ටවුමේ ඉස්කෝලේ සත්‍ය සිදුවීමක නිර්මාණශීලී ගොඩනැඟීමක්

  👤  1736 readers have read this article !
Published by : MB WEB 2019-01-01 09:32:17

ටවුමේ ඉස්කෝලේ කියන්නේ මේ දිනවල රිදී තිරයේ දිගහැරෙන අපූරු සිනමා නිර්මාණයක්. එය අධ්‍යක්ෂණය කරන්නේ සුනිල් ප්‍රේමරත්න. මේ සිනමා නිර්මාණය ගොඩනැඟී තිබෙන්නේ සත්‍ය කතාන්දරයක් නිර්මාණශීලීව ගොඩනැංවීමෙන්. ශනලී සහ කවීෂා යන දැරියන් දෙදෙනා මූලික කර ගනිමින් මෙහි කතාව දිගහැරෙනවා. ශනලී කියන්නේ කුරුණෑගල ප්‍රදේශයේ ඉතා සුන්දර ගමක ජීවත් වන දැරියක්. ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී නගරයේ පාසලකට ඇතුළත් වෙනවා.

ඇය ඉගෙනීම් කටයුතුවලින් වගේම කලා කටයුතුවලිනුත් විවිධ දක්ෂතා පෙන්වමින් ඒ පාසලේ ජනප්‍රිය දැරියක් බවට පත් වෙනවා. ඒ පාසලේ එතෙක් ඉහළින් සිටි කවීෂා සමඟ ශනලී කරට කර දක්ෂතා පෙන්වනවා. ඒ ගැන කවීෂා සිටින්නේ නොසතුටෙන්. දිනක් කවීෂා දුරදිග නොබලා කරන ක්‍රියාවක් ශනලීගේ ජීවිතය අනතුරේ හෙළනවා. එහි දිගුව ගලා යන්නේ මේ සියලු දෙනාගේ අතීත සබඳකම්වල ගැටගැසීම් හෙළි කරමින්. මේ කතාව සිනමාවට ගෙනා සුනිල් ප්‍රේමරත්න ඒ ගැන කතා කරන්න හදගැස්මට එකතු වුණා.

ඔබේ පළමුවැනි සිනමා නිර්මාණය දැන් තිරයට ඇවිත්?

ඔව්. ටවුමේ ඉස්කෝලේ' කියන්නේ මම අධ්‍යක්ෂණය කරපු පළමු චිත්‍රපටය. ඊට කලින් මම චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක්. තිරපිටපත් රචකයෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ධම්මික අතපත්තු. වසන්ත නෙතුගහමුදුණ හරහා තමයි මට ධම්මික හඳුනාගන්න ලැබුණේ. ඔහුගේ නිෂ්පාදන දායකත්වයත් එක්ක තමයි මට මේ නිර්මාණය කරන්න ලැබුණේ.

මේ චිත්‍රපටයේ වැඩ අවසන් කරලා කොච්චර කල්ද?

2016දී තමයි චිත්‍රපටය කරලා වැඩ අවසන් කළේ. චිත්‍රපටය තිරගත කරන්න අවුරුදු දෙකක් බලන් ඉන්න වුණා.

දැන් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදී විවිධ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. ඔබත් ඒ ගැටලුවලින් පීඩා විඳින්න ඇති?

ඔව්. ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශන ක්‍රමවේදය දවසින් දවස පහත් තැනකට තල්ලු වෙන්නේ. අපි චිත්‍රපට කරන්නේ උණට. චිත්‍රපටයක් කළාම ඒක ප්‍රදර්ශනය කරන්න අවුරුදු ගාණක් බලන් ඉන්න වෙනවා. ඊට පස්සේ ප්‍රදර්ශන ගැටලු. මේ හැමදේටම අපිට මුහුණ දෙන්න වෙනවා. ඉදිරියේදී ව්‍යාපාරිකයෝ චිත්‍රපට කරන්න අතගහයිද කියන එකත් ගැටලුවක්.

සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන තමයි ඔබේ චිත්‍රපටයේ තිරපිටපත සකස් කර තිබෙන්නේ?

ඔව්. ඇඹිලිපිටිය පැත්තේ මේ වගේ සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. පසුකාලීනව ඒ සිදුවීම මල්කැකුළක් ඉකිබින්දා ලෙස ටෙලි නාට්‍යයකටත් යොදාගෙන තිබුණා. නමුත් මම ඒ සත්‍ය සිදුවීම නිර්මාණශීලීව ගොඩනඟලා තමයි චිත්‍රපටයේ තිරපිටපත සකස් කළේ.

ඔබ මෙය නිර්මාණය කරන්නේ ළමා චිත්‍රපටයක් ලෙස නේද?

ඔව්. මගේ මුල්ම තිරපිටපත තමයි අඟර දඟර. එයත් ළමා චිත්‍රපටයක්. මම දැනට වෘත්තියෙන් පාසල්වල පුහුණුකරුවෙක් ලෙස සේවය කරනවා. එහිදී මට අත්දකින්න වෙන සිදුවීම් එමටයි. මම හිතුවා මගේ පළමුවැනි චිත්‍රපටය ළමා චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්න. මට ඕන වුණා ළමයින්ගේ හැසිරීම්, ගුරුවරුන්ගේ හැසිරීම වගේම මවුපියන්ගේ හැසිරීම් මේ නිර්මාණයෙන් පෙන්නලා දෙන්න. මම ගොඩක් ළමයින් එක්ක ඉන්න නිසා තමයි ළමා චිත්‍රපටයක් ප්‍රථමයෙන්ම කරන්න හිතුවේ. හැබැයි මේක සියලු දෙනාට රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක්.

මේ නිර්මාණයට දායක වෙන ශිල්පීන් මතක් කරමු?

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ළමයින් දෙන්නෙක්. ප්‍රභාෂි පල්ලියගේ සහ මෙලිෂා යෙනුලි තමයි ඒ දරුවෝ දෙන්නා. යොහානි හංසිකා කියන දරුවත් ප්‍රධාන දරුවෝ දෙන්නා වගේම දක්ෂ ලෙස රඟපෑවා. බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, සුසිලා කෝට්ටගේ, කුමාර තිරිමාදුර, රොෂාන් පිලපිටිය, ජගත් ගලප්පත්ති ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ නිර්මාණයට දායක වෙනවා.

ඔබට අවශ්‍ය රංගනය ඔවුන්ගෙන් උපරිමයට උකහා ගත්තා කියලා හිතනවද?

ඔව්. මම මේ තිරපිටපත මුලින්ම දුන්නේ බිමල් ජයකොඩිට. මේක හොඳ පිටපතක් කියලා ඔහු මුදලටත් වඩා ලොකු සහයෝගයක් මට ලබා දුන්නා. තාරුකා අම්මා කෙනකුගේ චරිතය කළා. ඇය වගේම හැම රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියකගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබුණේ.

ඔබේ පළමු සිනමා අධ්‍යක්ෂණය සාර්ථකයි කියලා හිතනවාද?

මම හිතන විදියට තිරනාටකයකින් පුළුවන් ඒ අදාළ නිර්මාණයට සියයට පනහකින් විතර සාධාරණයක් කරන්න. මම තිරපිටපත හොඳ තැනකට ගෙනාවා. තිරපිටපත හොඳින් සකස් කරන්න මම ගොඩක් මහන්සි වුණා. ඊට පස්සේ කණ්ඩායම් වැඩක් විදියට කැමරා අධ්‍යක්ෂ, සංස්කරණ ශිල්පියා, රංගන ශිල්පීන්, සංගීත අධ්‍යක්ෂවරයා ඇතුළු හැමෝගෙම සහාය මත මේ නිර්මාණය හොඳ තැනකට ගේන්න මට පුළුවන් වුණා. මගේ පළමු වැඩේ සියයට සියයක් සාර්ථකයි කියලා හිතනවා. මේ වෙනකොට චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

එතකොට අඩුපාඩු නැද්ද?

අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑනේ. මගේ පළමු අධ්‍යක්ෂණය නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්.

ඔබ චිත්‍රපටයට එන හොඳ ප්‍රතිචාර වගේම විවේචන භාර ගන්න අධ්‍යක්ෂවරයෙක්ද?

