එජාප නාම යෝජනා ලැයිස්තු ඉවර වෙන්න ළඟයි

  👤  563 readers have read this article !
Published by : MB WEB 2017-10-07 13:18:49

උපතිස්ස පෙරේරා

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේනාම යෝජනා ලැයිස්තු සැකැසීම බොහෝදුරට අවසන් වී ඇතැයි සිරිකොත එජාප මූලස්ථාන ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසුවේය.

සිරිකොත එජාප මූලස්ථානයට ලැබී තිබූ නාම යෝජනා අයැදුම්පත් 15,000කට ආසන්න ප්‍රමාණයකින් සුදුස්සන් තේරීම එජාප දිස්ත්‍රික් නායකයන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නාම යෝජනා කමිටු 17ක් මඟින් මේ දිනවල සිදුකරගෙන යන අතර අදාළ ලැයිස්තු පක්ෂයේ අනුමැතිය සඳහා මේ මස අවසානයට පෙර පක්ෂ මූලස්ථානයට යොමු කළ යුතු බවට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

පළාත් පාලන මැතිවරණ සඳහා අපේක්ෂකයන් තේරීමේදී ප්‍රථම වරට පක්ෂය විසින් නියම කරන ලද නිර්ණායකයන්ට අනුව සම්මුඛ පරීක්ෂණවලින් සුදුස්සන් තෝරා ගැනීම හා චෝදනා ලැබූ පළාත් පාලන ආයතන නියෝජිතයන් ගණනාවකට අපේක්ෂකත්වය අහිමි වීම සුවිශේෂී කරුණක් බවද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයට අදාළව එජාපයේ මතය ගමට ගෙන යෑමේ කටයුතුද ජාතික යොවුන් පෙරමුණ, එජාප සන්නිවේදන බළකාය ඒකාබද්ධව මේ වනවිට අරඹා ඇති අතර අග්‍රාමාත්‍යවරයා සිය විදේශ සංචාරය නිමවා පැමිණි පසු දිස්ත්‍රික් මට්ටමේ ප්‍රචාරක රැලිවලින් එජාප ප්‍රචාරක කටයුතු අරඹන බවද හෙතෙම සඳහන් කරයි. එහි ආරම්භක රැලිය මේ මස තෙවැනි සතියේදී රත්නපුරයේදී පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්