නිහඬ කරදරකරයා හේරත් ගැන වැදගත් යමක්

  👤  574 readers have read this article !
Published by : MB WEB 2017-10-07 15:42:13

වසරකට පමණ පසුව ටෙස්ට් ජයග්‍රහණයක රස බලා එය සමරන්නට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම කැඳවාගෙන යන්නට පෙරමුණ ගත් නිසාම රංගන හේරත් නොහොත් හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් ගැන යළිත් වරක් මේ දිනවල කතාබහට ලක්වෙනවා.

එපමණක්ද නොවෙයි ඔහුට සිවු දෙසින්ම සුබ පැතුම් ගලා එන්නටත් පටන් අරගෙන ඇති බවත් පේනවා. අබුඩාබිහිදී පැවැති පාකිස්තානයට එරෙහිව පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමේදී යළිත් වරක් පෙන්වූ දුර්වල පිතිහරඹය නිසාම ප්‍රතිවාදීන්ට තරගයේ වැඩි වාසි තිබුණත් තරගයේ අවසන් දිනයේදී රංගන පන්දුවෙන් දැක්වූ රංගනය නිසාම පාකිස්තානුවන් එම දඟර නැටුම්වලට හසුවීමෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට හිමිවුණා.

එම තරගයේදී ලකුණු 136ක් ප්‍රතිවාදීන්ට දී කඩුලු 11ක්ම ඩැහැගන්නට රංගන හේරත් සමත්වූ නිසාම ටෙස්ට් කඩුලු 400ක් ලබාගත් දෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට හේරත්ගේ නම ඉතිහාසගත වෙනවා. තවත් පැත්තකින් බැලුවොත් පන්දුවෙන් මෙවන් දස්කමක් කළ ලොව පස්වැනි දඟපන්දු යවන්නා බවටද හේරත් පත්වුණා. ඒ අනුව බැලූ විට හේරත්ට පෙර එම දස්කම කළ දඟපන්දු යවන්නන් වන්නේ මුත්තයියා මුරලිදරන්, ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන්, ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ සහ හර්බජාන් සිං යන සිවු දෙනාය. තවත් විදියකින් කීවොත් සමස්ත ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ කඩුලු 400ක් ලබාගත් 14 වැනි පන්දු යවන්නා බවටත් රංගන හේරත්ගේ නම ලියැවෙනවා.

40 වැනි වියට පා තබන්න ආසන්න මෙම සුපිරි වමත් දඟ පන්දු යන්නා තම 84 වැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් කඩුලු 400 කඩඉම පසුකළද ඔහුට මීට පෙර එම අවස්ථාවට ළඟා වන්නට නොහැකි වූ එක් හේතුවක් වූයේ මුත්තයියා මුරලිදරන්ගේ තිබූ දක්‍ෂතාවන් නිසාම බොහෝ කලක් හේරත්ගේ දක්‍ෂතා සැඟවී තිබූ නිසා බවද පැවැසුණා. එම අදහසෙත් යථාර්ථයක් ඇති බව පෙනෙන්නේ රංගන මෙවැනි වයසේදීත් දක්වන දක්‍ෂතා බැලූ විටයි.

කොහොම නමුත් පසුගියදා ලද රංගනගේ ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ ඔහුට ගලා ආ සුබ පැතුම් අතර ක්‍රිකට් ලොවේ හිටපු ලිට්ල් මාස්ටර් හෙවත් ලොව සුපිරි පිතිකරුවා වූ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්ද එදිනට පසුදිනම (ඔක්තෝබර් 3දා) රංගනට සුබ පැතුම් එක්කර තිබුණා. එහිදී සචින් තම ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් පණිවුඩයක් එක්කරමින් රංගනව හඳුන්වා තිබුණේ තවත් එක් නිහඬ කරදරකාරයකු" (One of the silent Worriors) ලෙසයි. සචින් විසින් රංගනගේ ක්‍රිකට් ජීවිතය පිළිබඳව කොතරම් අධ්‍යයනය කොට තිබේද යන්න සචින්ගේ එම හරවත් අදහස්වලින්ම තේරුම් ගැනීමට පුළුවනි.

රංගන ටෙස්ට් කඩුලු 400ක් සම්පූර්ණ කිරීමත් සමඟම තවත් නව වාර්තාවක් තැබුවා. එනම් ටෙස්ට් කඩුලු 400ක් ලබාගත් ලොව ප්‍රථම වමත් දඟපන්දු යවන්නා බවට රංගන පත්වීමයි. එසේම කඩුලු 400 ලබාගන්නට හැකිවූ වේගවත්ම පන්දු යවන්නන් අතරත් රංගනට හිමිවන්නේ සිවු වැනි ස්ථානයයි. මේ අතර රංගන පිළිබඳව තරගයට පෙර සිටම අදහස් දක්වා සිටි පාකිස්තානයේ හිටපු ටෙස්ට් නායක මිස්බා උල්හක් පවසා තිබුණේ රංගන යනු සෑම විටම භයානක පන්දු යවන්නකු බවයි. ඕනෑම ජේ‍යෂ්ඨ පිතිකරුවකු වුවද ඔහුගේ පන්දු කරදයක් විය හැකි බව පවසා ඇති හිටපු පාකිස්තාන් නායකයා තවදුරටත් පවසා ඇත්තේ නවකයන්ගෙන් සමන්විත වත්මන් පාකිස්තාන කණ්ඩායමට දියුණුවන්නට කාලය අවශ්‍ය බවයි.

එසේම නවකයන්ගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සංක්‍රාන්ති සමයක් ගත කරමින් සිටියද ජේ‍යෂ්ඨ ක්‍රීඩකයකු ලෙස පෙරමුණ ගනිමින් කණ්ඩායම් හැඟීමෙන් බර කරට ගෙන කළ මෙහෙයුම නිසා කිසිවකු නොසිතූ ලෙස පාකිස්තානය පරාජය කොට ශ්‍රී ලංකා කණ්ඩායම යළි නැඟිටීම රටේ ක්‍රිකට් පැත්තෙන් බැලූ කල යහපත් ප්‍රවණතාවකි. ටෙස්ට් කඩුලු 400ක් ලද ගමනේ රංගන ලද ජයග්‍රහණ අතර පාකිස්තානයට එරෙහිව ඇති සංඛ්‍යා ලේඛනද විශේෂත්වයක් ගනී. රංගන වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට (20කට) සහභාගි වී ඇත්තේත් වැඩිම කඩුලු ප්‍රමාණයක් (101) දවාගෙන ඇත්තේත් පාකිස්තානයට එරෙහිවය. එසේම ඉනිමකදී (127ට කඩුලු 9යි) මෙන්ම ටෙස්ට් තරගයකදී වැඩිම කඩුලු ප්‍රමාණයක් (184ට කඩුලු 14යි) වාර්තා කරගෙන ඇත්තේත් පාකිස්තානයට එරෙහි වීමද විශේෂත්වයකි.

සිරිනාම රාජපක්ෂ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්