දිප්පිට ගල් මෝල් දෙකක් නිසා ජනතාව පීඩාවට පත්වෙලා

  👤  1160 readers have read this article !
Published by : MB WEB 2019-01-15 09:13:54

මතුගම - වසන්ත කුමාර

මතුගම, වැලිපැන්න, දිප්පිට ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල් මෝල් දෙකක් නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මැදිහත්ව ජනතාවට සාධාරණත්වය ඉටුකර දීමට වැලිපැන්න පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනිල් විතාන මහතා පියවර ගෙන ඇත.

දිප්පිට 793 ග්‍රාමසේවා වසමේ කලක සිට පවත්වාගෙන යන පෞද්ගලික ගල් මෝල් දෙකක් නිසා ප්‍රදේශයේ ජන ජීවිතයට විශාල තර්ජන එල්ල වන බව ප්‍රදේශයේ ජනතාව වැලිපැන්න පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව පසුගියදා අදාළ සියලු පාර්ශ්වයන් වැලිපැන්න ග්‍රාම ලේකම් කාර්යාලයේදී ප්‍රශ්නය සාකච්ඡා කළේය.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ අධි බලැති බෝර දැමීමෙන් නිවාස දේපළවලට හානි වන බවයි. ගල් කුඩු ප්‍රදේශ
යේ පානීය ජල ළිංවලට වැටීමෙන් ජලය අපිරිසුදු වී ඇත. මේ තත්ත්වය ජන ජීවිතයට තර්ජනයක් බවද පැවැසීය. ඊට අමතරව දිප්පිට, වැලිපැන්න මාර්ගය විනාශ වී ඇති අතර ගල් පැටවූ ලොරි නිතර ධාවනය නිසා මාර්ගයේ බෝක්කු පවා විනාශ වෙලා තිබෙනවා යැයි ජනතාව කියති.

පතල් හා භූ විද්‍යා ඉන්ජිනේරු හසිතා චතුරාණි මහත්මිය කීවේ බෝර දැමීමේදී ගල හාරන ප්‍රමාණය, නිවාසවලට ඇති දුර අනුව දැනුම්දී තිබෙන බවයි. එම නීතිරීති නොතකා කටයුතු කළහොත් වහාම පැමිණිලි කළ හැකි යැයිද ඇය කීවාය.

මතුගම ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමා පී. කාරියවසම් මහත්මිය කීවේ මෙම ගල් මෝල් දෙක සඳහා බලපත්‍ර ලබාදී ඇත්තේ කොන්දේසි ගණනාවක් අනුව බවයි. එම කොන්දේසි කඩ නොකළ යුතුයි. ඒ පිළිබඳ සොයා බැලීමට 12 දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කරනවා යැයිද ඒ මහත්මිය පැවැසුවාය.

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ මහතා කීවේ මෙම මාර්ගය ප්‍රාදේශීය සභාව මඟින් ප්‍රතිසංස්කරණය කර ඇතැයි කියාය. එහෙත් අධික වර්ෂාව නිසා පසුගිය දිනවල යළි අබලන්ව ඇති බවත් ගල් මෝල් හිමියන්ද සම්බන්ධ කරගෙන මාර්ගය නඩත්තු කිරීමට පියවර ගන්නා බවද පැවැසීය.

ගල් මෝල් හිමියකු වන පී.වී. සම්පත් මහතා කීවේ මාර්ගය නඩත්තුව පසුගිය කාලයේදී කළ බවයි. ඉදිරියේදී ද අවශ්‍ය සහාය දීමටද එකඟ වන බවත් ජනතාව සහ පරිසරයට හානි නොවන ලෙස ගල් වැඩපළ පවත්වාගෙන යෑමටද එකඟතාව ප්‍රකාශ කළේය.

උද්ඝෝෂණ විරෝධතා මඟින් ජනතාවට පීඩා කරන සම්පත්, දේපළ විනාශ කරන ක්‍රියාදාමයක් වෙනුවට අගතියට පත් පාර්ශ්වය, වගකිවයුතු පාර්ශ්ව, අදාළ බලධාරීන් නිලධාරීන් එකම ස්ථානයකට කැඳවා ගමකට බලපා තිබූ විශාල ප්‍රශ්නයක් විසඳීමට වැලිපැන්න පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනිල් විතාන මහතා ගත් උත්සාහයට ප්‍රදේශයේ ජනතාව ස්තුතිය පළ කළහ.

මෙම අවස්ථාවට ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනී යසෝධා රම්‍යලතා මහත්මිය, වැලිපැන්න පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon