි නේද?

ඔව්, මගේ ඊළඟ චිත්‍රපටය වැලි පවුරු. ඒකටත් ටවුමේ ඉස්කෝලේ චිත්‍රපටයට මුදල් යොදවපු නිෂ්පාදකවරයාමයි මුදල් යොදවලා තියෙන්නේ.

ඒ චිත්‍රපටයටත් මේ වගේ තත්ත්වයක් උදා වුණොත්?

ඔව්, ඉතින් ඒකටත් මොනවා වෙයිද දන්නෑ, මේ වගේ අසාධාරණකම් සිද්ධ වෙනකොට.

ඉරේෂා කල්හාරි
සේනාධීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon