වසර විසිපහකට පසු සුනන්ද සිල්වා වේදිකාවට ගෙනා සුරඟනපුර

  👤  2114 readers have read this article !
Published by : MB WEB 2019-01-31 11:03:22

ඔබ කාලයකට පස්සේ වේදිකාව පැත්තට හැරිලා..?

ඔව්. මම අවුරුදු විසි පහකට පස්සේ නාට්‍යයක් කළා. ඒ තමයි සුරඟනපුර. මම වේදිකාවෙන් තමයි ක්ෂේත්‍රයට ආවේ. දේශපාළුවා, උතුරේ රාහුල හිමි, ගොලු දිවයින, කමාන්ඩෝ දියසේන වගේ නාට්‍ය කිහිපයකම මම රඟපෑවා. 1997 දී මම "එළියට බය මිනිස්සු" නාට්‍ය නිෂ්පාදනය කළා. උතුරු මැද කලා උළෙලේදී හොඳම නළුවා සහ හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය මේ නාට්‍ය වෙනුවෙන් ලැබුණා. 1980දී රාජකීය වෙන්දේසිය නාට්‍ය කළා. 1983දී පාරාදිකා නාට්‍ය කළා. එයට යෞවන සම්මාන නවයක් හිමිවුණා. කාලයකට පස්සේ තමයි අලුත් නාට්‍යයක් කළේ.

කාලයකට පස්සේ වේදිකා නාට්‍යයක් කරන්න හිතුවේ..?

මම වේදිකාවට ගොඩක් ආදරෙයි. ටෙලි නාට්‍ය රාශියක් ලියන්න යොමුවුණ නිසා වේදිකාව වෙනුවෙන් යොමු වෙන්න බැරි වුණා. නමුත් මම පුළුවන් පුළුවන් විදියට නාට්‍ය පිටපත් ලෑස්ති කරගෙන හිටියා. ඔය අතරේ රාජකීය වෙන්දේසිය නාට්‍යයේ මාත් එක්ක රඟපාපු ගාමිණි රත්නායක තමයි ආයෙත් නාට්‍යයක් කරමු කියලා මාව උනන්දු කළේ. නාට්‍යයට අවශ්‍ය පිරිවැය දැරුවෙත් ඔහු.

නාට්‍ය කවදා කොහේදිද වේදිකාගත වෙන්නේ කියලා මතක් කරමු?

අද (27දා) ප.ව. 6.30ට මරදාන ටවර් රඟහලේදී තමයි මෙය පැවැත්වෙන්නේ. පෙබරවාරි 8 වැනිදා ප.ව. 3.30ට සහ 6.30ට කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී වේදිකාගත කරන්නත් සූදානම් කරලා තියෙනවා.

මෙය මොනවගේ කතා තේමාවක්ද පදනම් කරගන්නේ..?

ඇමැති කෙනකුට පෙනෙන හීනයක් තමයි මේ නාට්‍යයේ දිගහැරෙන්නේ. ඇමැති කෙනෙක් මියගියාට පස්සේ අපායේ යන්න හිටපු ඇමැති දිව්‍යලෝකේ ගිහින් බලය අල්ලගන්න දඟලන හැටි තමයි මේ නාට්‍යයේ කියවෙන්නේ. හාසේ‍යාත්පාදකව තමයි මේ කතාව ඉදිරිපත් වෙන්නේ.

ඒ කියන්නේ මෙය දේශපාලන ප්‍රහසනයක්..?

ඔව්. මෙය දේශපාලන ප්‍රහසනයක්. හැබැයි කිසිම දේශපාලන පක්ෂයක් අපහාසයට, උපහාසයට ලක් කරලා නැහැ. දේශපාලන ක්‍රමවේදය උපහාසයට ලක් කිරීමක් තමයි කරලා තියෙන්නේ.

හාසේ‍යාත්පාදක නාට්‍යයක් කරන්න හිතුවේ ප්‍රේක්ෂකයෝ අල්ල ගන්න පහසුවටද?

මිනිසුන්ට ජීවිතයේ ඕන තරම් ප්‍රශ්න තියෙනවා. සල්ලි ගෙවා ගෙන ඇවිත් නාට්‍ය බලන මිනිසුන්ට නාට්‍යයෙනුත් ප්‍රශ්න දාන්න බැහැ. ඔවුන්ට සහනයක් දෙන දෙයක් තමයි අපි කරන්න ඕන. මිනිස්සු නාට්‍ය බලලා හිනාවෙලා ගෙදර ගියාට නාට්‍යයයෙන් කියපු දේ ඔවුන් ඔළුවට ගන්නවා. අපි නිකන් නාට්‍යයක් කරලා හරියන්නේ නෑ. දුවන්න පුළුවන් නාට්‍යයක් තමයි අපි කරන්නේ. සම්මාන ගන්න නාට්‍ය කළොත් ඒවා දවසක් දෙකක් පෙන්නලා ගෙදර තියාගන්න වෙන්නේ.

මේ නාට්‍ය නිර්මාණයට සම්බන්ධ වෙන ශිල්පීන් ගැනත් මතක් කරමු..?

සරත් චන්ද්‍රසිරි, හේමන්ත ඊරියගම, සුසිල් පෙරේරා, ධනුෂ්කා ජයරත්න, ශෂිකා පීරිස්, හේෂාන් විජේරත්න, මනෝජ් යාලෙගම තමයි මෙහි රංගනයට දායක වෙන්නේ.

ඔබ මේ වෙනකොට ටෙලි නාට්‍ය රාශියක පිටපත් රචකයෙක් ලෙස එකතු වෙලා තියෙනවා. අලුත් වැඩවලටත් එකතු වෙන්න ඇති නේද?

මම මුලින්ම ටෙලිනාට්‍යයක් ලිව්වේ මාලනි ෆොන්සේකා සහ ලකී ඩයස් වෙනුවෙන්. ඒ රන්ගිරි දඹ. ඊට පස්සේ මම දෙපැති දහර, සැනසිලි සුවඳ, සොහොයුරෝ, කෙම්මුර වැනි නාට්‍ය එකසිය පනහක් විතර ලිව්වා. එච්.ඩී. ප්‍රේමරත්න මහත්මයා වෙනුවෙන් තමයි මම පළමු කොටස් සියයේ නාට්‍ය ලිව්වේ. මලි, අත්තම්මා, සිඳු නාට්‍ය ලිව්වෙත් මම. එරංග සේනාරත්නගේ "ඉලන්දාරියෝ" කියන නාට්‍ය ලියලා තියෙනවා. ශි්‍රයානි අමරසේනට ගුවන් පාලම කියලා පිටපතක් ලිව්වා. නාලන් මෙන්ඩිස් වෙනුවෙනුත් පිටපතක් ලියමින් ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon