සඳ කිඳුරි මං 'මේ මමයි' ලෙස පුංචි තිරයට

  👤  1437 readers have read this article !
Published by : MB WEB 2017-10-13 16:22:32

කාලයක් ඉඳලා තිබ්බ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙලා නේද?

මගේ පළමුවැනි තිරපිටපත 'මේ මමයි' නමින් ටෙලි නිර්මාණයකට ගොඩනැඟිලා තියෙනවා. ධ්ඊව් නාළිකාවේ රාත්‍රි 8ට ටෙලි නාට්‍ය විකාශය වෙනවා. මගේ පළමුවැනි තිරපිටපත හැදෙන්නේ මගේ පළමුවැනි නවකතාව ඇසුරෙන්. 2013දී තමයි 'සඳ කිඳුරි මං' නවකතාව එළියට ආවේ. පොත අවුට් වෙලා අවුරුදු හතරකට පස්සේ තමයි එය ටෙලි නාට්‍යයක් ලෙස බිහිවෙන්නේ. සිනමා මාධ්‍යවේදිනියක් ගැන තමයි මෙහි කතා කරන්නේ. මේ කතාව හැමෝගෙම කතාවක් වෙන්න පුළුවන්. මේක බලන කෙනෙක්ට මෙය ඇත්ත කතාවක්, තමන්ගේ කතාවක් ලෙස හැඟෙන්න පුළුවන්.

නවකතාව තිර පිටපතක් බවට පත්වෙන්නේ කාගේ වුවමනාවටද?

පොත කරනකොට කවදාවත් හිතුවේ නැහැ පොතෙන් ටෙලි නාට්‍යයක් කරන්න. නවකතාව එළි දැක්වූවාට පස්සේ ක්‍ෂේත්‍රයේ ගොඩක් අය මගේ පොත කියෙව්වා. බොහොම ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක්ම පොතේ තිබුණු නෙත්මිණි විජේවර්ධන කියන චරිතයට හුඟක් ඇලුම් කළා. පොත කියවලා පියුමි බොතේජු මට කතා කළා. ඇය කතා කළේ බොහොම හැඬුම්බරව. ඇයට වුවමනා වුණා ඒ චරිතය කරන්න. ඇය මට කිව්වා මේ නවකතාව නාට්‍යයක් විදියට කරමු කියලත්. හැමෝගෙම ප්‍රතිචාරත් එක්ක මටත් හිතුණා නිර්මාණයක් කරන්න.

අධ්‍යක්ෂවරයා මේ කාර්ය භාර ගන්න එක පයින් කැමැති වුණාද?

සුමේන්ද්‍ර කිතුල්ගොඩගේ තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නේ. ඔහු දැන්වීම් ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්. ඔහු නාට්‍ය කිහිපයකුත් නිර්මාණය කරලා තියෙනවා. පිටපත දුන්නම සුමේන්ද්‍ර අයියත් වැඩේට කැමැති වුණා. මම පිටපත ලිව්වෙත් වෙනස් විදියකට ඔහුත් ඒ වෙනසට කැමැති වුණා.

මොකක්ද ඔබ ඒ කළ වෙනස?

අපි නාට්‍යවල දකින්නේ කරපු දෙයක් මතක් වෙන විදිහටනේ. මම පිටපත ලිව්වේ අතීතයත් වර්තමානයත් සමාන්තරව යන විදියට. දැන් මේ යන ගොන්නේ නාට්‍ය අතර මේක වෙනස් හැඩයක් තියෙනවා.

නාට්‍ය විකාශය වෙන ගමන් සමහර පිටපත් ලියවෙනවා. ඔබත් ඒ ක්‍රමයද අනුගමනය කරන්නේ?

මම සම්පූර්ණ පිටපත ලියලා නැහැ. හැබැයි මම ලොකේෂන් එකට පිටපත් ලියලා යවන කෙනෙක් නෙවෙයි. පිටපත සම්පූර්ණ කරලා රංගන ශිල්පීන්ට දීලා, හැමදේම සාකච්ඡා කරලා තමයි අපි ෂෙඩුල් එකට අත ගහන්නේ.

කොටස් කොච්චර ප්‍රමාණයක් නාට්‍ය ගෙනියන්නද ලෑස්ති වෙන්නේ?

ධ්ඊව් නාළිකාවෙන් මේ වැඩේට ගොඩක් කැමැති වුණා. මම බලාපොරොත්තු වෙන්නේ කොටස් සියයක් කරන්න. කොටස් සියයට වඩා වැඩි වුණොත් මේකේ රහ නැති වෙයි කියන තැන මම ඉන්නේ.

'මේ මමයි' නාට්‍යයට තරග කරන්න වෙන්නේ ලංකාවේ තවත් ජනප්‍රියම නාට්‍යයත් එක්ක. ඔබේ පිටපතෙන් ඒ නිර්මාණ වලට හොඳ තරගයක් දෙන්න පුළුවන්ද?
අනෙක් නාට්‍ය එක්ක තරග කරනවා කියන හැඟීමට වඩා මම උත්සාහ කළේ මේ නාට්‍යයෙන් ගැහැනියකගේ හැඟීම් ප්‍රතිනිර්මාණය කරන්න. ගැහැනියක් ආදරය විඳින විදිය, පවුල් ජීවිතය තුළ විවිධ දේවලට මුහුණ දෙන විදිය තමයි මෙහි නිරූපණය කරන්නේ. මම තරගකාරිත්වය ඔළුවට දාගත්තේ නැහැ. එහෙම ඔළුවට දාගත්තොත් හොඳ පිටපතක් මගෙන් බිහි නොවෙයි කියලා මම හිතනවා. තරගකාරිත්වයට වඩා කතාවට අනුගත වෙලා තමයි මම නිර්මාණ කළේ.

නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ සම්මුඛ සාකච්ඡාව දෙද්දී තාම කොටස් කිහිපයයි විකාශය වුණේ. පළමුවැනි කොටසටම සෑහෙන ප්‍රතිචාර ලැබුණා. අන්තර්ජාලයෙනුත් ටෙලි නාට්‍යය ගොඩක් බලලා තිබ්බා. මේ නාට්‍ය විකාශය වෙන බෙල්ට් එකේ අනෙක් නාළිකාවල විකාශය වෙන නාට්‍ය අභිභවලා මගේ නාට්‍ය නැරැඹූ ප්‍රමාණය වැඩියි. ඒ ගැන අහිංසක සතුටක් තියෙනවා. ඒ රසය දිගටම පවත්වාගෙන යන්න මට පුළුවන්. දැනටත් මගේ ඔළුවේ තියෙන්නේ මේ නාට්‍ය ප්‍රේක්ෂකයන්ට දැනෙන ආකාරයෙන් කරන්නේ කොහොමද කියන එක. බහරේන්වල කෙනෙක් මට කතා කරලා කිව්වා, මේ නාට්‍ය එයාට දැනෙන්නේ කොත්තු රොටී තියෙන ගොඩක කැකුළු බතක් වගේ කියලා. මගේ පළමුවැනි වැඩේට එහෙම ප්‍රතිචාර ලැබෙද්දී සතුටුයි.

නවකතාවක් පාඨකයෝ රසවිඳින්නේ චරිත මවා ගෙන. නවකතාව ටෙලි නිර්මාණයකට නැඟෙද්දී නවකතාවෙන් වින්ද රසය විනාශ නොවී නිර්මාණය සිදුවෙලා තියෙනවා කියලා ඔබ හිතනවාද?

මමත් පොත් කියවලා තියෙනවා. ඒ පොත්වලින් හැදුණු නිර්මාණ මම දැකලා තියෙනවා. එතකොට මටත් හිතිලා තියෙනවා අයියෝ මේ පොත කාලානේ කියලා. රඟපෑම්, අධ්‍යක්ෂණ කාර්ය එක්ක තමයි එහෙම දැනෙන්නේ. 'සඳකිඳුරි මං' නවකතාව 'මේ මමයි' ලෙස එළියට එද්දී ප්‍රධාන චරිතයට තෝර ගත්තේ පියුමිව. ඒකත් එක්තරා විදියකට අභියෝගයක් වුණා. මොකද පියුමි වර්තමානයේ හාස්‍ය චරිත රඟපාන කෙනෙක් ලෙස ජනප්‍රිය වෙලා තියෙනවා. හැබැයි ඒ නාට්‍ය පටන් ගැන්මේ සිටම පියුමිගේ කැපවීම මම හොඳින්ම දැක්කා.

ඒ කියන්නේ පියුමිගෙන් ඔබ බලාපොරොත්තු වුණු දායකත්වය ලැබුණා කියන එකද?

ඔව්. පියුමි උපරිම කැපවුණා මේ චරිතයට. නෙත්මිණිගේ චරිතයේ හැඬුම් ජවනිකා එකකටවත් ග්ලිසරින් පාවිච්චි කළේ නැහැ. කතාවේ නෙත්මිණිව එයා පුදුම විදියට එයාව කර ගත්තා. පියුමි මේ චරිතයට සියයට දාහක සාධාරණයක් ඉෂ්ට කළා. ඒ වගේම නාට්‍යයේ අනෙක් චරිතවලිනුත් ඒ සහාය ලැබෙනවා. පියුමිට සහායට ඉන්න හැම කෙනෙක්ම උපරිමයෙන් මේ වැඩේට කැපවෙලා ඉන්නවා.

නවකතාව නාට්‍යයක් බවට පත් කිරීමේ අදහස මුලින්ම දැමීමේ පියුමිනේ. පියුමිට ප්‍රධාන චරිතය දුන්නේ ඒ අදහසට කෘතගුණ සලකන්නද?

එයා අදහස ඔළුවට දැම්මත් එයා දක්ෂ නිළියක් නොවුණා නම් මම සම්බන්ධ කරගන්නේ නැහැ. මම හිතවත්කමට කිසිම දෙයක් කරන කෙනෙක් නෙවෙයි. දක්ෂකම නැතිව හිතවත්කමට දේවල් කළොත් කරන දේ ෆේල් වෙනවා. පියුමි චරිතය කරන්න කැමැතියි කිව්වම මම හිතලා බැලුවා. මම තීරණ ගනිද්දී හිතලා කරන්නේ. පියුම් දක්ෂ නිළියක්. ඒ දක්ෂකම නිසාමයි මේ චරිතය ඇයට දුන්නේ. හිතවත්කම නිසාවත්, කෘතගුණ සලකන්නවත් නෙවෙයි ඇයට මේ චරිතය දුන්නේ.

දිගටම තිරපිටපත් රචිකාවක් ලෙස කටයුතු කරයිද?

ඔව්. මේ වෙනකොට මම පිටපත් දෙකක් ලියලා තියෙනවා. එකක් 'ආදර දඩයම' එහි කොටස් පහළොවක් රූගත කරලා ඉවරයි' විහාරා' කියන නාට්‍යයෙත් කොටස් පහළොවක් රූගත කරලා ඉවරයි. මම ලියන්න හුඟක් ආස කෙනෙක්. මම දිගටම ලියයි. තවත් තිරපිටපතක් ලියලා තියෙන්නේ. ඒකත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

නවකතා නිර්මාණය පැත්තෙන් අලුත් යමක් සිද්ධ වෙනවද?

දෙවැනි නවකතාව සාහිත්‍ය මාසෙදි එළියට දාන්න හිටියේ. හැබැයි නාට්‍ය විකාශය වෙන්න ගත්තෙත් මේ මාසේ ඉඳලා. නාට්‍යයට කාලය යෙදවුව නිසා පොත එළියට ගේන්න බැරි වුණා. කොහොම වුණත් පොත මේ අවුරුද්දේ එළියට ගේන්න බලාපොරොත්තු වෙනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්