කුඹුරු අක්කර 2500ක් විනාශයි

  👤  1881 readers have read this article !
Published by : MB WEB 2019-01-10 08:29:41

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

මාස් කන්නයේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් කුඹුරුවල වල් මර්දනය කිරීම සඳහා භාවිත කරන ලද වල් නාශකයක් හේතුවෙන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 2500ක් පමණ විනාශ වීමේ අවදානමට ලක්ව ඇතැයි එම ව්‍යාපාරයට අයත් ගොවීහු පවසති.

ලොයන්ට් නමැති වල් නාශකය ඉසීම නිසා දින පහකට පසු තම ගොයම බාල වීමට පටන් ගෙන ඇතැයි ගොවීහු පෙන්වා දෙති. වල් නාශකය පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ කුඹුරු අක්කර 50කට වැඩි ප්‍රමාණයකට යොදා ඇත. එම කුඹුරු මේ වන විට විනාශයට පත්වෙමින් තිබෙන බවද ගොවීහු පෙන්වා දෙති.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ එම්. රත්නායක (50) ගොවි මහතා මෙසේ පැවැසීය.
"අපේ කෘෂිකර්ම රැස්වීමකදී ඇවිල්ලා තමයි මේ තෙල අලුතෙන් කියලා හඳුන්වලා දුන්නේ, ඉතිං අද අපි වගා කරලා තියෙන්නේ කීරි සම්බා, ගොඩක් බලාපොරොත්තු තියාගෙන, අපි මේ වගාව කළේ. වගාව ගොඩක් බාල වෙලා තියෙනවා.

ඒ ගොයමට දැන් මාසයයි දවස් ගණනක් ගත වෙලා, මැරීමේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. පළමු අදියරේ පොහොරත් අපි මේ ගොයමට ගහලා තියෙන්නේ. දැන් අපි කාටද මේ කතාව කියන්නේ, කීරි සම්බා වගාව කිරි මුල් අල්ලන්නේ නෑ කඳට උඩින් මුලක් අල්ලනවා.

ඉතින් ඒ එක්කම ගොයම බාල වෙනවා. ඉතින් එතැනින් පස්සේ වෙන දෙයක් හිතාගන්න බෑ. ඔක්කොම ගොයම කළු පැහැ වෙලා තියෙන්නෙ බාගෙට බාගයක්. මගේ අක්කර දෙකක් විනාශ වෙලා ඉවරයි."

අඹන්ගහ ප්‍රදේශයේ ගොවි මහතකු වන ආර්.එම්. රත්නායක (57) මහතා,
"පොළොන්නරුවේ කුඹුරු අක්කර 2500ක් විතර මේ තත්ත්වයත් එක්ක විනාශ වෙලා තියෙනවා. නමුත් මේකට විකල්පයක් තාම හඳුන්වලා දීලා නැහැ. අපි දැන් කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කරලා තියෙනවා. නමුත් අපිට තවම කිසිම දෙයක් මේ සම්බන්ධයෙන් කියලා නෑ. අප මේ තෙල් ගැහුවේ ගොයම මරන්න නෙමේ වල් මරන්න. නමුත් ඒක නෙමේ වෙන්නේ."

එස්.ඒ. ඒකනායක ගොවි මහතා තම විනාශ වූ ගොයම් ගස් උගුලවා පෙන්වමින් මෙසේ කීය.
"මේ වල් තෙල් වෙළෙඳපොළට දාන්නේ කෘෂිකර්ම නිලධාරීන්ගේ අනුමැතියෙන්, ගොවීන්ට මිලදී ගන්න, කෘෂිකර්ම නිලධාරීන් අනුමත කරලා. නමුත් එහෙම අනුමත කරපු දෙයකින් අපිට මෙහෙම විනාශයක් වෙනවා නම් අපි මොකක්ද කරන්නේ, අපිදැන් ගොඩක් ණය වෙලා තියෙන්නෙ. අපිට මෙහෙම විනාශයක් වුණාම මොකක් හරි තක්සේරු කරලා වන්දි මුදලක් ලබාදෙන්න."

මේ පිළිබඳ පොළොන්නරුව (අන්තර් පළාත්) නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසීමක් කළෙමු.

එහි විශේෂ ප්‍රකාශකයකු පැවැසුවේ, මේ පිළිබඳව ගොවීන්ගේ පැමිණිලි රැසක් ලැබී තිබෙන බවත් එම කෘෂි රසායනිකය පිළිබඳව පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් වෙනම පරීක්ෂණයක් කෙරෙමින් තිබෙන බවත්, විනාශයට පත් කුඹුරු පිළිබඳව සංගණනයක් කරමින් තිබෙන බවත්ය.

ගොවීන් චෝදනා කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයත් මෙම කෘෂි රසායනිකය හඳුන්වාදීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් වග කිව යුතු බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon