ලාල් වීරසිංහ දමිළ නළුවෙක් එක්ක පැය දහතුනක් ගහගෙන

  👤  2448 readers have read this article !
Published by : MB WEB 2019-02-01 06:01:38

ඔබ අලුත් වැඩකට අතගහලා කියලා ආරංචියි?

ඔව්, අන්ධ නිම්දම් කියන දමිළ චිත්‍රපටයට තමයි මේ දවස්වල එකතු වෙලා ඉන්නේ. මෙය භාෂා කිහිපයකින්ම නිර්මාණය වන චිත්‍රපටයක්. ලෝකයේ හැම තැනටම යන චිත්‍රපටයක් තමයි මේ සූදානම් කරන්නේ. මගේ ඔළුවේ කාලයක් තිබ්බ කතාවක් තමයි, ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස මේ නිර්මාණය කරන්නේ. මම සම අධ්‍යක්‍ෂණයට, නිෂ්පාදනයට වගේම රංගනයටත් එකතු වෙනවා. මම මංජුලා ද සිල්වා, කේ. යේෂු තමයි මෙහි නිෂ්පාදනයට එකතු වෙන්නේ.

ඔබත් සමඟ දමිළ ශිල්පීනුත් රංගනයට දායක වෙනවා නේද?

මමයි තව දෙමළ සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වුණු "රුද්‍රා" සහ කන්නඩ සිනමා රංගන ශිල්පිනියක වන "සංජානා නයිඳු" මෙයට රංගනයෙන් දායක වෙනවා. මම වෙනස් චරිතයක් මෙහි නිරූපණය කරනවා. ආමි කමාන්ඩෝ ඔෆිසර් කෙනෙක් විදියට තමයි මම රඟපාන්නේ.

තවත් ලාංකේය ශිල්පීන් රැසක් මේ නිර්මාණයට සම්බන්ධ කරගෙන තිබෙනවා නේද?

චන්න පෙරේරා, රජිත හිරාන්, රජිත මෙල්ඩර්, කුමාර ජයකාන්ත, නොෂින් ද සිල්වා, මාෂි ලියානා දැරිය ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නවා.

මේ දිනවල චිත්‍රපටයේ රූගත කිරීම් එක්ක අමතක නොවන සිදුවීම් ඕන තරම් ඇති?

මේ දවස්වල අන්ධ නිම්දම් චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාවේ සහ ලංකාවේ සිද්ධ වෙනවා. ඉන්දියාවේ තිබ්බ රූගත කිරීමකදී රුද්‍රා සහ මම පැය 13ක් නොකඩවා ෆයිට් කළා. ඒක නම් මට අමතක වෙන්නේ නෑ.

මේ චිත්‍රපටය ලාංකේය ප්‍රේක්‍ෂකයන්ට කොයි කාලේ දකින්න ලැබෙයිද?

මේ වසරේ මැයි, ජුනි වගේ වෙද්දී චිත්‍රපටය ප්‍රේක්‍ෂකයන් අතරට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක ප්‍රේක්‍ෂකයන්ට හොඳ අත්දැකීමක් වෙයි. භීතිය, ත්‍රාසය, විනෝදය එක්ක හොඳ චිත්‍රපටයක් ප්‍රේක්‍ෂකයන් අතරට ගේන්න තමයි මේ දවස්වල මහන්සි වෙන්නේ.

මෙය ඔබ සම්බන්ධ වන කී වැනි දමිළ චිත්‍රපටයද?

මෙය මම සම්බන්ධ වෙන දෙවැනි දමිළ චිත්‍රපටය. මීට කලින් "සූර්ය උදයම්" කියන චිත්‍රපටයට මම සම්බන්ධ වුණා.

දමිළ සිනමාවට එකතු වෙන්න අවකාශය ඔබට නිර්මාණය වුණේ කොහොමද?

ඉන්දියාවේ National institute of film television theatre වලින් තමයි මම රංගනය ඉගෙන ගත්තේ. ඒ හරහා තමයි මම රංගනය ගැන ඉගෙන ගන්න පටන් ගත්තේ. දේශීය සිනමා කර්මාන්තය එළියට ගෙන යෑමේ අපේක්‍ෂාවත් එක්ක තමයි මම මේ කරන නිර්මාණය කරන්නත් සැලසුම් කළේ.

කලාත්මක සිනමා නිර්මාණ විදේශ රටවලට අරගෙන යද්දී ඔබ ඇයි දමිළ සිනමාකරුවන් එක්ක විනෝදාත්මක සිනමා නිර්මාණයක් කරන්න හිතුවේ?

ප්‍රබුද්ධ කලාත්මක සිනමාවෙන් වෙනත් රටවල් ජයගන්න බෑ. මනිරත්නම් විනෝදාත්මක සිනමාව කොලිටියට හැදුවා. සිනමාව කියන්නේ විනෝදාත්මක මාධ්‍යයක්. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග බිහිවුණෙත් විනෝදාත්මක සිනමාවෙන්. කලාත්මක චිත්‍රපට ඒවා බලන අය වෙනුවෙන් හැදුවට කමක් නෑ. නමුත් විනෝදාත්මක සිනමා නිර්මාණ ඕන කෙනෙක් බලන්න යනවා. දැන් ලංකාවේ ගොඩක් අය තෙළිඟු චිත්‍රපට නරඹනවා. විනෝදාත්මක දෙයක් නැති සිනමාවක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. විනෝදය නැති සිනමාවෙන් කර්මාන්තයක් ජයගන්නත් බෑ. කර්මාන්තය ජයගන්නයි මම මෙවැනි චිත්‍රපටයක් කරන්න හිතුවේ.

එතකොට කලාත්මක සිනමාවෙන් වැඩක් නෑ කියලාද කියන්නේ?

මම කියන්නේ කලාත්මක චිත්‍රපට ආදායම් ලබන චිත්‍රපට ලෙස ඉදිරියට ගියේ නෑ. ප්‍රබුද්ධ ඒවා බලන මිනිසුන්ගේ රුචිකත්වය උසස් කියලා හිතන අය ඉන්නවා. අපි විනෝදාත්මක චිත්‍රපටවල රඟපාද්දී වපර ඇසින් බලන අය ඉන්නවා. මේ රටේ සිනමා කර්මාන්තය දෙමළ මිනිස්සු ආරම්භ කළේ. ඒ නිසා ඒ සම්බන්ධය මුල ඉඳලම තියෙනවා. අපේ රටේ මිනිස්සු ඉන්දියාවේ නළු නිළියෝ දැක්කම බඩ ගාගෙන ගිහින් වඳිනවා. අපේ රටේ කලාකරුවන්ව ගණන් ගන්නෑ. මම මේ වගේ නිර්මාණ කරලා ආයෙත් සිනමා කර්මාන්තය විවෘත කරන ‍ෙදාර හැරියා කියලා කාට හරි දැනෙයි.

ඒ කියන්නේ ලංකාවේ රංගන ශිල්පියාට තියෙන තැන ගැන ඔබට සතුටු වෙන්න බැරිද?

හරිම කනගාටුයි තියෙන තත්ත්වය. නමුත් මම ඒ තත්ත්වයට පත් වුණේ නැහැ. මම නළුකමයි ආර්ථිකයයි තියාගෙන හරි විදියට හිටියා. මම තාත්තාගේ, බාප්පාගේ චරිත කරන්නේ නෑ. මම හීරෝ විදියට ඇවිත් හීරෝ විදියටම තමයි මේ ක්‍ෂේත්‍රයෙන් අයින් වෙන්නේ.

ඒ කියන්නේ ඔබ ලැබෙන හැම දේම කරන කෙනෙක් නෙවෙයි?

මට ඉල්ලුම තිබ්බත් නැතත් එකයි. මම දන්නවා මම හැම චරිතයම නොකළත් මම මිනිස්සු අතර ඉන්නවා. ලාල් වීරසිංහ කිව්වාම ඉන්දියාවේ මිනිස්සුත් මාව දන්නවා.

ඔබ ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් කාලයක් වෙනවා. ඔබට කරන්න ලැබුණු දේවල් ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

සෑහීමකට පත්වෙන්නේ නෑ. මම අන්ධ නිමදම් චිත්‍රපටයේ මුහුරත් උළෙලට වේට්ටිය ඇඳගෙන දකුණු ඉන්දියාවට ගියේ. මාව දැකලා එහෙ අය කිව්වා මම ලංකාවේ නළුවෙක් කියලා හිතෙන්නේවත් නෑ කියලා. ඒ රටේ මිනිස්සුන්ට අපිව අගේ වුණාට මේ රටේ අයට අගයක් නෑ. සමහරු මගේ මූණට, ඉන්න විදියට, අඳින පලඳින විදියට කැමැති නැහැ. මම කරපු දේවල් ගැන සතුටුයි. ඉදිරියටත් හොඳ අවස්ථා ලැබුණොත් කරනවා.

ඔබ වෙනත් නිර්මාණවලට මේ දවස්වල රංගනයෙන් දායක වෙන්නේ නැද්ද?

චන්න පෙරේරාගේ චිත්‍රපටයක මම ප්‍රධාන චරිතය කරන්න හිටියා. ඒත් මගේ චිත්‍රපටය කරන නිසා ඒකට යන්න වුණේ නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අශාන් ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon