සංගීත්ට ගැළපෙන කෙනා කවුද?

  👤  1551 readers have read this article !
Published by : MB WEB 2019-01-13 14:37:02

සංගීත්ට දැන් වැඩ ජයයි වගේ?

ලැබෙන වැඩ ටික හොඳින් කරගෙන යනවා. ටිකක් විතර වැඩ ජයයි. මේ දවස්වල සිල්ලර සමනල්ලු, සිද්ධාර්ථ ගෞතම, පුරි කියන නාට්‍යවල වැඩ කරගෙන යනවා.

පුංචි කාලයක් ඇතුළත එක රාමුවකට කොටු නොවී වෙනස් වෙනස් චරිත කරන්න සංගීත්ට අවස්ථාව ලැබිලා තියෙනවා නේද..?

ඔව්. මම මුලින්ම රඟපෑවේ කුටු කුටු මාමා ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ තමයි සල්සපුනා ටෙලි නාට්‍යයේ පත්තරකාරයකුගේ චරිතයක් කළේ. මට කොමඩි කරන්න පුළුවන් කියලා දැනගත්තම මට කොමඩි චරිත ලැබෙන්න පටන් ගත්තා. ක්‍රයිම් සීන් නාට්‍යයේ මම විලන් චරිතයක් කළේ. තුත්තිරි නාට්‍යයෙත් වෙනස් චරිතයක් කළා. ඒ වගේ එකකට එකක් වෙනස් චරිත කරන්න අවස්ථාව මට ලැබුණා.

සිද්ධාර්ථ ගෞතම නාට්‍ය තුළිනුත් සංගීත්ව වෙනස් මුහුණුවරකින් දකින්න ලැබෙනවා...?

ඔව්. මම ගොඩක් රඟපෑවේ මෙගා නාට්‍යවල. සිද්ධාර්ථ ගෞතම කියන්නෙත් මෙගා නාට්‍යයක්. නමුත් එය වෙනස් හැඩයක නාට්‍යයක්. මම ඒ නාට්‍යයේ රඟපාන්නේ ආනන්ද කුමාරයාගේ චරිතය. ආනන්ද තෙරුන්ගේ චරිතය කියන්නේ ගරු බුහුමනට ලක්වූ චරිතයක්. ඒ වගේ චරිතයක් නිරූපණය කරන්න මට අවස්ථාව ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ චරිතයේ දෙබස් කියන්න හරි අමාරුයි. දෙබස් පැටලෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒත් පුළුවන් තරම් මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.

වෙනස් වෙනස් චරිත රඟපාන සංගීත් කරන්න ආසාවෙන් ඉන්න වෙනස් චරිතයක් තියෙනවද..?

මම ආසයි දෙබස් නැතිව මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කරන ගොළු චරිතයක් කරන්න.

සංගීත්ගේ පෙනුම නිසා අහිමි වුණ අවස්ථා තියෙනවද?

මම ටිකක් කොටයිනේ. ඒ නිසා ලොකු ගාම්භීර චරිත මට ලැබෙන්නේ නෑ. හැඩිදැඩි චරිත මට ලැබෙන්නේ නෑ. මට ටිකක් විසේකාර චරිත කරන්න ලැබෙනවා.

සංගීත් කියන්නේ සැබෑ ජීවිතෙත් විසේකාර චරිතයක්ද?

ඇත්තටම මම විහිළු තහළු කරගෙන හිනාවෙලා ජීවත් වෙන චරිතයක්. ප්‍රශ්න තිබ්බත් මම හිනාවෙලා ජීවත් වෙන්නේ. මම කිසි කෙනෙක් එක්ක තරහා නැහැ. හැබැයි මට තරහාකාරයෝ ඉන්නවා කියලා මම දන්නවා.

ඇයි සංගීත්ට ඒ තරම් තරහාකාරයෝ..?

සමහරුන්ගේ බලාපොරොත්තුව අපිව කපන එක. අපි මිනිසුන්ව විශ්වාස කළත් අපිට වැඩිපුරම විශ්වාස කරන්න බැරි ළඟින් ඉන්න අය. අම්මා තාත්තා හැරෙන්න අනෙක් අය අතේ දුරින් තියාගන්න ඕන.

ඒ කියන්නේ සංගීත් යාළුවෝ ආශ්‍රය කරද්දි පරිස්සම් වෙනවද..?

මට ගොඩක් යාළුවෝ ඉන්නවා. තාමත් එහෙමයි. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් මිනිස්සු හඳුනගෙන ජීවත්වෙන්න උත්සාහ කරනවා.

සංගීත්ව වැඩවලින් කපලා දාන්නද ඔය කෙනෙහිලිකම් එන්නේ..?

මෙහෙමයි අපිව යම් දෙයකින් කැපෙන්න තියෙනවා නම් කැපෙයි. මම මේ වෙනකල් ලැබුණ දේ හරියට කළා. ඉදිරියෙදි වුණත් මට ලැබෙන්න තියෙන දේවල් ලැබෙයි. නොලැබෙන්න තියෙන දේ නොලැබෙයි.

පුංචි තිරයේ වැඩ පෙන්වන සංගීත්ට සිනමාව තව දුර වැඩිද?

මට චිත්‍රපට දෙක තුනකට කතා කරලා තියෙනවා. මාර්තු මාසේ රූගත කිරීම් කරන නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වැඩ ආරම්භ කරනකල් බලන් ඉන්නේ.

නළුවා නිවේදකයකුත් වෙලා...?

ඔව්. සිරස 16+ වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. එතන නිවේදකයෙක්ටත් වඩා හරිම ෆ්‍රෙන්ඩ්ලි විදියට මට වැඩ කරන්න තිබ්බේ. ඉතින් ඒ වැඩෙත් හොඳින් කරගෙන යනවා.

නළුවා නිවේදකයෙක් වුණා. ඊට පස්සේ ගායකයෙකුත් වෙයිද?

මගේ අම්මා සංගීත ගුරුවරියක්. ඒත් මට සින්දු කියන්න බෑ. අම්මා නම් කියනවා මට සින්දු කියන්නත් පුළුවන් කියලා. ඒත් මම සින්දු කියන්න යන්නේ නෑ.

ගීතයක් දෙකක් ගායනා කරන්න පුරුදු වුණා නම් විදෙස් ප්‍රසංගවලටත් යන්න පුළුවන්නේ...?

ඇත්තටම මට විදෙස් ප්‍රසංගවලට ආරාධනා ලැබුණා මුල්කාලේ. ඒත් රංගන කටයුතු නිසා ඒවට සම්බන්ධ වෙන්න බැරි වුණා. මෑතකදි නම් ඒ වගේ ආරාධනා ලැබුණේ නැහැ.

සංගීත් නළුවෙක් වෙනවට හීන දැක්කේ අම්මානේ. සංගීත් දැන් යන ගමන දැකලා ඇය සතුටු වෙනවද?

අම්මා තමයි වැඩිපුරම මං ගැන සතුටු වෙන්නේ. අම්මා නිතරම මං ගැන හොයලා බලනවා. නිතරම කෝල් කරනවා. ඒ නිසා මම අම්මට කපල් සිම් එකක් අරන් දීලා තියෙන්නේ. මම කොල්ලෙක් වෙලා මෙහෙම මං ගැන හොයලා බලනවා නම් මම කෙල්ලෙක් නම් අම්මා තව කොච්චර හොයලා බලයිද කියලා මට හිතෙනවා.

ගමෙන් නගරෙට ඇවිත් සමහරු විනාශ වෙනවා. සමහරු වෙනස් වෙනවා. සංගීත් හරි පාරේ යනවා කියලා හිතනවද..?

මම ගමෙන් ආපු කෙනාම තමයි. හැබැයි මම අඳින පලඳින විදිය වෙනස් වෙලා. මම නරකයි කියලා මම හිතන්නේ නැහැ. ඒත් වෙන අයට මාව කොහොම දැනෙනවද දන්නේ නැහැ.

මිෂෙල්, සංගීත් ක්ෂේත්‍රයෙදි ගැළපෙන අවස්ථා වැඩියි නේද..? සංගීත්ට වැඩිපුර ගැළපෙන්නේ ඇයද..?

රංගන ක්ෂේත්‍රයෙදි මට මිෂෙල් එක්ක ගොඩක් එකට රඟපාන්න ලැබිලා තියෙනවා. ඉදිරියට එන්න තියෙන චිත්‍රපටයකත් අපි දෙන්නා තමයි ඉන්නේ. මට එයා නුහුරු නැහැ. මොකද ඒ තරම් මම එයා එක්ක එකට වැඩ කරලා තියෙනවා.

සංගීත්ට තරුණියන්ගේ ආකර්ෂණය වැඩියි කියන්නේ ඇත්තද..?

කට්ටියගේ පොඩි කැමැත්තක් තියෙනවා. කවුරු හරි මාත් එක්ක කතා කළොත් හඳුනන්න ඕනේ නෑ. මම ඒ කෙනා එක්ක හොඳට කතා කරනවා. පිටරටවල පවා යාළුවෝ මට ඉන්නවා.

දැන් සංගීත් පෙම්වතෙක්ද?

නැහැ. තාම නැහැ.

මොනවද ඉදිරි සැලසුම්..?

ගෙයක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. අම්මයි තාත්තයි බලාගෙන ෂේප් එකේ වැඩ ටික කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon