සමස්ත ලංකා සවාට් බොක්සිං තරගාවලියේ ශූරතාව ගම්පොළ බොක්සිං සංගමයට

  👤  2596 readers have read this article !
Published by : MB WEB 2019-01-07 06:08:47

ගම්පොළ -

මාධව බණ්ඩාර

මාස් අභියෝගතා කුසලාන සමස්ත ලංකා සවාට් ප්‍රංශ බොක්සිං තරගාවලියේ පදක්කම් 82ක් දිනා ගත් ගම්පොළ ශ්‍රී ලංකා චයිනීස් කුංෆු ඇන්ඩ් ප්‍රෙන්ච් බොක්සිං සංගමය එහි සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ප්‍රංශ සවාට් ජාතික සම්මේලනය හා මධ්‍යම පළාත් සවාට් ප්‍රංශ බොක්සිං සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම තරගාවලිය දින 3ක් පුරා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

බර පන්ති 15ක් යටතේ පැවැති මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික්ක 17ක් නියෝජනය කරමින් ක්‍රීඩා සංගම් 35ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 දෙනකු තරග කළ අතර එය ජේ‍යෂ්ඨ හා කනිෂ්ඨ ලෙස අංශ දෙකකින් පවත්වන ලදී.

එළැඹෙන ආසියානු සවාට් ශූරතාවලිය හා 2019 ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතාවලිය සඳහා යොමු කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට මෙම තරගාවලියේ ප්‍රධානතම අරමුණ බව ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ප්‍රසාද් වික්‍රමසිංහ මහතා පැවැසීය.

තරගාවලියේ සම්මාන සහතික ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා ප්‍රංශ සවාට් ජාතික සම්මේලනයේ අනුශාසක හා මධ්‍යම පළාත් සංගමයේ සභාපති නගර සැලසුම් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

මෙම තරගාවලියේ අනුශූරතාව පදක්කම් 79ක් ලබාගත් මහනුවර මාස් ජාත්‍යන්තර එම්.එම්.ඒ. ඇකඩමිය දිනා ගත් අතර එහි තෙවැනි ස්ථානය පදක්කම් 53ක් ලබා ගත් මාතර දිස්ත්‍රික් සවාට් සංගමය දිනා ගනු ලැබීය.

තරගාවලියේ
ජේ‍යෂ්ඨ අංශ හොඳම ක්‍රීඩකයා ලෙස මාතලේ - කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉරෝෂන් ධර්ම කීර්ති හා හොඳම ක්‍රීඩිකාව ලෙස එම විද්‍යාලයේ විශ්වා සමරකෝන් තේරී පත් වූවාය. කනිෂ්ඨ අංශයේ හොඳම ක්‍රීඩකයා ලෙස මහනුවර ගලහා භද්‍රවතී මහා විද්‍යාලයේ හරිත ප්‍රභාත් සිරිවර්ධනත් හොඳම ක්‍රීඩිකාව ලෙස පිළිමතලාව දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයේ දිල්මි රන්ඩිෂා කුලරත්නන් තේරී පත් වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon