පබෝධා කොළඹින් පිටපනී

  👤  3115 readers have read this article !
Published by : MB WEB 2019-01-03 07:28:17

කොහොමද පබෝධා?

වරදක් නැහැ හොඳින් ඉන්නවා

හැබැයි පුංචි තිරයේ නම් ඔබ මානසික රෝගී කාන්තාවක්?

ඔව්. මේ දවස්වල විකාශය වෙන 'සකූගේ කතාව' ටෙලිනාට්‍යයේ තමයි පිස්සු හැදිලා ඉන්න කාන්තාවකගේ චරිතයක් මම නිරූපණය කරන්නේ.

මේ වගේ චරිතයක් කරන්න පබෝධාගේ අකැමැත්තක් තිබුණේ නැද්ද?

ඇත්තටම මට තිබ්බ ප්‍රශ්නය තමයි කොළඹින් පිට රූගත කිරීම්වලට යන එක. මම අවුරුදු හයහමාරකට පස්සේ තමයි නාට්‍යයක රූගත කිරීම්වලට කොළඹින් පිට ගියේ. සකූගේ කතාවේ රූගත කිරීම් සිදුවුණේ කුරුණෑගල. මම මුලින්ම නාට්‍යයට එන්න බෑ කියලා කිව්ව. ඊට පස්සේ මට ප්‍රියන්ත අයියා කිව්වා ස්ක්‍රිප්ට් එක කියවලා බලන්න කියලා. පිටපත කියෙව්වම මට නාට්‍ය කරන්න ආසා හිතුණා.

හිටි හැටියේ කොළඹින් පිට වැඩවලට යන්න හිතුවේ?

ඒ නිර්මාණය හොඳ නිසා. නිර්මාණයේ තිබ්බ හොඳකම නිසා මට ඒක අතහරින්න ලෝබ හිතුණා. මම කොළඹින් පිට රූගත කිරීම් කළ චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. අපිට වැඩ කරන්න පුළුවන් එක කාල සීමාවක් තියෙනවා. ඒ කාලය මඟහැරුණොත් වැඩක් නෑ. හොඳ නිර්මාණ ලැබුණොත් මම ඒ වෙනුවෙන් කැප කිරීමක් කරනවා.

මේ වගේ චරිත නිරූපණයක් කරන්න පසුබිම හදාගත්තේ කොහොමද?

ඇත්තටම ඒ චරිතය කරද්දි මම කිසිම දෙයකට ලෑස්ති වෙලා තිබුණේ නැහැ. මානසික රෝගී තත්ත්වයක් තියෙන අය පාරේ දැකලා තිබ්බට ඒ ගැන ලොකු අධ්‍යයනයක් මට තිබුණේ නැහැ. ප්‍රියන්ත අයියා කියන විදියට කරන්න මම වැඩේ පටන් ගත්තා. ඔහුගේ උපදෙස් සහ මමත් එකතු කළ දේවල් එක්ක තමයි මේ චරිතය ගොඩනඟලා තියෙන්නේ.

ඒ චරිතය ප්‍රේක්‍ෂකයෝ වැලඳගෙනද?

ඒ චරිතයට ගොඩක් අය ආදරෙයි. හැමෝම ඒ චරිතය ගැන දුකෙන් කතා කරන්නේ. ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දි සතුටක් දැනෙනවා.

පබෝධා කවදත් දකින්නේ වෙනස් වෙනස් චරිතවලින්. ඔබ එක රාමුවකට කොටු නොවුණෙ කොහොමද?

මම ඒක හිතල කළ දෙයක් නෙමෙයි. වෙනස් චරිත මාව හොයාගෙන එනවා. යම් නිර්මාණයක චරිතයක් කරලා සතුටක් ලැබෙන්නේ නැත්නම් මම ඒ චරිතය කරන එක ප්‍රතික්ෂේප කරනවා. නමුත් මට මේ වෙනකල් වෙනස් චරිත කරන්න ලැබිලා තියෙනවා.

අභියෝගයක් විදියට ලැබෙන ඕනම චරිතයක් පබෝධා භාරගන්නවාද?

මට ඕනම චරිතයක් කරන්න පුළුවන්ද කියලා දන්නේ නෑ. 'සකූගේ' කතාවට සම්බන්ධ වෙද්දිත් මට පිස්සු චරිතයක් කරන්න පුළුවන් කියලා මම හිතුවේ නැහැ. චරිතයක් තෝරාගනිද්දි පිටපත හරිම වැදගත්. අපි විතරක් එක චරිතයක් වෙලා වැඩක් නැහැ. හොඳ පිටපතක් ඇතුළේ හොඳ චරිතයක් නිරූපණය කරන්න පුළුවන්.

රංගන ජීවිතයේ ඔබට ලැබිච්ච අවස්ථා ගැන සතුටු වෙන්න පුළුවන්ද?

මම ගොඩක් නිර්මාණ අතහැරලා තියෙනවා. මම හොඳ ගමනක් මේ ක්ෂේත්‍රයේ ඇවිත් තියෙනවා. මම සම්බන්ධ වෙලා තියෙන්නේ නිර්මාණ කිහිපයකට. මම නිතර පේන්න ඉන්න කෙනෙකුත් නෙමෙයි. මම තාම අලුත් කෙනෙක් වගේ මට දැනෙන්නේ. ආපස්සට හැරිලා බලද්දි කරලා තියෙන නිර්මාණ ගැන මම තෘප්තිමත්.

සැබෑ ජීවිතේ ගැනත්
ඒ වගේම තෘප්තිමත්ද?

මම හොඳ ජීවිතයක් ගත කරනවා. මට හොඳ පුතෙක් ඉන්නවා. ගැහැනියක් විදියට මට ඒ දේවල් ලැබිලා තියෙනවා. මම මට කැමැති දේවල් කරනවා.

සැමියා ඉස්සර වගේම ඔබේ වැඩවලට සහාය දෙනවද?

පුතාව බලාගන්නේ එයා. පුතාව පාසල් ගෙනියන වැඩ සැමියාගේ අතින් සිද්ධ වෙන්නේ.

රංගන කටයුතු එක්ක පුතාගේ වැඩ කටයුතු කරන්නේ කොහොමද?

දැන් පුතාට අවුරුදු පහයි. දැන් එයාට ගොඩක් තේරෙනවා. එයාට අවුරුද්දයි මාස දෙකක් වගේ වෙද්දි තමයි මම 'ගින්දරි' චිත්‍රපටයට සම්බන්ධ වුණේ. පුතා හොඳ දරුවෙක්. එයාට මගේ රැකියාව ගැන අවබෝධයක් තියෙනවා. අම්මා වගේම එයාගේ තාත්තත් එයාව බලාගන්නවා.

වැඩ නිසා පවුලේ වගකීම් පබෝධා අතින් මඟ හැරෙනවා ඇති?

මගේ වෘත්තිය නිසා යම් යම් දේවල් මට මඟහැරෙනවා. නමුත් හැමදේම සමබරව කරගෙන යන්න මම උපරිම උත්සාහ කරනවා.

පුතා පබෝධා රඟපාන නිර්මාණ බලනවද?

එයා 'සකූගේ' කතාව බලන්න ආසයි. එයාට තේරෙනවා මම රඟපානවා කියලා. එයා ආසාවෙන් කතාව බලනවා.

පුතා කලාවට ළැදියිද?

කලාවට තියෙන හැකියාවන් නම් තාම පේන්නේ නැහැ. එයා කොයි අංශයට දක්ෂ වුණත් එයාට ඒ අංශයෙන් ඉදිරියට යන්න තමයි මම සහයෝගය දෙන්නේ.

තාමත් පබෝධාගේ තෝරා ගැනීම් එහෙමමද?

ඔව්. මම කොයි කාලෙත් තෝරා බේරාගෙන වැඩ කළේ. මට ආසා නැත්නම් ඒ චරිතය මම භාර ගන්නේ නෑ. මට පහුගිය කාලේ හොඳ වැඩ ටිකක් ලැබුණා. උරුමයක අරගලය කියන්නෙත් හරිම වෙනස් කතාවක්. 'බිසෝ මැණිකේ' යන චරිතය තමයි මම එහි නිරූපණය කරන්නෙත්.

සිනමාවේ අලුත් වැඩ භාරගත්තද?

සරත් වීරසේකරගේ ශ්‍රී සිද්ධා කියන චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධ වුණා. එය ලබන වසරේ තිරගත වෙයි. සනත් අබේසේකරගේ 'ඉරු දේව' නිර්මාණයේ පරාක්‍රමබාහු රජුගේ බිරියගේ චරිතය නිරූපණය කරනවා. ගින්දරි 2 චිත්‍රපටයේ රූගත කිරීම් ලබන වසරේ ජනවාරි මාසේ පටන් ගන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon