මල් හතක් මැද ඉන්න බඹරාට ජනප්‍රිය සම්මානය

  👤  1526 readers have read this article !
Published by : MB WEB 2017-10-04 16:15:03

තුන්වැනි වතාවටත් ජනප්‍රිය නළු කිරුළ ලැබුණු නිසා කාවිංග සතුටෙන් ඇත්තේ?

ඇත්තටම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය මට ලැබෙන්නේ තුන්වැනි වතාවට. මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේදීත් මට ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම මම තාමත් සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. මම සම්මාන උළෙලේ සංවිධායකවරයෙක්ගෙනුත් ඇහුවා ඇත්තටම ඒ ලියුම් කවරයේ තිබ්බේ මගේ නමද කියලා.

ඒ කියන්නේ කාවිංගගේ ජනප්‍රියත්වය ගැන විශ්වාසයක් නැද්ද?

අවිශ්වාසයක් නෙමෙයි. ඇත්තටම මම ඒ ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ නැහැ. බලාපොරොත්තු නොවී ඒ සම්මානය මට ලැබුණම මට ඒක සර්ප්‍රයිස් එකක්. මට ආදරය කරපු හැම කෙනෙක්ටම මම ස්තූති කරනවා. ඔවුන් එවපු කූපන්, ඉර්ඉ නිසා තමයි අද මට ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබුණේ.

රසිකයෝ විතරක් නෙමෙයිනේ තමන්ටත්ඕ නේ නම් ඉර්ඉ, කූපන් යවාගෙන ජනප්‍රිය සම්මාන ගන්න පුළුවන්ලුනේ. කාවිංග ඒ වෙනුවෙන් මහන්සි වුණේම නැද්ද?

මම ඒ විදියේ දේවල් කරලා සම්මාන ගන්න නම් කොහෙත්ම මහන්සි වුණේ නැහැ. එහෙම සම්මාන ගන්නවට වඩා මම මේ දවස්වල කරන මල් හතයි ඩ්‍රාමා එකේ චරිත හත ගොඩනඟන්න මහන්සි වුණා.

ඒ කියන්නේ ජනප්‍රිය නළු සම්මානයට කාවිංග උනන්දු වුණේම නෑ කියන එකද?

මම ඒ සම්මානය ගන්න පොරකෑවේ නැහැ. මට මුහුණුපොතක් නැති නිසා ඒකෙන් මම මනාප ගන්න මහන්සි වුණෙත් නැහැ. හැබැයි මම හැමදාම මගේ ප්‍රේක්ෂකයන් එක්ක ජීවත් වුණා. මගේ රංගනයන් ගොඩනඟාගත්තා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ සම්මානය.

කාවිංගට සම්මානයක් ලැබෙද්දී සමහරු මුහුණු පොතේ විවේචන පළ කළා. කාවිංග සම්මාන උළෙලවල් විවේචනය කරන පුද්ගලයෙක් කියලත් මත පළවුණා.
ඒ ගැන මොකද හිතෙන්නේ?

මම කවදාවත් සම්මාන උළෙල විවේචනය කරලා නැහැ. මට සම්මාන ලැබුණත් නොලැබුණත් මම සම්මාන උළෙල විවේචනය කරන්නෙත් නැහැ. මට සම්මානයක් නොලැබුණත් උළෙලවලට යනවා. මොකද සම්මාන ගන්න සහෝදර, සහෝදරියන්ට අත් පුඩියක් ගහන්න. මුහුණු පොතේ සමහර නූගත් පිරිස් පොරවල් වෙලා ඉන්නවා. බුද්ධිමතුන් දන්නවා මම සම්මාන උළෙල විවේචනය කරන්නේ නෑ කියලා. මම කොහොමත් වෙන කාවවත් විවේචනය කරන්නේ නැහැ. මම මෝඩයෙක් කියලා දන්න නිසා මම මාවයි විවේචනය කරන්නේ.

කාවිංගට විවේචන දරාගන්න බැරිද?

මට විවේචන දරාගන්න පුළුවන්. මගේම අම්මා, අප්පච්චි, ගුරුවරු, මං වටා ඉන්න අය මං ගැන දන්නවා. මට ඒ ඇති. නොදන්න අය මොනවා කිව්වත් මම ගණන් ගන්නේ නැහැ.
ජනප්‍රිය සම්මානය කාවිංගට නොලැබුණා

නම් ඒ සම්මානය කාට හිමි විය යුතුයිද කියලා කාවිංගට කියන්න පුළුවන්ද?

ජනප්‍රිය ලේඛනයේ හිටපු සියලු දෙනාම ජනප්‍රියයි. පරිණත ශිල්පීන් වගේම නවකයොත් එතැන හිටියා. නවකයොත් ඒ ජනප්‍රිය ගොඩේ හිඳීම සතුටක්. මොකද අපිට පස්සේ ඔවුන් මේක භාර ගන්න ඕන. කවුරු එක එක මත දැරුවත් මේ ජනප්‍රිය ගොන්න අතරින් මට සම්මානය ලැබීම පුදුමයක්.

කාවිංගගේ ජයග්‍රහණය හැමෝම සමසිතින් දරාගන්නවා කියලා හිතනවද?

මට කාගෙවත් හිත් කියවන්න බෑ. හැබැයි මම ක්ෂේත්‍රයේ හැමෝටම ආදරෙයි. ක්ෂේත්‍රයේ කා එක්කවත් මට තරහක් නෑ. ඔවුන් මට ඊර්ෂ්‍යා කරයි කියලා මම හිතන්නේ නෑ.

ජනප්‍රිය සම්මාන ගත්ත කාවිංගහොඳම නළු සම්මානය දුර වැඩිද?

හැමදේටම වෙලාවක් තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට ආවේ 2008දී. එච්. ඒ. පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා වැනි ගුරුවරුන්ගෙන් රංගනය ඉගෙන ගෙන මම මේ ගමන ආවේ. මගේ ගුරුවරු මට කිව්ව දෙයක් තමයි සම්මාන පස්සේ හඹා යන්න එපා. කරන දේ හරියට කරන්න කියන එක. මම ඒ ගමන ගියා. මට මුලින්ම සම්මානයක් ලැබුණේ 2015දී. ඉතිං ඕනම දෙයක් ලැබෙන්න වෙලාවක් තියෙනවා. ඒ දේවල් ඒ විදියට ලැබෙයි.

මේ දවස්වල මල් හතක් මැද්දේ කාවිංග එක බඹරෙක් වෙලා නේද?

ඇත්තටම 'මල් හතයි' කියන්නේ මට මෑත කාලයේ ලැබුණ හොඳ පිටපතක්. මට මේ නාට්‍යයේ චරිත හතක් නිරූපණය කරන්න තියෙනවා. ඒක ලොකු කාර්යභාරයක්.

එක නාට්‍යයක් තුළ චරිත හතක් සාර්ථකව නිරූපණය කරන්න පුළුවන් වෙයිද කියලා දෙගිඩියාවක් තිබ්බෙම නැද්ද?

නැහැ. මම දෙයක් කරද්දී ඒ කරන දේ අධ්‍යයනය කරනවා. මම අධ්‍යයනයකින් තමයි කරන දේ කරන්නේ. කෙල්ලෝ හතක් මැද්දේ එකම කොල්ලා වීම තමයි මට තිබ්බ එකම දෙගිඩියාව. මම හරිම කැමැත්තෙන් මේ නිර්මාණය භාර ගත්තේ.

මේ වෙනසට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා ඇති?

ඔව්. මේ ළඟදි දවසක පාරේ යද්දි පොඩි මල්ලි කෙනෙක් 'මල්සරා' කියලා මට කෑගැහුවා. ඇත්තටම චරිතය වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන හදවතින් සතුටු වෙනවා.

කාවිංග වැඩ අඩුවෙන් කරන්නේ දැන් වැඩ අඩු නිසාද?

මට වැඩ අඩු නැහැ. මම එක කාලේ කරන්නේ උපරිම වැඩ එකක් හෝ දෙකක්. මොකද මම මගේ නිදහස ගැනත් හිතනවා. එහෙම හිතලා හොඳ වැඩක් ලැබුණොත් සම්බන්ධ වෙනවා. මම 'මන්දාරම් වැහි' කියලා අලුත් නාට්‍යයකත් පළමු අදියරේ රූගත කිරීම් ඉවර කළා.

දැන් ජීවිතේ විශේෂ කෙනෙකුත් ඉන්නවනේ. කවදද එකලාසයක් වෙන්නේ?

මම නංගිගේ කටයුතු ගැනත් බලන්න ඕන. ඒ කටයුත්ත ගැනත් බලලා මගේ කටයුත්තත් ඉක්මනින්ම සිද්ධ කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්