ටවුමේ ඉස්කෝලෙන් සිනමාවට එකතු වූ පුංචි තරු

  👤  2495 readers have read this article !
Published by : MB WEB 2019-01-18 06:27:53

ටවුමේ ඉස්කෝලේ නිසා දැන් ප්‍රභාෂි ජනප්‍රිය වෙලා නේද?

මේක මගේ පළමුවැනි චිත්‍රපටය. පළමු චිත්‍රපටයෙම මට ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබුණා. දැන් ටවුමේ ඉස්කෝලේ තිරගත වෙන නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාසලේ ගුරුවරු, මගේ යාළුවො චිත්‍රපටය බලලා තිබ්බා. නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ යද්දී නංගිලා පොත් අරගෙන ආවා මගෙන් අස්සන් ගන්න.

ප්‍රභාෂි ඉගෙන ගන්නේ මොන පාසලේද?

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ 9 වසරේ තමයි මම ඉගෙන ගන්නේ.

ජනප්‍රිය චරිතයක් වෙන තැනට ප්‍රභාෂිව ගෙනාපු ටවුමේ ඉස්කෝලෙට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

අපේ පාසලේ ඩ්‍රාමා ටීචර් දිවමං ගජමං කියලා පාසලේ නාට්‍යයක් කළා. ඒ නාට්‍යයේ ප්‍රධාන චරිත හතරෙන් එකක් මම කළේ. ඒ නාට්‍ය කළාට පස්සේ සුනිල් ප්‍රේමරත්න මාමා අපේ ඩ්‍රාමා ටීචර්ගෙන් අහලා තිබ්බා රඟපාන්න පුළුවන් ළමයෙක් ඉන්නවද කියලා. ඩ්‍රාමා ටීචර් මගේ නම කියලා තිබ්බා. ඊට පස්සේ මම සම්මුඛ පරීක්ෂණයට ගියා. මාව ඒ සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණා. මට මුලින්ම ලැබුණේ ඩබල් ඇක්ටින් කරන්න.

ඒත් චිත්‍රපටයේදී ප්‍රභාෂි ඩබල් ඇක්ටින් කරන්නේ නෑ. ඇයි ඒ?

තවත් ළමයෙක්ට අවස්ථාව දෙන්න ඕන නිසා මගේ අම්මා ඒ චිත්‍රපටයේ අවස්ථාවක් මගේ යාළුවා මෙලිෂාටත් ලබා දෙන්න ඉඩ හැදුවා. මගේ අම්මා ගොඩක් හොඳ කෙනෙක්. තවත් කෙනෙක්ට අවස්ථාවක් හැදුවේ එයා.

කොහොමද යාළුවත් එක්ක එකට රඟපාන්න ලැබුණ අවස්ථාව?

පාසලේ නිවාඩු මාසේ මට එයත් එක්කම ඉන්න පුළුවන් වුණා. මගේ යාළුවත් එක්කම ඒ චිත්‍රපටයේ එකට රඟපාන්න ලැබුණ එක ගොඩක් සතුටුයි.

ප්‍රභාෂි රංගනයට එන්න කැමැත්තෙන්ද හිටියේ?

මුලින් නම් මම රංගනය කරන්න හිතාගෙන හිටියේ නැහැ. මම බටහිර සංගීතය කළා. ඊට පස්සේ තමයි නාට්‍යවලට ආවේ. ස්වර්ණවාහිනියේ තරු පොකුරෙන් සහ ස්වාධීන රූපවාහිනියේ ළමා නිවේදිකාවක් විදියටත් මාව හඳුනා ගත්තා. ඊට පස්සේ ටවුමේ ඉස්කෝලේ චිත්‍රපටයෙන් සිනමා රංගනයටත් එකතුවුණා.

මුලින්ම කැමරාව ඉස්සරහා රඟපාද්දී බයක් දැනුණේ නැද්ද?

මුලින්ම ෂූටින් යද්දි පුංචි බයක් තිබ්බා. ඒත් සුනිල් ප්‍රේමරත්න මාමා, තරංග මාමා, දිලු නැන්දා, මගේ අම්මා මගේ බය නැති කළා. ඊට පස්සේ රඟපාන එක සාමාන්‍ය වුණා.

චිත්‍රපටය බලද්දී ප්‍රභාෂිට තමන්ගේ රංගනය ගැන මොකද හිතෙන්නේ?

මම හිතුවටත් වඩා හොඳට රඟපාලා තියෙනවා කියලා හිතෙනවා. ඒ මමද ඉන්නේ කියලා හිතුණ අවස්ථාත් තිබුණා.

ප්‍රභාෂිගේ රංගනය ගැන ක්‍ෂේත්‍රයේ මාමලා නැන්දලා මොන වගේ ප්‍රතිචාරද දැක්වූවේ?

මම හොඳට රඟපාලා තියෙනවා කියලා ගොඩක් අය කිව්වා. රොෂාන් රණවන මාමා කිව්වා අලුත් වුණාට අලුත් බව පේන්නේ නෑ තාත්විකව රඟපාලා තියෙනවා කියලා.

ප්‍රභාෂිගේ රංගනය දැකලා අම්මයි තාත්තායි ගොඩක් සතුටු වෙන්න ඇති?

ඔව්. මගේ රංගනයන් දැකලා අම්මා ඇඬුවා. තාත්තා නම් මාව ඩිනර් අවුට් එක්ක ගියා.

රංගනයේදී වැඩිපුරම ප්‍රභාෂිට උදවු කළේ කවුද?

බිමල් මාමා ගොඩක් උදවු කළා. තාරුකා අක්කත් එහෙමයි. දිලු වීරසිංහ නැන්දත් කලින් දවසේ ඉඳන් ස්ක්‍රිප්ට් එකට ලෑස්ති වෙන විදිය කියලා දෙනවා හැමදාම. චිත්‍රපටයේ හිටපු හැමෝම මට ගොඩක් උදවු කළා.

චිත්‍රපටයෙන් පස්සේ රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?

සමන් කුමාර ලියනගේ මාමා 'පාලි' නාට්‍යයට ආරාධනා කළා. ඒත් පාසල් යන දවසක සම්මුඛ පරීක්ෂණය තිබ්බ නිසා ඒකට යන්න බැරි වුණා. රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා.

ප්‍රභාෂි දිගටම රඟපාන්න කැමැතිද?

අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවෙන්න රංගන කටයුතුවලට සම්බන්ධ වෙනවා. සුනිල් ආරියරත්න මාමාගේ චිත්‍රපටයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම හොඳ වැඩවලට පුළුවන් විදියට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් කරන කාලේ අමතක නොවන සිදුවීම් ඇති නේද?

ඔව්. චිත්‍රපටයේ එක දර්ශනයක් තියෙනවා මම වොෂ්රූම් එකක හිරවෙලා ඉන්න. ඒ දර්ශනය රෑ 10.30 ඉඳන් පාන්දර 2.00 විතර වෙනකල් කළා. එදා සුනිල් මාමා මට බැන්නා. ඒ බැන්න නිසා මම 10.30 ඉඳන් උදේ 2.00 වෙනකල් අඬ අඬා තමයි රඟපෑවේ. ඒක මගේ තාත්ත්වික රංගනය ගන්න සුනිල් මාමා සැලැසුම් කරලා කරපු දෙයක්. ඒ වගේම මට ඇස් වහගන්න කියලා කොළ ගුළියකින් මට ගැහුවා. ඇස් අරිද්දි ඒකේ හිටියේ කැරපොත්තෝ ගොඩක්. මම කැරපොත්තන්ට කැමැතිම නෑ. කැරපොත්තො දැක්ක ගමන් මට නිකම්ම කෑ ගැහුණා.

ප්‍රභාෂි අනාගතයේ මොන ක්‍ෂේත්‍රයට එකතු වෙන්නද කැමැති?

භාෂා හදාරලා උසස් අධ්‍යාපනයටත් එකතු වෙලා මාධ්‍යවේදිනියක් වෙන්න තමයි මම කැමැති.

පවුලේ විස්තරත් කියමු?

මගේ තාත්තා ප්‍රභාත් ප්‍රසංග පල්ලියගේ. තාත්තා රාජ්‍ය බැංකුවක සේවය කරනවා. අම්මා නදීකා ශිවන්ති. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. මට මල්ලි කෙනකුත් ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon