ලංකාව යළි ජය මඟට

  👤  1349 readers have read this article !
Published by : MB WEB 2017-10-03 13:24:41

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ අබුඩාබිහිදී පැවැති පළමු තරගයෙන් ලකුණු 21ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් දිගින් දිගටම පරාජය රාමුවේ සිටි
ශ්‍රී ලංකා කණ්ඩායම යළි නැගිට සිටි අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණතම පන්දු යවන්නා වන රංගන හේරත්ගේ විශිෂ්ට පන්දුයැවීම ජයග්‍රහණයට වඩාත් ඉවහල් විය.

පළමු ඉනිමේ ලකුණු අනුව ලකුණු 3ක් පසුපසින් සිට දෙවැනි ඉනිම අරඹා ලකුණු 69කට කඩුලු 4ක් සේ අසීරු අඩියක සිට ඊයේ ලකුණු රැස්කළ චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 138ක් වෙද්දී දවාගන්නට කඩුලු 5ක් දවාගත් යසීර් ෂා ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් විය. එහිදී නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 40ක් ලබාගනිමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ඉහළම ලකුණුලාභියා වූ අතර, දෙවැනි ඉනිමේ ලකුණු 136ක ජයග්‍රාහී ඉලක්ය හඹා ගිය පාකිස්තානුවන්ව ලකුණු 114කට වඩා ලබාගැනීමට රංගන, දිල්රුවන් හා ලක්මාල් ඉඩ දුන්නේ නැත.

තම 85 වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් දෙවැනි ඉනිමේ පන්දුවාර 21යි පන්දු 4ක් යැවූ රංගන හේරත් ලකුණු 43කට කඩුලු 6ක් දවා ගන්නා විට ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් ලබාගත් 9 වැනි අවස්ථාව සටහන් වූ අතර, එපමණක්ද නොව ඔහුගේ ටෙස්ට් දිවියේ 400 වැනි කඩුල්ලද සනිටුහන් කළේය. රංගනගේ 400 වැනි ටෙස්ට් ගොදුර බවට පාකිස්තාන පිලේ මොහොමඩ් අබ්බාස් පත්වූ අතර, ඉනිමේ 47 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුව යැවූ දිල්රුවන් පෙරේරාට ඔවුන්ගේ අවසන් කඩුල්ල ලෙස යසීර් ෂා දවාගැනීමට තිබූ අවස්ථාව අහිමිවූයේ නිපන්දුවක් යැවූ බවට තෙවැනි විනිසුරු පසුව තීරණය කළ නිසාය. ඒ අනුව 48 වැනි පන්දු වාරය යැවූ රංගනගේ 4 වැනි පන්දුවෙන් කලක සිට ජයග්‍රහණ ඉඩෝරයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකාව ඉන් මුදා ගත්තේ වසරකට පමණ පසුව විදෙස් රටකදී ලැබූ ටෙස්ට් ජයග්‍රහණයක්ද වාර්තා කරමිනි.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව 16 වැනි ටෙස්ට් තරග ජය සටහන් වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී
ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් ජය වාර්තා කරද්දී (අබුඩාබි ක්‍රීඩාංගණයේ පළමු ජය) අබුඩාබි ක්‍රීඩාංගණයේදී මෙතෙක් අපරාජිතව සිටි පාකිස්තානය එහි පළමු පරාජය වැලඳ ගත්තේ දෙවැනි ඉනිමේදී ලකුණු 114කට දැවී ගිය නිසාය. 400 වැනි ටෙස්ට් කඩුල්ලද දවා ගත් රංගන ලොව ටෙස්ට් ඉතිහාසයේ එවන් දස්කමක් කළ පළමු වමත් දඟ පන්දු යවන්නා ලෙස වාර්තාවන අතර ඊයේ අවසන් කඩුල්ල දවාගන්නා විට පාකිස්තානයට එරෙහිව රංගනගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 101ක් වශයෙන්ද සටහන් විය. එ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් යළිත් වරක් දිස් වූ දුර්වල පිතිහරඹයේ අඩුපාඩුව මකාලන්නට දෙවැනි ඉනිමේදී ලකුණු 46ට කඩුලු 3ක් ලබාගනිමින් දිල්රුවන් පෙරේරාද ලකුණු 12ට එක් කඩුල්ලක් දවාගනිමින් සුරංග ලක්මාල්ද රංගනගේ රංගනයට දායක විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම _ 419
(දිනේෂ් චන්දිමාල් නොදැවී 155, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83)

පාකිස්තානය පළමු ඉනිම _ 422
(අසාර් අලී 85, හැරිස් සොහේල් 76,
ෂාන් මෂූඩ් 59, සාමි අස්ලාම් 51,
රංගන හේරත් 5/93)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්