දකුණේ පාතාලයේ යළි ගැටුම්

  👤  1461 readers have read this article !
Published by : MB WEB 2017-10-11 11:39:25

බළපිටිය - දම්සරී ලියනගේ

හික්කඩුව, තෙල්වත්ත ප්‍රදේශයේ නිවෙසක් අසල ඊයේ (10දා) දහවල් 1.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව මීටියාගොඩ පොලිසිය කියයි.

ටී - 56 ගිනි අවියක් අතැතිව පුද්ගලයකු සිය නිවෙස දෙසට පැමිණෙන අයුරු එම නිවසේ සිටි අය දැක ඇති අතර නිවැසියන්ගේ කෑගැසීම මත වෙඩික්කරු වෙඩි 2ක් තබා පලා ගොස් තිබෙන බව පරීක්ෂණවලදී මීටියාගොඩ පොලිසිය තහවුරු කරගෙන තිබේ.

එම නිවෙසේ පදිංචි ලසන්ත මෙන්ඩිස් නමැති අය වෙඩික්කරුගේ ඉලක්කය වන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

ලසන්ත මෙන්ඩිස් නමැති අය 2015 මාර්තු 23දා හික්කඩුවේ වෑවල පිහිටි හෝටලයක් තුළ වෙඩි තබා ඝාතනය කරන ලද රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ගෝලයකු බවත් ඊයේ ටී - 56 ගිනි අවිය රැගෙන පැමිණි අය මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් පොඩි ලැසී නමැති අයගේ ගෝලයකු බවත් පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි මීටියාගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ නිසා මෙම වෙඩි තැබීම හික්කඩුවේ මෙම පාතාල කණ්ඩායම් දෙක අතර අරගලයේ ප්‍රතිඵලයක් විය හැකි බවද පොලිසිය විශ්වාස කරයි. මනෝජ් මෙන්ඩිස් ඝාතන රැසකට සම්බන්ධ අයකු බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්