අනිවාර්යයෙන්ම. අපි කරන නිර්මාණයකට හොඳ කියනවා වගේම විවේචනත් කියන්න ඕන. ඒවත් එක්ක තමයි අපි ගොඩනැඟෙන්නේ. විවේචන ආවත් අඩුපාඩු පෙන්වලා දුන්නත් මම ඒවා නිහතමානීව පිළිගන්නවා.

ඔබේ කලා ක්‍ෂේත්‍රයේ ගමන පටන් ගත්තේ කොතැනින්ද කියලත් මතක් කරමු?

මම 2004දී රංගන ශිල්පියෙක් ලෙස තමයි ක්‍ෂේත්‍රයට එකතු වෙන්නේ. ඊට පස්සේ සිනමාව සම්බන්ධව ඉගෙන ගෙන මම සහාය අධ්‍යක්ෂණයට එකතු වුණා. වස්දඬුරාවය, අඟර දඟර, අචඪදඡධඹ කියන චිත්‍රපටවලට සහ ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂණ කටයුතුවලට දායක වෙලා තියෙනවා.

අධ්‍යක්ෂණයට එද්දී ඔබට ආපු බාධක මොනවාද?

මම අධ්‍යක්ෂණයට එකතු වෙද්දී මාව දිරිමත් කරපු අය ගොඩක් හිටියා. මාව කකුලෙන් ඇදලා පැත්තකට කරන්න හදපු අයත් හිටියා. මම ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මට ආත්ම ශක්තියක් ලැබුණේ ඒ දේවල් නිසා. මම ප්‍රවීණයන්ගේ ගුරු හරුකම් එක්ක ඔවුන් කළ දේ බලලා තමයි මේ කාර්යය පටන් ගත්තේ. තව දේවල් එකතු කරගෙන ඉදිරි ගමනක් යන්න මට තියෙනවා.

දැන් ක්‍ෂේත්‍රයේ තිබෙන ගැටලු එක්ක චිත්‍රපට අධ්‍යක්ෂණය දිගටම කරගෙන යන්න පුළුවන්ද?

මොන ප්‍රශ්න ආවත් කොහොම හරි චිත්‍රපට කරනවා. ඒ තරම් අපිට උණක් තියෙනවා. ඉදිරියේදී අවුරුද්දකට චිත්‍රපට එකක් හෝ දෙකක් කරනවා කියන බලාපොරොත්තුවේ මම ඉන්නවා. මම වෘත්තියෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. ඒ නිසා මට පුළුවන් විදියට අධ්‍යක්ෂණ කටයුතු කරගෙන යනවා.

ඔබට නිෂ්පාදකවරුන් සම්බන්ධ කර ගැනීමේ ගැටලු නැද්ද?

මගේ පළමුවැනි චිත්‍රපටය තිරගත වෙන්නත් කලින්ම මගේ දෙවැනි චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ධම්මික අතපත්තු එකතු වුණා. මගේ තුන්වැනි චිත්‍රපටය මගේ ඥාති සහෝදරයකුගේ පුතෙක් නිෂ්පාදනය කළේ. දැනට මට නිෂ්පාදකවරුන්ගේ ගැටලුවක් නැහැ. ඒත් මේ යන ක්‍රමවේදය එක්ක ඉදිරියේදී නිෂ්පාදකවරු සිනමාවට එන්න මැළිවෙන්න පුළුවන්.

තවත් අලුත් නිර්මාණවලට අත ගැහුවද?

ඔව්. මගේ දෙවැනි නිර්මාණය වැලිපවුර. පිය පුතු සබැඳියාව සමඟ පවුලේ සිදුවීමක් ඇසුරු කරගෙන තමයි මම එය නිර්මාණය කළේ. එය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. මගේ තුන්වැනි චිත්‍රපටය හොල්මන් චිත්‍රපටයක්. එහි තව වැඩ කිහිපයක් කරන්න තියෙනවා. මේ වගේ එකකට එකක් වෙනස් තේමාවන්ගේ චිත්‍රපට මම තිරයට ගේන්න සූදානමින් ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon