ගයන්ත ගායනයට සමුදුන්නද?

  👤  985 readers have read this article !
Published by : MB WEB 2019-01-12 09:41:55

ගයන්ත ගායන කටයුතුවලින් මේ දවස්වල පේන්න නැහැ?

මට හිතුණා මම ඉන්න ක්ෂේත්‍රය ගැන පොඩ්ඩක් අප්ඩේට් වෙන්න ඕනේ කියලා. ඉතින් මම ඕඩියෝ ඉන්ජිනියරින් ගැන ඉගෙන ගත්තා. ඒකයි ටිකක් නිහඬ වෙලා හිටියේ.

අපි ගයන්තව හඳුනා ගත්තේ ගායකයෙක් විදියටනේ. නමුත් මේ දවස්වල වෙනස්ම ඡායාරූප පෙළකින් ගයන්තව දකින්න ලැබෙනවා?

ඒක වුණේ ඇත්තටම අහඹු සිදුවීමක් නිසා. මම ස්ටුඩියෝ එකේ වැඩ කරන කාලේ කාලා ඉඳගෙන ඉන්නවා විතරයිනේ. ඒක නිසා ජිම් යන්න ඕනේ කියලා හිතුවා. අපේ ඇඟ නිරෝගිමත්ව තියාගන්න ඕනනේ. මට ඉතින් ඇඟ හදාගන්න උණක් ආවා. ඒකත් එක්ක තමයි මේ ෆොටෝ ෂූට් එක කළෙත්.

මේක කාගේ ආරාධනාවක්ද?

නදිෂ්ක රණසිංහ තමයි මේ ෆොටෝ ෂූට් එක කළේ සහ මේ දේට මට ආරාධනා කළේ. රවුම් කඩේ ගීතය කරපු කාලේ ඉඳලම නදිෂ්ක මගේ ෆොටෝ ෂූට් කරලා තියනවා. දවස් 4ක් විතර ගියා මේ ෆොටෝස් ගන්න. ඇත්තටම මට ඒක වෙනස් අත්දැකීමක් වුණා. තව ෆොටෝස් එන්න තියෙනවා. ඒවා ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.

මම මේ වෙනකන් කරලා තිබුණේ කවර්පේජ්වලට සහ පත්තරවලට කරපු ඡායාරූප විතරයි. හැබැයි මේ දේ මට අලුත් අත්දැකීමක් වුණා. ඒ නිසා තමයි මම මේක භාරගත්තේ. මොකද මට ඒ අත්දැකීම ගන්න ඕනේ වුණා.

නිරූපණ කටයුතු කරන්න පටන් ගත්තේ රඟපෑමට එන්නත් හිතාගෙනද?

නෑ. එහෙම එකක් නෙවෙයි. රිදී සිත්තම් නාට්‍යයේ මම රඟපෑවා. හැබැයි දැන් රඟපාන්න වෙලාවක් නෑ.

කොච්චර කාලෙකින් ගීතයක් කළේ නැද්ද?

අන්තිම ගීතය කරලා දැන් අවුරුද්දක් විතර වෙනවා.

කාලයක් සිංදු නොකර හිටියානේ. ඒක ගයන්තගේ රසිකයන්ට කරන අසාධාරණයක් නෙවෙයිද?

අසාධාරණයක් තමයි. මම කොහෙහරි ගියාම වුණත් කට්ටියගෙන් බැනුම් අහනවා. ඇයි සිංදුවක් කරන්නේ නැත්තේ කියලා හැමෝම අහනවා. මම ඒ කාලේ සිංදු නොකර හිටියේ නෑ. හිතට එන ඒවා හදලා තියනවා. ඒ දේවල් රිලීස් නොකර ඉගෙන ගන්න ඔක්කොම දේවල් එක්ක ගීතයක් එළියට දාන්න පුළුවන් කියලා හිතුණා. මොකද දැන් අලුත් තාක්ෂණික ක්‍රමත් තියෙනවානේ.

ගායන කටයුතු නොකර ගයන්ත වෘත්තීයමය පසුබිම හදාගෙන තියෙන්නේ මොන ක්ෂේත්‍රයෙන්ද?

මම මේ කාලය අතරතුරත් ටෙලිනාට්‍යවල මියුසික් කළා. වෘත්තීය වශයෙන් කරන්නේ ටී.වී., රේඩියෝ දැන්වීම් හදන එක තමයි.

ජනප්‍රියත්වය කියන්නේ බලෙන් ලබාගන්න දෙයක් නෙවෙයි. කාලෙක ඔබට ඒක ඉබේම හම්බවුණා. ඒක නැතිකර ගන්න එක අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?

සමහරු එහෙම කියනවා. හැබැයි ජනප්‍රියත්වය හැමදාම තියාගන්න බැහැ. ප්‍රේක්ෂකයෝ ඒක දීලා තියෙනකන් මං ගාව ඒක තියෙනවා. ඒගොල්ලෝ මගේ ජනප්‍රියත්වය ආපහු ඉල්ලුවොත් මම ඒක දෙනවා.

ප්‍රසංග වේදිකාවට නම් ගොඩවෙන්න ඇති නේද?

ඔව්. ප්‍රසංග වේදිකාවේ වැඩවලට මම සම්බන්ධ වෙනවා.

අලුත් සිංදුවක් කරන්නේ කවද්ද?

මේ අවුරුද්දේ මුලම වගේ මගේ ප්‍රේක්ෂකයන්ට අලුත් ගීතයක් ලබා දෙනවා.

පෞද්ගලික ජීවිතේ කොහොමද ගෙවිලා යන්නේ?

වෙනදා වගේම සංගීතය එක්ක තමයි ඉන්නේ. ගෙදර අය මට මගේ වැඩ කරගන්න නිදහස දීලා තියනවා. මට ඇත්තටම මේ දීලා තියෙන නිදහස නිසා තමයි මම සංගීත වැඩ කටයුතු කරන්නෙත්. නැත්නම් මට ඒවා කරන්න වෙන්නෙත් නැහැ.

ඉදිරි වැඩ කටයුතු?

ටෙලිඩ්‍රාමා තුනක වගේ සිංදු කරන්න තියෙනවා. ඒත් එක්කම ඉදිරියේදී ගීතයක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන බලාපොරොත්තු තියාගෙන තමයි වැඩ කරන්නේ.

උදාරා ඉන්දීවරී ජිනදාස

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon