තල්මසුන් දඩයම නැවත අරඹන්න සූදානම් වන ජපානය

  👤  1164 readers have read this article !
Published by : MB WEB 2018-12-28 16:03:24

ලබන වසරේ ජූලි මස සිට තල්මසුන් දඩයම නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් වීම ගැන ජාත්‍යන්තරයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

තල්මසුන් සංරක්ෂණය කිරීම සඳහා පිහිටුවා ඇති තල්මසුන් දඩයම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කොමිසමේ (IWC) සාමාජිකත්වයෙන් ජපානය ඉවත් වන බව දැනුම් දී ඇත.

සමහර තල්මසුන් වර්ග වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති හෙයින් 1986 දී වාණිජමය ක්‍රියාකාරකම් සඳහා තල්මසුන් දඩයම් කිරීම තහනම් කිරීමට ඒ පිළිබඳ ජාත්‍යන්තර කොමිසම පියවර ගත්තේය.

1951 සිට මෙම කොමිසමේ සාමාජිකත්වය දරන ජපානය පවසන්නේ තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බවය.

ජපානය විසින් තල්මසුන් දඩයම හඳුන්වනු ලබන්නේ "විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන්" ලෙසය. නමුත් ජපානය තුළ සිදු කෙරෙන තල්මසුන් දඩයම දැඩි ලෙස හෙලා දැකීමට ලක්ව ඇති අතර එම "මාරක පර්යේෂණය" සීමා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය 2014 වසරේදී කටයුතු කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සීමා පනවනු ලැබීමෙන් පසු නව පර්යේෂණ සැලැස්මක් නිකුත් කරමින් ජපානය කියා සිටියේ සතුන් අල්ලා ගැනීම සහ විශ්ලේෂණය කිරීම ඇන්ටාක්ටික් කලාපයේ පරිසර පද්ධතිය වටහා ගැනීමට "විද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත්වන" බවය.

තල්මසුන් දඩයම විද්‍යාත්මක වැඩසටහන් ලෙස හුවා දැක්වීම අනුමත නොකළ හේග් ජාත්‍යන්තර අධිකරණය 2014 දී එය නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශයට පත් කළේය.

තල්මසුන් දඩයම් කිරීමට ගත් තීරණය හේතුවෙන් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි පරිසරවේදීයෝ පවසති.

මේ අනුව, තල්මසුන් දඩයම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කොමිසම යටතේ සංරක්ෂිත 'මින්ක් (Minke)' තල්මසුන් ඇතුළු ඕනෑම වර්ගයක් දඩයම් කිරීමට ජපානයට නිදහස ලැබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon