නෝර්වුඩ් ඇඟලුම් සේවිකාවන් යළිත් ලෙඩ වෙයි

  👤  1393 readers have read this article !
Published by : MB WEB 2017-10-10 11:17:39

නෝර්වුඩ් _ රිද්මි මිලින්දිකා

හැටන් - නෝර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් පිරිසක් ඊයේ (09දා) උදෑසන යළිත් රෝගාතුර වී උමතුවෙන් මෙන් හැසිරීම හේතුවෙන් එම කර්මාන්තශාලාව තුළ සිටි සෙසු ඇඟලුම් සේවිකාවෝ භීතියට පත්ව සිටියහ.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් විසිදෙනකු පමණ ආවේශ වී උමතුවෙන් මෙන් කර්මාන්තශාලාව තුළ කෑ ගැසීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වූ අතර, තවත් සේවිකාවක් තමන්ගේ බෙල්ල ප්‍රදේශයෙන් කළු ඇඳුමක් ඇඳගත් කිසියම් අයකු ඇල්ලූ බවට කෑගැසීමත් සමඟම එම ඇඟලුම් කර්මාන්තශාලාවේ පාලකයන් විසින් මේ සම්බන්ධව නෝර්වුඩ් පොලිසියට දැනුම් දී තිබිණි.

නෝර්වුඩ් පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන්ට දැනුම් දී තිබේ.

පසුව දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව වෙත ගොස් ඇඟලුම් සේවිකාවන් පරීක්ෂා කර බැලීමේදී ආවේශ වී උමතුවෙන් සිටි සේවකයන් කිහිපදෙනකු පරීක්ෂා කර බැලීමේදී ඔවුන්ගේ ශරීරය තුළ කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ නිසා ඇඟලුම් සේවිකාවන් කිහිපදෙනකු දික්ඔය මූලික රෝහල් සායන කටයුතු සඳහා පැමිණෙන මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට පාලන අධිකාරියට දැනුම් දී ඇත.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පවසන්නේ තම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ පැවැත්විය යුතු දේව පූජාවන් කිහිපයක් පැවැත්වීම පාලන අධිකාරිය මඟින් අතපසු කළ නිසා මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් උද්ගතවී ඇති බවයි.

ඉකුත් (04දා) එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙසිය හතළිස් පස් දෙනකු පමණ හදිසියේ රෝගාතුර වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙතින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ ප්‍රමාණවත් වාතාශ්‍රය නොතිබීම තුළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් හදිසියේම රෝගාතුර වී ඇති බවයි. පසුව කර්මාන්ත ශාලාව තුළ ප්‍රමාණවත් වාතාශ්‍රය ලැබෙන පරිදි කටයුතු කරන ලෙසට පාලන අධිකාරියට කළ උපදෙස් මත කර්මාන්ත ශාලාව තුළට වාතාශ්‍රය අවශ්‍ය පරිදි ලැබෙන අයුරින් කටයුතු කර තිබූ බවත් නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිරි මහතා කීය.

ඇඟලුම් සේවිකාවන් (09දා) උමතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ හැසුරුණු අයුරු ඉකුත් (04දා) දින ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් රෝහල් ගත කළ අයුරු සහ ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසිය විසින් පරීක්ෂණ පැවැත්වූ අයුරු ඡායාරූප.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්