ඉඹුලාන - බෝපැත්තේ මාර්ගය අලුත්වැඩියා කටයුතු අතරමඟ

  👤  1810 readers have read this article !
Published by : MB WEB 2019-01-23 07:38:29

රුවන්වැල්ල - එස්.ආර්. සමරක්කොඩි

ගංවතුර ගැලූ දිනවලට විකල්ප මාර්ගයක් ලෙසද ප්‍රයෝජනයට ගන්නා ඉඹුලාන - බෝපැත්ත මාර්ගයේ අලුත්වැඩියා කටයුතු අතරමඟ නවතා දැමීම නිසා ගම් කීපයක ජනතාව දුෂ්කරතාවන්ට පත්වී සිටිති.

රුවන්වැල්ල හා අඟුරුවැල්ල යන නගර අතර ස්ථාන කීපයක් ගංවතුර ගැලූ දිනවලට යටවන හෙයින් ප්‍රධාන මාර්ගවලට පිවිසීම සඳහා ජනතාව මෙම මාර්ගය පරිහරණය කරති. එසේ තිබියදී දැඩි ලෙස අබලන් වෙමින් පැවති මෙම මාර්ගය පිළිසකර කිරීම 2017 වර්ෂයේදී ආරම්භ කර ඇත. ගල් ගැලවී තැනින් තැන හා එක දිගට සෑදුණු වළගොඩැලි සහිතව තිබූ මෙම මාර්ගය ගල් අතුරා ඒ මත තාර දමා අලුත්වැඩියා කිරීම ඒ අනුව සිදුවිය. එහෙත් වසරේ මැද භාගයේද කොන්ත්‍රාත්කරු එම කටයුතු නවතා දමා ඇත.

පයින් ගමන් කිරීමටවත් නොහැකිව තැන් තැන්වල ගොඩගසා තබූ කළුගල් කැබලි අවහිරයක්ව පැවැති හෙයින් බැරිම තැන ජනතාව එක් වී පාරේ අතුරා ඇත. එහෙත් එසේ නොකළ පාර දිගට ගොඩගසා ඇති ගල් ගොඩවල් තවමත් දැකිය හැකිවේ.

මේ අතර මාර්ගය සකස් කිරීමට ගෙනා ගල් රෝලද වසර එකහමාරක් ගතවී වුවත් තවමත් නවතා ඇත. ඒ පිටුපස ක්‍රමයෙන් විශාල වන වතුර වළක්ද නිර්මාණය වෙමින් පවතී. එබැවින් මාර්ගයේ ඇති වැදගත්කම පිළිබඳව අවධානය යොමුකර කඩිනමින් අලුත්වැඩියා කරදීම වගකිව යුත්තන්ගේ කාර්යයක් විය යුතුව ඇතැයි මේ පිළිබඳව අදහස් දක්වන ජනතාව පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon