ඉහළ හා පහළ කොත්මලේ ජලාශ දෙක අතරේ ඔය සිඳීයෑමේ ගැටලු

  👤  2055 readers have read this article !
Published by : MB WEB 2019-01-18 07:29:56

කොත්මලේ - ජයතිස්ස මල්දෙණිය

පසුගිය දෙසැම්බර් මස අවසානය දක්වා පැවැති වර්ෂාව නැවතී දින 15ක් තරම් කෙටිකාලයක් තුළදී තලවකැලේ පිහිටි ඉහළ කොත්මලේ ජලාශයත්, නියම්ගම්‍ෙදාර දක්වා පිරී පවතින පහළ කොත්මලේ ජලාශයත් අතරතුර කිලෝමීටර් 20ක පමණ දුර ප්‍රමාණයක කොත්මල් ඔයේ ජල ධාරිතාව බෙහෙවින් අඩු වී ගංගා නිම්නය සිඳී ගොස් ඇති අයුරු දක්නට ලැබේ. මෙම කොටසේදී මේ දිනවල කොත්මල් ඔය දිස්වන්නේ ගංගා නිම්නයට සරිලන ජල ප්‍රමාණයක් ගලා නොබසිනා අයෝග්‍ය ගංගාවක් ලෙසිනි.

කොත්මල් ඔය මේ අයුරින් සිඳී යෑමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය යටතේ තලවකැලේ ජලාශයේ එක්රැස්වන ජලය නියම්ගම්‍ෙදාර බලාගාරයෙන් මෙගාවොට් 150ක විදුලි බලයක් ජනනය කිරීම සඳහා කි.මී. 12.9ක දිගකින් හා මීටර් 5.2ක විෂ්කම්භයකින් යුතු උමඟට තත්පරයකට ඝනමීටර් 3ක ප්‍රමාණයකින් මුදා හැරීමයි.

මේ හැරුණු විට ඉහළ කොත්මලේ (තලවකැලේ) ජලාශ වේල්ලේ සිට කොත්මල් ඔයට මුදා හැරෙන ජලයෙන් කොටසක් මෑතගම හාල්පොළ ප්‍රදේශයේදී වේල්ලක් බැඳ නුගතොට දක්වා ගෙන ගොස් මෙගාවොට් 4.5ක කුඩා ජල විදුලි බලයක් නිෂ්පාදනය කිරීම නිසා කොත්මල් ඔයේ ගලාබසිනා ජල ප්‍රමාණය තවදුරටත් අඩු වී ඇත. එමෙන්ම තලවකැලේ ජලාශ වේල්ලේ සිට නියම්ගම්‍ෙදාර දක්වා කොටසේදී කොත්මලේ ඔයට එකතු වන ඩෙවන්ඔයේ හා පූඬළුඔයේ ජලධාරිතාවද මේ දිනවල අඩුවෙමින් පවතී.

මෙවන් තත්ත්වයක් යටතේ මෙම කොටසේ වෙසෙන සිවුපා සතුන් හා පක්ෂීහු දැඩි අසීරුතාවට පත්ව සිටී. ඉදිරි පෙබරවාරි හා මාර්තු මාස දෙකේ දැඩි නියඟයක් පැවතුනහොත් ජල ස්නානයට හා ගවයන්, එළුවන් හා සුනඛයන් නෑවීමට ගංගාව පරිහරණය කරන බෙරවාන, විජයබාහුකන්ද, උඩගම, රාවණාගොඩ, මෑතගම, මල්දෙණිය, වැවහේන කිරිඳිවෙල, හාල්පොළ, මඩකුඹුර, දුනුකේදෙණිය ආදී මැදපණේ හා උඩපනේ කෝරළ දෙකේ ගම්මානවල විශාල පිරිසකට විශාල අපහසුතාවක් සිදුවනු ඇත. ගං නිම්නයේ එකතු වන ජල ප්‍රමාණය ගලා නොගොස් එකතැනම රැඳී තිබීම නිසා ඉදිරි කාලයේදී පාරිසරික ගැටලු රැසක් මතුවිය හැකි බවද ගම්වාසීහු පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon