ගින්නෙන් උපන් සීතල තිරයට ගෙනෙද්දී නැඟෙන චෝදනාවලට අධ්‍යක්‍ෂවරයාගෙන් උත්තර

  👤  2047 readers have read this article !
Published by : MB WEB 2019-01-15 09:01:43

ගින්නෙන් උපන් සීතල 18 වැනිදා ඉඳන් ප්‍රේක්‍ෂකයන් අතරට එනවා. එහි පසුබිම ගැන කතා කරලම කතාව පටන් ගමු?

මෙය තිරයට ගේන්න සූදානම් වෙන මගේ අලුත්ම චිත්‍රපටය. 1977න් පස්සේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ වෙනසක් සිද්ධ වුණා. ජේ.ආර්. ජයවර්ධන 77 බලයට පත් වුණාට පස්සේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙලා සිටි විජේවීර ඇතුළු පිරිස 1978දී නිදහස් කළා. 1982 වෙද්දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරණයක් තිබ්බා.

එතැනදී නොහිතපු විදියට තුන්වැනි බලවේගය විදියට විජේවීර රටේ මිනිස්සු පිළිගන්න පටන්ගත්තා. විජේවීරට ලක්‍ෂ තුනකට කිට්ටු ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. 1983දී තිබුණ මැයි රැලියේදී ඔවුන් සංවිධානාත්මකව මැයි රැලියක් කරනවා. එයට ලොකු සෙනඟක් එනවා. එහිදී ජේ.ආර්. ජයවර්ධනට කුකුසක් එනවා මේ ව්‍යාපාරය තදබල ලෙස දියුණු වෙන එකට මොකද කරන්නේ කියලා. විජේවීර එළියට එන තැනින් තමයි මේ කතාව පටන් ගන්නේ. ඕක තමයි මෙහි පසුබිම වෙන්නේ. එතැන් සිට තමයි ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය දිගහැරෙන්නේ.

විජේවීර ඇතුළු පිරිස යටි බිම් ගත දේශපාලනයට යෑමත් එක්ක එතෙක් කල් මේ රටේ නොවූ වීරූ ලෙස රහසිගත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟෙනවා. තහනම් කළ පක්‍ෂයක් දේශපාලනය කරනවා යටි බිම්ගතව. මේක තමයි මේ කතන්දරයේ සම්පූර්ණ පසුබිම.

විජේවීරගේ චරිතය වටානේ මේ චිත්‍රපටය ගොඩනැඟෙන්නේ. ඇයි මේ වගේ දේශපාලන චරිතාපදානයක් සිනමාවට ගේන්න හිතුවේ?

එක හේතුවක් තමයි ඔහු තමයි ලංකාවේ හිටපු එකම වෘත්තීයමය වාමාංශික විප්ලවවාදී නායකයා. දෙවැනි හේතුව තමයි ඔහු ලංකාවේ සමාජවාදය කියන එක ප්‍රායෝගිකව අත්හදා බලන්න කැරැලි දෙකක් ලංකාව තුළ මෙහෙයවනවා. මේක සමාජ ක්‍රමයට විශාල බලපෑමක් එල්ල කරනවා. දක්‍ෂිණාංශික රජයකට හිතුමනාපෙට වැඩ කරන්න තිබුණ බලය යටිබිම්ගතව වැඩ කරන තරුණයන් පිරිසක් විසින් නැති කරලා දානවා.

ඒ හරහා මර්දනයක් ඇතිවෙනවා. ඒ හරහා දෙපැත්තේම අය මරා ගන්නවා. රටම එකම ලේ විලක් බවට පත්වෙනවා. නිර්මාණකාරයෙක් විදියට මෙවැනි දේශපාලනික, සංස්කෘතිකමය සහ සමාජීය වශයෙන් විශාල හැලහැප්පීම් වූ යුගයක් පිළිබඳ අමතක කරන්න බෑ.

අපි සමාජයේ තිබෙන හැලහැප්පීම්, සිදුවීම් ප්‍රතිනිර්මාණය කරන්නේ. අපි නිතරම සමාජයේ තිබෙන ආදරය, ශෘංගාරය වගේ මටසිලිටු දේවල් ප්‍රතිනිර්මාණය කරනවට වඩා රටක සමාජ, ආර්ථික දේහයට විශාල බලපෑමක් එල්ල කරපු මෙවැනි සිදුවීමක් දිහා ඇස්පියාගෙන බලාගෙන සිටිම නිර්මාණකරුවන් ලෙස හොඳ දෙයක් නෙමෙයි.

ඔබ කරන තෙක් මෙය සිනමාවට නොනැඟෙන්න හේතුවක් තියෙන්න ඇති?

ආණ්ඩුවල තිබ්බ මර්දනකාරිත්වය නිසා කිසිවෙක්ට වුවමනාව තිබ්බත් මේ කතාව කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. මොකද බයක් තිබුණා මෙය නිර්මාණය කළොත් තහනමට ලක්වෙයිද කියලා.

එතකොට ඔබට මේ නිර්මාණය කරද්දි ඒ බය දැනුණේ නැද්ද?

පසුගිය කාලවකවානුවේ මොකක් හෝ හේතුවක් මත තොරතුරු දැන ගැනීමේ පනත වගේ දේවල් ක්‍රියාත්මක වෙලා මේ රටේ වෙච්ච සිදුවීමක් ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතිය අපිට නීතියෙන් තහවුරු කරලා තියෙනවා. මම නීතිය උඩ හිටපු නිසා බයක් ඇති වුණේ නැහැ.

පුවත්පත්වලින් එකදිගට මේ සිදුවුණ විප්ලවය, මර්දනය සහ ඒ ඝාතන සිදුවීම් ගැන ලිපි පළ කළා.

එතකොට එවැනි දේ තහනම් නොවෙන්නත් ඒවා මත පදනම් වූ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ තහනම් වෙන්නත් තියෙන පසුබිම මොකක්ද?

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් මගේ නිර්මාණය එක කෑල්ලක්වත් නොකපා අසීමිත මහජන ප්‍රදර්ශනයට අනුමැතිය දීලා තියෙනවා. එතැනින් එහාට මෙය තහනම් කරන්න බෑ.

දේශපාලන චරිතාපදානයක් කරද්දි එයට පක්‍ෂ වෙන පිරිස වගේම එය විවේචනය කරන පිරිසකුත් නිර්මාණය වෙනවා.

මෙය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කෙරුණු නිර්මාණයක් කියලත් විවිධ විවේචන එල්ල වුණා. ඒ ගැන ඔබට කියන්න දෙයක් ඇති?

ජේ.වී.පී. එකට චිත්‍රපට කිරීමේ වුවමනාවක් නෑ. ඔවුන්ට චිත්‍රපට කරන්න ඕනේ නම් ඒක කරන්න ඕනේ දැන් නෙමෙයි. ඒ කාලේ. ලංකාවේ කිසිදු දේශපාලන පක්‍ෂයකට තමන්ගේ පක්‍ෂය වෙනුවෙන් චිත්‍රපට කිරීමේ වුවමනාවක් නෑ.

ඔවුන්ට ඊට වඩා කරන්න ලොකු මහජන කාර්යයන් තියෙනවා. ජේ.වී.පී. එක ඔවුන්ගේ ප්‍රතිරූපය ගොඩනඟා ගන්න කරන දේශපාලන මීටින් සහ ඒ කරන දේවල් ඇති.

මේ එල්ල වෙන විවේචන නිර්මාණයට කොතරම් දුරට බලපෑම් කරයිද?

චිත්‍රපටයකට කැමැති අකැමැති කියන දෙපිරිසම ඉන්නවා. සමස්ත රටම කැමැති වෙලා චිත්‍රපටය බලනවා කියන දේ සිද්ධ වෙන්නෙ නැහැ. විවේචනය කියන දේ මොන දෙයටත් එනවා. විවේචන එන එක තුළ තමයි කලාව, පවතින්නේ. විවේචනය නැති තැන කලාව, නිර්මාණය තියෙන්නේ නැහැ. විවාදයකට ලක් නොවුණොත් විවිධාත්මක නැත්නම් එතැන කලාවක් නැහැ. එහෙම නැත්නම් ඒක නිකන්ම නිකන් දෙයක් විතරයි.

ඕනෑම පසුබිමක ජයග්‍රාහකයා විසින් ඉතිහාසය ලියනවා. ඒ ලියන දේවල්වල පරාජිතයා කළ කාර්යය කියවනවා මිසක ඔවුන් කළ දෙයෙහි පරම අයිතිය මොකක්ද කියලා නිර්වචනය වෙන්නේ නෑ.

හරියට ඒක මහාවංශය වගේ. මහාවංශයේ ලියවෙන්නේ මහාවංශයට කැමැති රජවරු ගැන විතරයි. ධනපති ආණ්ඩුවල පැත්තෙන් තමයි වෙච්ච සිදුවීම් ලියවෙන්නේ. එවිට ලියවෙන්නේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් විදියට.

කැරැලිකරුවන්ගේ පැත්තෙන් ගත්තොත් ඔවුන් තමන්ගේ නිජබිම ආරක්‍ෂා කරන්න කරන දේශප්‍රේමී ව්‍යාපාරයක් විදියට තමයි මෙය කරන්නේ. එකම දේ දෙපැත්තක් බවට පත්වෙනවා.

එතකොට ඔබ නිර්මාණයෙන් එක පැත්තක් නියෝජනය කරනවාද?

මේ චිත්‍රපටය අපි කරන්නේ කැරැලිකරුවන්ගේ පැත්තෙන්. කොහොමද කැරැලිකරුවෝ ජීවත් වුණේ?

මොකද්ද ඔවුන්ට තිබ්බ ප්‍රශ්නය කියන දේ සමාජ ගත වෙලා තිබුණේ නැහැ. අනෙක් පිරිස ඔවුන්ව දැක්කේ තරුණයෝ දේශද්‍රෝහී ක්‍රියාවක් කළා කියලා. සටන පටන් ගත්තේ කොතනින්ද?

මේකට හේතුව මොකද්ද කියන දේ කතා කරන්නේ. හැම සිදුවීමක දෙපැත්තක් තියෙනවා. එකකින් හොඳක් වෙනවා වගේ අනෙක් පැත්තෙන් නරකක් වෙන්නත් පුළුවන්.

මම මේකේ සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා කැරැලිකරුවන්ගේ තිබුණ ස්වභාවය. මර්දනය නිසා ඔවුන්ට ආයුධ අතට ගන්න සිද්ධ වෙනවා. කසාද බැඳගෙන ආතල් එකේ ඉන්න පුළුවන් වුණ පිරිසක් ඇයි මේ වගේ දෙයකට තල්ලු වුණේ.

රැකියා විරහිතභාවය, කුලපීඩන, සමාජ අසාධාරණය, බෙදී යෑමේ විසමතාව එක්ක තරුණයෝ කියන්නේ ඒවට විරුද්ධව ක්‍රියා කරන අය තමයි. අධ්‍යක්‍ෂවරයා විදියට මගේ දෘෂ්ටිය මම හෙළලා තියෙන්නේ කැරැලිකරුවන්ගේ පැත්තෙන්.

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කමල් අද්දරආරච්චි. විජේවීරගේ චරිතයට එකම තෝරා ගැනීම වුණේ ඔහුද?

කිහිපදෙනෙක් සම්බන්ධව අපි කතා බහ කළා. රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයක හිටපු නායකයකුගේ චරිතයක් කරද්දි රංගනය ගැන විශ්වසනීයත්වයක් ඇති වෙන්න ඕනෑ. කමල් රඟපාපු චරිත බැලුවම ඔහු හොඳ නළුවෙක්. වෙන තෝරා ගැනීමක් අපිට තිබ්බේ නැහැ. ඒකයි අපි කමල්ව තෝරා ගත්තේ.

නිර්මාණයට සම්බන්ධ වුණ සියලු දෙනාගෙන්ම ඔබ බලාපොරොත්තු වුණ රංගන දායකත්වය ලැබුණද?

ඔව්. මම අධ්‍යක්‍ෂවරයා විදියට තමන්ගේ නළු නිළියෝ සම්බන්ධව සියයට සියයක් තෘප්තියට පත් වෙන්නේ නැහැ.

මොකද ඒක නළු නිළියන්ගේ වැරැදි නිසා නෙමෙයි. උපරිම උච්චත්වයට ඒ දේ ගන්න අධ්‍යක්‍ෂවරයාට යම් යම් ප්‍රායෝගික ගැටලු නිසා බැරි වෙනවනේ. ඒ නිසා සියයට හැත්තෑවකට, අසූවකට විතර ප්‍රමාණයකට මම තෘප්තිමත්.

හැමෝම තමන්ගේ චරිතයට සාධාරණය කරන්න උපරිම උත්සාහ කළා. අපි මේ නිර්මාණයට සම්බන්ධ කරගෙන තියෙන්නේ ලංකාවේ දැනට ඉන්න හොඳම රංගන ශිල්පීන් ශිල්පිනියන්.

ගින්නෙන් උපන් සීතල ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළා. ඒ වගේම දැන් එය සුවිශේෂි කඩඉමකටත් ඇවිත්. ඒ ගැනත් කියමු.

චිත්‍රපටය සම්මාන උළෙල ගොඩකට දාන්න පුළුවන් වුණේ නෑ. චිත්‍රපටය ඉවර කරන කාලය වෙද්දි එය ප්‍රදර්ශනය කරන කාලෙත් ආවා.

මෙය අවුරුදු දෙකහමාරක් තිස්සේ කරන චිත්‍රපටයක්. රූගත කර කර වෙනස් කර කර හිටපු නිසා චිත්‍රපටය දාන්න පුළුවන් වුණේ උළෙල කිහිපයකට විතරයි.

 Asia Pacific  සම්මාන උළෙල ලොකු උළෙලක්. එකේ තරගකාරි අංශයට අපිව තේරුණා. ඉන්දියාවේ තියෙන ඒතත All Lights ඉන්දියා සිනමා උළෙලේ තරගකාරි අංශයට අපි ගියේ නැත්තේ අපේ චිත්‍රපටය අපි දැම්මේ ලෝක සිනමා කියන අංශයට.

ඒකේ තරගකාරි අංශයට අපිට යන්න බැරි වුණේ ඒ සිනමා උළෙල සංවිධානය කරන සමාගමෙන් තමයි අපේ චිත්‍රපටය ඔස්කාර්වලට ප්‍රමෝට් කළේ. ඔවුන් ප්‍රමෝට් කරන චිත්‍රපටයක් තරගකාරි අංශයට දාන්න බෑ. ඔස්කාර් සිනමා උළෙලට අපේ චිත්‍රපටය දාලා තියෙනවා.

අපි කැලිෆෝනියා ප්‍රාන්තයේ චිත්‍රපටය රිලීස් කළා. දවස් 7ක් එක හෝල් එකක දවසට දර්ශනවාර තුන ගාණේ දර්ශන 21ක් පෙන්වුවා.

එය නැරැඹීමට අවස්ථාව සෑදීම හරහා ඔස්කාර් උළෙලේ ප්‍රධාන කාණ්ඩයට අපේ චිත්‍රපටය ඇතුළත් වුණා. ඒ තරග අංශයේ මුල් අදියරේ අපි ඉන්නේ. ලංකා ඉතිහාසයේ සිංහල භාෂිත චිත්‍රපටයක් ඔස්කාර් ප්‍රධාන ධාරාවට ඇතුළු වුණු පළමු අවස්ථාව මේක. ඉංගී්‍රසි භාෂාවෙන් මැතිව් චිත්‍රපටය තේරිලා තියෙනවා.

විදේශ සිනමා උළෙල නියෝජනය කරන සමහර චිත්‍රපට ලංකාවේ ප්‍රේක්‍ෂකයෝ දිනාගන්නේ නෑ කියන චෝදනාවක් තියෙනවා. ඔබට ඒ ගැන අදහස් ඇති?

ලෝකයේ තත්ත්වයන් වෙනස්. අපි ඉන්නේ දකුණු ආසියාවේ වර්ධනය වෙමින් පවතින කොදෙව්වකනේ.

අපිට ලෝකය පේන්නේ නෑ. දියුණු සිනමාවක් තියෙන රටවල අපි භාවිත කරන සිනමාව නෙමෙයි තියෙන්නේ. දියුණු රටවල පාරක බල්ලෙක් මැරිලා හිටිය කියන එකත් ලොකු චිත්‍රපටයක කතාවක්.

මොකද ඒ රටවල බල්ලෙක් පාරේ අරන් යන්නත් ලයිෂන් තියෙනවා. සියුම් සිදුවීම් පවා ඒ සමාජය කම්පනයට ලක් කරනවා.

අපිට වෙලා තියෙන්නේ අපේ රටවල දූෂණය, මර්දනය, ස්ත්‍රී දූෂණය ආදී දේවල් වැහි වැහැලා නිසා අපිට සිදුවීමක් වෙන්නේ මහා දැවැන්ත දෙයක්. සියුම් මානව දයාවෙන් යුත් කරුණු කාරණා සම්බන්ධ දේවල් කළාම අපිට ඒවා දැනෙන්නේ නෑ.

ඒ දැනෙන්නේ නැතිකම වෙලා තියෙන්නේ අපිට ආභාසයේ තියෙන ළඟම රටේ පෙන්වන්නේ කැති, මන්නා, පොරව, උදලු අරගෙන මිනිස්සු මරන චිත්‍රපට.

වෛරය, කේ‍රා්ධය සහ එකිනෙකා පරයා නැඟී සිටිමේ තියෙන තෘෂ්ණාධික බව තමයි දකුණු ඉන්දියාවෙන් එන චිත්‍රපටවලිනුත් ඇති කරලා තියෙන්නේ. මෙවැනි දේවල් ආභාසය කරගත් මිනිස්සු අපේ රටේ ඉන්නේ. එහෙම මිනිස්සුන්ට සියුම් හැඟීමක් නෑ.

සියුම් සිනමාව ලෝකයේ දියුණු රටවල භාවිත වන සිනමාව. අපිට එවැනි අත්දැකීමක් නැති නිසා එවැනි චිත්‍රපට ලංකාවේ දුවන්නේ නෑ. ගැටුමක් නැතුව චිත්‍රපටයක් කරන්න බැරිද?

සියුම් සිනමාව තමයි ලෝක සිනමා උළෙලවලට ඉදිරිපත් වෙන්නේ. සියුම් සිනමා උළෙලවලට ඉදිරිපත් කරන චිත්‍රපට ලංකාවේ දුවන්නේ නැත්තේ අපේ මානසික මට්ටම, අධ්‍යාපන මට්ටම, රසඥතාවයේ දුර්වලකමක් මිසක් නිර්මාණයේ දුර්වලකමක් නෙමෙයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon