ලාහෝර් යන්න පුහුණුකරු පෝතාසුත් බයයිලු

  👤  1234 readers have read this article !
Published by : MB WEB 2017-10-23 15:03:10

සිරිනාම රාජපක්‍ෂ 

පාකිස්තානයේ ලාහොර් නුවරදී පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගයද ඇතුළුව ලබන බ්‍රහස්පතින්දා (26දා) ඇරැඹෙන ශ්‍රී ලංකා-පාකිස්තාන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් 16 දෙනකුගේ සංචිතයක් නම් කර ඇති අතර ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතාස්, අභ්‍යාසක නික් ලී සහ භෞතචිකිත්සක ශ්‍රී ධරන්ද ලාහොර් සංචාරයෙන් ඉවත් වී ඇත.

ශ්‍රී ලංකාවේ නිත්‍ය එක් දින සහ විස්සයි-20 කණ්ඩායම් නායක උපුල් තරංග ඇතුළු ප්‍රමුඛ පෙළ ක්‍රීඩකයින් ලාහොර් ගමන ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ ඒ සඳහා කැමැත්ත දක්වන ලද ක්‍රීඩකයන් පමණක් පාකිස්තානයට එරෙහිව විස්සයි-20 තරගාවලියේ තෝරා ගැනීම් වෙනුවෙන් සලකා බැලූ බවද ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි සනාථ කළේය. ක්‍රීඩා අමාත්‍යාංශයේද උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇතැයි පැවැසෙන අතර ඒ අනුව නම් කළ කණ්ඩායම තෝරා ගැනීමේදී පසුගිය ඉන්දීය සංචාරයේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට අතුළත්ව සිටි ක්‍රීඩකයන් නව දෙනකුම වෙනස් වී ඇත.

තවද තරංගට අමතරව ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය,මිලින්ද සිරිවර්ධන හා චාමර කපුගෙදර යන ක්‍රීඩකයන්ද ලාහෝර් ගමනට පෙනී නොසිටි බවද තේරීම් කමිටුව සනාථ කර ඇති අතර මෙම වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායමකට නායකත්වය දුන් 6 වැනි ක්‍රීඩකයා ලෙසද තිසර පෙරේරාගේ නම සටහන් වනු ඇත.

මෑතකදී පාකිස්තාන් කණ්ඩායමට එරෙහිව ලෝක ක්‍රිකට් කණ්ඩායම ලාහොර් නුවරදී පැවැති විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයේදී පන්දු 19කින් ලකුණු 47ක් නොදැවී ලබා ගෙන තිසර දැක්වූ දස්කම් නිසාම එම තරගයේ වීරයා සම්මානයද හිමි කර ගත් අතර ඔහුගේ නව නායකත්වය යටතේ තරග වදින ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම මෙසේය.

ධනුෂ්ක ගුණතිලක ,ඩිල්ෂාන් මුණවිර, සධීර සමරවික්‍රම, මිනෝද් භානුක (කඩුලු රකින්නා), මහේල උඩවත්ත, අෂාන් ප්‍රියන්ජන්, සචිත් පතිරණ , දසුන් ශානක, , විකුම් සංජය, ළහිරු ගමගේ, සීක්කුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩර්සේ සහ චතුරංග ද සිල්වා. මේ අතර පොතාස්ගේ පුරප්පාඩුව වෙනුවෙන් පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇතැයි පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්