මෙදා පාර උපන් දිනයටත් ජනිත් ලේ වලින් කරන ගනුදෙනුව

  👤  2141 readers have read this article !
Published by : MB WEB 2019-01-23 06:52:48

• ජනිත් මෙදා පාර උපන් දිනයටත් සුවිශේෂ වුණු වැඩක් කරන්න යනවා නේද?

ඔව්. මම 8 වැනි වතාවටත් මගේ උපන් දිනය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ජනවාරි 26 වැනිදා උදේ 9.00 සිට දහවල් 1.00 දක්වා නාරාහේන්පිට ලේ බැංකුවේදී තමයි මේ වැඩකටයුත්ත සිද්ධ වෙන්නේ. එදාට පුළුවන් සියලු දෙනාටම එකතු වෙන්න කියන ආරාධනාව කරනවා.

• උපන් දිනයට පාටි දාලා විනෝද වෙන එක පැත්තක තියලා මේ වගේ දෙයක් කරන්න ඕනේ කියන අදහස ජනිත්ට ආපු දෙයක්ද?

මම, කාංචන කොඩිතුවක්කු, සරත් දික්කුඹුර විදේශ රටකට ගිහින් එද්දී තමයි අපිට මේ අදහස ආවේ. මීට අවුරුදු අටකට කලින් ට්‍රෙන්ඩ් එක වෙලා තිබුණේ පාටි දාලා ඒවා ගොසිප් දාගන්න එක. ඒ ගොසිප් නිසා ක්ෂේත්‍රය ගැන වැරැදි පණිවුඩ ගිහින් තිබුණේ. කලාකරුවෝ විදියට අපිට වෙන වගකීමක් තියෙනවා සමාජය වෙනුවෙන් ඉෂ්ට කළ යුතු.

පෞද්ගලිකව මගේ ආත්මයට හොඳක් වෙනවා වගේම සමාජයට දෙයක් කරන්න පුළුවන් නම් කොයි තරම් වටිනවාද?

• වසර අටක් මේ වගේ කාර්යයක් එක දිගට කරගෙන යන්න ලේසි නැහැ නේද?

ඔව්. මම විශ්වාස කරනවා කලාකරුවෝ විදියට අපි කරන දේවල් ට්‍රෙන්ඩ් එකක් වෙනවා. ඉතින් මේ වගේ හොඳ වැඩක් කරලා අනෙක් පිරිසත් මෙවැනි දෙයකට යොමු කරන උත්තේජනයක් වෙන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්.

අපි මේ කරන ලේ දන් දීමේ වැඩසටහන නිසා හොඳ දෙයක් වෙන්නේ. අපි මෙදා පාර බ්ලඩ් පයින්ට් 250ක් දන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපිට දාහක් දෙනා ජීවත් කරන්න පුළුවන්.

ඒ කරන දේ හදවතින් විඳින ගමන් සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න අපිට හැකියාව ලැබෙනවා.

• හැමෝම යන රැල්ලට නොගිහින් මේ වගේ සමාජ සත්කාරයක් එක දිගට කරන්න ලැබීම ගැන අද ජනිත් සතුටු වෙනවා ඇති?

අනිවාර්යයෙන්ම, පුදුමාකාර සතුටක් තියෙන්නේ. සමහර වෙලාවට හොඳ දෙයක් කළත් කොන්වෙන තැන් තියෙනවා. මොකද දැකලා පුරුදු ට්‍රෙන්ඩ් එකේ දේවල් නොකරන නිසා. නමුත් මේ වගේ දෙයක් කරලා ලබන සතුට තමයි වැදගත්. මම ස්වභාවධර්මය විශ්වාස කරනවා. අපි හොඳ දේවල් කරද්දී ස්වභාව ධර්මය අපිව ආරක්ෂා කරනවා. මේ වගේ හොඳ දෙයක පෝස්ට් එකක් ෂෙයාර් කළත් ඒක ලොකු පිනක්.

• සමහරු හිතනවා මේ වගේ සමාජ සත්කාර වැඩවලිනුත් ජනප්‍රිය වෙන්න සමහරු උත්සාහ කරනවා කියලා. කවුරු හරි කෙනෙක් ජනිත්ටත් එවැනි දෙයක් කිව්වොත්?

සමහරු එහෙම හිතනවා තමයි. නමුත් ජනප්‍රිය වෙන්න හරි මේ වගේ දෙයක් කරන එක වටිනවා. මේ වගේ දෙයක් කළා කියලා මාව ප්‍රමෝට් වෙන්නේ නෑ. මම නිසා මේ වැඩේ ප්‍රමෝට් වෙනවා. අපි මැරෙන මිනිස්සු. අපි ජීවිතය ගැන තේරුම් අරන් වැඩ කරන්න ඕන. මම මගෙන් වෙන්න ඕන දේ උපරිමයෙන් කරනවා.

• මිනිස්සු එකතු වෙන්නේ විනෝද වෙන්න පුළුවන් දෙයටලු. අවුරුදු අටක් එක දිගට මේ වගේ සමාජ සත්කාරයක් කරපු ජනිත්ටත් මේ වගේ දෙයකට මිනිස්සු එකතු කරගන්න අපහසුවක් දැනිලා නැද්ද?

ඇත්තටම පාටියකට එන සෙනඟ මේ වගේ දෙයකට එන්නේ නෑ. යම් පිරිසක් මංමුළා වෙලා කියලා හිතෙනවා. මම හිතන්නේ මම කරන මේ කාර්යයට එකතු වෙන පිරිස කවදා හරි මගේ මළ ගෙදරටත් එයි. මෙතැන ආතල් එකක් නැති නිසා එන්නේ නැති අය යාළුවෝ නෙවෙයි. මේ වගේ දෙයකට එකතු වෙන කෙනා ළඟ ලොකු වටිනාකමක් තියෙනවා.

• මේ කාර්යයට ජනිත්ට උදවු වෙන පිරිසක් ඇති?

ඔව්. හැමදාම මගේ මිත්‍රයන් පිරිසක් මට උදවු කරනවා. මුල ඉඳන්ම මෙයට උදවු කරන පිරිසක් ඉන්නවා. කලාකරුවන් එකතු කරගන්නේ වැඩි ආකර්ෂණයක් දෙන්න. එ් ආකර්ෂණය ඔස්සේ වැඩි පිරිසක් මෙයට දායක කරගන්න හැකියාව ලැබෙනවා. හොඳ පණිඩුඩයක් සමාජගත කරන්නත් හැකියාව ලැබෙනවා.

• ඔය වැඩකටයුත්ත ඒ විදියට සැලසුම් වෙද්දී ජනිත්ගේ මේ දවස්වල රංගන කටයුතු ගැනත් කතා කරමු?

අභඵඩ චිත්‍රපටයේ වැඩ කටයුතු නිම කළා. ඒක දැවැන්ත බයිස්කෝප් එකක් වෙයි. ඉතින් ඒක තිරයට එනකල් බලාගෙන ඉන්නවා.

ඊට අමතරව නීල පබළු, දූවිලි අහස සහ නිරාශා කියන ටෙලි නාට්‍යවල රූගත කිරීම් කරගෙන යනවා. තවත් වැඩ කිහිපයක් ගැන සාකච්ඡා මට්ටමින් තියෙනවා.

• මේ දවස්වල වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබිලා තියෙන්නේ පුංචි තිරයේ ජනිත්ගේ මොන රංගනය වෙනුවෙන්ද?

නීල පබළු නාට්‍යයේ රාජ්ටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. නිරාශා නාට්‍යයේ ලෂිගේ චරිතයට ප්‍රතිචාර හොඳයි. දූවිලි අහස නාට්‍යයේ මිගාරගේ චරිතයත් මම ආසාවෙන් කරන චරිතයක්.

• පවුලේ හැමෝම එකතු වෙලා අලුත් වැඩක් කළොත් නරකද?

මගේ තාත්තාට වකුගඩුවක් බද්ධ කරලා, ඒ වැඩ කටයුතු අවසන් වුණේ ගිය අවුරුද්දේ. තාත්තාව සුව කර ගැනීමට තමයි ඒ කාලය යෙදෙව්වේ. දැන් තාත්තා පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරගෙන යනවා. අපිට ආයෙත් වැඩ ටිකක් සැලසුම් කරන්න පුළුවන් වෙයි.

• කාලයක් ක්ෂේත්‍රයේ හිටපු ජනිත් ක්ෂේත්‍රයේ වැඩ කරද්දී වාරණ දාගෙන තියෙනවාද?

මම චිත්‍රපට කරද්දී නම් තෝරා ගැනීමක් කරන්නේ නෑ. මොකද තෝරා ගැනීමක් කරන්න තරම් නිර්මාණ නෑනේ. නමුත් ටෙලි නාට්‍ය කරද්දී නම් තෝරා ගැනීමක් කරනවා.

කොහොම වුණත් දැන් හොඳ චිත්‍රපට ටිකක් හැදෙමින් තියෙනවා. ඉදිරියේදී නිෂ්්පාදන සම්බන්ධීකරණය පැත්තටත් එකතු වෙලා හොඳ වැඩ ටිකක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.

• මොනවද ඉදිරි වැඩ කටයුතු?

අප්‍රේල් මාසේ වගේ වෙද්දී නර්තන ප්‍රසංගයක් ලෝකෙ වටේ ගෙනියන්න සැලසුම් කරගෙන ඉන්නවා.

• මේ වසරේවත් ජනිත්ගේ ජීවිතයේ වෙනසක් වෙයිද?

මේ වසරේත් ඒ වෙනස වෙන එකක් නෑ. ඕනම දෙයකට කලබල වෙන්න හොඳ නෑනේ. දිගටම ඉන්න බලාගෙනනේ කෙනෙක්ව ළං කරගන්න ඕන. ඒ ගැන ඉදිරියේදී බලමු.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon