"මහත්වරුනි! මරාවි නගරය නිදහස්"

  👤  360 readers have read this article !
Published by : MB WEB 2017-10-18 15:48:36

දකුණු පිලිපීනයේ 'මරාවි'(Marawi) නගරය ඉස්ලාමීය 'ජිහාඩ්' වාදීන්ගෙන් මුදාගත් බව ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ විසින් නිවේදනය කරනු ලැබුණි.

ඊනියා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට(IS) අවනත ප්‍රහාරක ජිහාඩ් සන්ධානය, මාස පහකට කිට්ටු කාලයක් නගරය යටත් කර ගෙන සිටි අතර, ඔවුන් සහ පිලිපීන හමුදාව අතර ගැටුමේ දී දහසකට ආසන්න ජීවිත විනාශයක් වාර්තා විය.

මෙවර සටනේ දී සන්නද්ධ ප්‍රහාරකයන්ගේ නායකයන් දෙදෙනකු ද මරණයට පත් වූ බව තහවුරු වීමෙන් දවසකට පසුව 'මරාවි'(Marawi) නගරයේ සංචාරයක නිරත වූ ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ එම නගරය මුදා ගත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

"නෝනා වරුනි! මහත්වරුනි ! මම 'මරාවි' නගරයට පැමිණියේ ත්‍රස්තවාදීන්ගෙන් නගරය මුදා ගත් බව ප්‍රකාශයට පත් කිරීමටයි" ජනාධිපත් රොඩ්රිගෝ දුටර්ටේ කියා සිටියේය.
ජනාධිපතිවරයා එම ප්‍රකාශය කරනු ලැබීමට මඳ වේලාවකට පෙරත් වෙඩි හඬ ඇසුණ බව පිලිපීන වාර්තාවන්හි දැක්වෙයි.

නගරය නිදහස් කර ගත් බව ජනාධිපතිවරයා නිවේදනය කළත්, මැලේසියානු ජාතික කැරලිකාර නායකයකු ද ඇතුළුව විස්සකට අධික සන්නද්ධ ප්‍රහාරකයන් කණ්ඩායමක් අල්ලා ගැනීමේ මෙහෙයුමක් පෙරට යමින් පැවති බවක් ද වාර්තා විය.

යුද හමුදා ප්‍රකාශකයකු විසින් ජනාධිපති දුටර්ටේ ගේ ප්‍රකාශය විග්‍රහ කළේ 'සංකේතාත්මක නිවේදනයක්' හැටියටයි.

එහෙත් සටන් පැවති සමයේ දිනපතාම මෙන් බෝම්බ හෙළීම නිසා නගරය විශාල වශයෙන් විනාශ වී ඇති හෙයින්, එය යළි ගොඩ නැගීමේ සැලසුමක් දියත් කිරීමේ සංඥාවක් ද ජනාධිපති ප්‍රකාශය මගින් සංකේතවත් කෙරෙන බවට විග්‍රහ ඉදිරිපත්ව ඇත.

ඉතිරි 'ජිහාඩ්' ප්‍රහාරකයන් පරාජය කිරීමේ සහ ඔවුන් අත සිටි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ මෙහෙයුමක් දිගටම පෙරට යමින් පවතින බව පිලිපීන යුද හමුදාව මේ අතර පවසයි.

සන්නද්ධ ප්‍රහාරකයන්ට එරෙහි සටනේ දී අටසීයකට අධික කැරලිකරුවන් මරා දමනු ලැබ ඇති අතර ආණ්ඩුවේ හමුදා භටයන් 150 ක් පමණ ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා වී ඇත.

'මරාවි' නගරය කැරලිකරුවන් අත පැවතීමත් සමඟ 'මින්දනාඕ' දූපතේ සන්නද්ධ ඉස්ලාමීය මතවාදය කලින් තක්සේරු කර තිබුණ මට්ටම වඩා ව්‍යාප්ත වී ඇත යන භීතිය දැන් ඇවිළ යමින් පවතින බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

කතෝලික අති බහුතරයක් සහිත පිලිපීනයේ මුස්ලිම් බහුතරය සහිත එකම කලාපය 'මින්දනාඕ' දූපතයි.

(BBC)

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්