කට්ට නොකා මදේ කන එක ලේසි නෑ Vijey Sedhupathi

  👤  1281 readers have read this article !
Published by : MB WEB 2019-01-02 14:12:58

අපි හැමෝම මේ ලෝකයට එන්නෙ කිසියම් භූමිකාවක් රඟදක්වන්නයි. ඒ භූමිකාව හරිහැටි හඳුනාගත්තොත් ජීවිතය ගොඩ යන්නේ අපටත් නොදැනමයි. තමන්ගේ ඇතුළාන්තය ප්‍රමාදවෙලා හෝ හඳුනාගෙන බොහෝදෙනෙක්ගේ ආදරය ලබමින් ඉදිරියට ඇදෙන ඔහු වත්මන් කොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පී විජය සේදුපති.

1978 වසරේ ජනවාරි 16 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාජපලයම් නගරයේදී විජය ගුරුනාථ සේදුපති උපත ලබනවා. කාලයක් ගිහින් වයස අවුරුදු 11දී සේදුපති පවුල චෙන්නායි ප්‍රාන්තයට සංක්‍රමණය වුණා.

පාසල් කාලයේදී විජය කියන්නේ බොහොම දුර්වල ළමයෙක්. සාමාන්‍යයෙන් පොතපතේ වැඩට උනන්දුවක් නැති අය ප්‍රායෝගික අංශයකින් දක්ෂයි. නමුත් විජය කියන්නේ එහෙමවත් හැකියාවක් තිබුණේ නැති, අපේ රටේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවම ළමයි කියන්නා වගේඑදාට දෙන පාඩම් වැඩ එදාම ඉවර කිරීම පමණක් කරපු නීරස ළමා කාලයක් ගත කළ පුද්ගලයෙක්.

තරුණ වියට එළැබෙන විජය එදිනෙදා වියදම හොයාගන්න සුළු රැකියා කරමින් වාණිජ අංශයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබාගන්න සමත් වෙනවා. උපාධිධාරී විජය සහකාර ගණකාධිකාරිවරයකු විදියට එකතු වෙනවා සිමෙන්ති ආයතනයකට. නමුත් තමන්ගේ සහෝදරයන්ගේ ජීවිතය ගොඩදාන්න ඒ රැකියාවෙන් ලැබුණු පඩිය ප්‍රමාණවත් වුණේ නෑ. මේ නිසා විජය තීරණය කරනවා දේශ සීමාවලින් එපිටට යන්න. ඔහු අවුරුදු 23දී එක්සත් අරාබි රාජ්‍යයේ ඩුබායි නගරය වෙත සංක්‍රමණය වීමේ එකම හේතුව වුණේ ඉන්දියාවට වඩා හතර පස් ගුණයකින් වැඩි පඩියකට සේවය කිරීමට අවස්ථාව ලැබීමම පමණයි.

උපන් භූමියෙන් පිට ඉන්නකොටයි රටේ වටිනාකම තදින්ම දැනෙන්නේ. ඩුබායිහි ගත කරන කාලයේදී විජයගේ තනි මකන්න පිහිටට එන්නේ අන්තර්ජාලය. ඒ ඔස්සේ ඔහු හා මිතුරු වෙනවා ජෙසී නම් තරුණියක්. ඇය මානව සම්පත් කළමනාකාරිනියක් වශයෙක් චෙන්නායි ප්‍රාන්තයේ ආයතනයක සේවය කළා. කිලෝමීටර් දහස් ගණනක් අෑතින් තිබුණු හදවත් දෙකක් තාක්ෂණයේ මහිමයෙන් ළං වුණේ ඊට වසරකට පස්සේ විජය අතින් ජෙසීටමංගල මුදු මාල වළලු රන් අභරණ මිලට අරන් දෙන්නත් කරුණු කාරණා සිද්ධ කරමින්.

මේ ලිපියෙන් කියැවෙන්නේ සිනමා තරුවක් ගැනමද නැත්නම් ව්‍යාපාරිකයෙක් ගැනද කියලා ඔබට සැක හිතෙන එක සාධාරණයි. මොකද විජයගේ ජීවිතයේ නළුවෙක් තියා සෙසු චරිතයක්වත් කරාවි කියන සේයාවක්වත් තිබිලා නෑ. නමුත් ඊට අඩිතාලම වැටෙන්නේ අහඹු ලෙසය. විවාහයෙන් පස්සේ නැවතත් චෙන්නායි වෙත එන විජය තමන්ගේ මිතුරකුට අයිති ගෘහ අලංකරණ ආයතනයක රැකියාවක නිරත වෙනවා. වේතනයක් ලැබුණත් මේ කිසිම රැකියාවකින් ඔහුට ආත්ම තෘප්තියක් දැනුණේ නෑ.

නළුවෙක් වෙන්න විජයට කිසිම අවශ්‍යතාවක් නොතිබුණාට ඔහුට උපතින්ම ෆොටෝජිනික් පෙනුමක් ලැබිලා තිබුණා. ඔහුගේ ඡායාරූප දකින කිහිපදෙනෙක්ම අහන්නේ රඟපාන්නේ නැත්තේ ඇයි කියලයි. දෛවය ලියවිලා තිබුණු දේ මතු වෙන්නේ මෙතැන් සිටයි. ඔහු එකවරම තමන්ගේ දිශානතිය වෙනස් කරනවා. නමුත් ඔහු දැන් දෙදරු පියෙක්. වගකීම් වැඩියි. බිරියගෙන් මේ තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වුණත් ඔහු තමන්ගේ තනි මතයේම හිටියේ නළුවෙක් විය යුතුයි කියන අධිෂ්ඨානයෙන්.

කොලෝසියමේ දිග පළල නොදැන සටනකට අවතීර්ණ වීම ග්ලැඩියේටරයකුට අවාසියි. ඒ නිසා විජය රංගනය හැදෑරීම සඳහා යොමු වෙනවා චෙන්නායි ප්‍රධානතම රංගන පාසලට. නමුත් එතැන තවදුරටත් බඳවා ගැනීම් සිදු කරන්නේ නෑ. විජය උත්සාහය අතහරින්න ලෑස්තිත් නෑ. ඔහු එතැන ගණකාධිකාරිවරයකුලෙස සොච්චම් පඩියකට සේවයට ගිහින් සෙසු රංගන ශිල්පීන්ගේ අභ්‍යාසකරණය ළඟින් ගැවසෙමින් නිරීක්ෂණය කරලා තමන්ව ඔපමට්ටම් කර ගන්නවා.

අවුරුදු දෙකක් විතර උත්සාහ කරලා, සෙසු චරිතවලට පණ පොවලා කෙසේ හෝ 2006 දී 'පෙන්' නම් වූ රූපවාහිනී නාට්‍යයේ ප්‍රධාන චරිතයට විජය තේරෙනවා. නමුත් විචාරකයන් කියන්නේ " විජයට තියෙන්නේ හැඟීම් විරහිත මුහුණක්, මොහුට අනාගතයක් නෑ" කියලයි. ඔහුව සම්බන්ධ කරගන්නා චිත්‍රපටවලින් ඔහුටත් නොදන්වා ඔහුව ඉවත් කරනවා. ඔහුට අනිවාර්යයෙන් ලැබෙන්න තිබුණු අවස්ථා වෙනත් අයට ලබාදෙනවා. සමහරු විජයගෙන් ඇති තරම් වැඩ අරගෙන ඔහුට සොච්චම් මුදලක් ගෙවලා ඔහුව හැමදාමත් සෙසු හෝ සහාය චරිතවලට පමණක් සීමා කළා. තමන්ගේ දරුවන් දෙදෙනා දිනෙන් දින උස්මහත් වෙද්දී තමන්මේ කරන්නේ ඵලදායී දෙයක්දැයි විජය නැවතත් කල්පනා කළා. අවුරුදු හයක්ම ඔහුට තමිල්නාඩුවෙන් ලැබෙන්නේ ඉඩ පුරවන චරිත විතරයි.

2012 වසර විජයගේ කට්ට කෑමේ පරිච්ඡේදය අවසන් කරමින් මදයට ඇතුළුවීම සනිටුහන් කරනවා. ඒ ර්ථීඪලලච චිත්‍රපටය තුළින්. Naanum Rowdy Thaan, Vikram Vedha, Orange Mitti වැනි චිත්‍රපට හරහා 96 දක්වා අද කොලිවුඩයට නැතිවම බැරි කාර්යබහුල නළුවකු ලෙස විජය සේදුපති වැජඹෙනවා.

විජය කියන්නේ සල්ලි බලාගෙන වැඩ නොකරණ නම්‍යශීලී නළුවෙක්. ඒ නිසාම ඔහුට ක්ෂේත්‍රයේ නමක් දිනාගන්න වගේම බහුතර කැමැත්ත දිනාගන්නත් හැකි වී තිබෙනවා. සුපිරි තරු දැවැන්ත චිත්‍රපටවල විතරක් හිරවෙද්දී විජය කෙටි සහ අඩු පිරිවැයක් දරන නමුත් උසස් තිර රචනා ඇති නිර්මාණ රැසකට දායක වන්නේ සිනමාව වගේම තමන්වත් ලස්සන කරගනිමින්.

මනුස්සයකුට ගොඩයන්න වයස බලපාන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ පරක්කු වෙලා හරි තමන්ගේ භූමිකාව හඳුනාගැනීම විතරයි. වයස අවුරුදු 40ක දෙදරු පියෙක් රිදී තිරය ආක්‍රමණය කරමින් මුළු ලෝකයටම දෙන්නේ වටිනා පණිවුඩයක්.

ෂෙනාල් ගුණසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon