අපේක්ෂාවන් නිවා දසුන් යන්න ගියා

  👤  4852 readers have read this article !
Published by : MB WEB 2017-10-02 16:27:26

ඔහුට මා මුලින්ම දුරකතන ඇමතුමක් දුන්නේ මීට අවුරුදු කිහිපයකට උඩදීය. ඒ අපේක්ෂා ටෙලි නිර්මාණයෙන් හා හා පුරා කියා පුංචි තිරයට එකතු වුණ හැඩකාර කොල්ලාට හදගැස්මේ ඉඩක් වෙන් කරන්න හිතාගෙනය. මීට කලින් හැඳුනුම්කමක් තිබුණා හා සමානවම මා සමඟ කුලුපගව කතා කළ ඒ හැඩකාර හිතවතා වෙන කවුරුත් නොව දසුන් නිශාන්ය.

දුරකතන සම්මුඛ සාකච්ඡාව කළද ඔහුව දැක පුරුදු හිතමිතුරකු තරම් ළෙන්ගතු වුණේ ඔහු කතා කළ වාග් විලාසය නිසා යැයි මට හැඟේ. පුංචි තිරයෙන් දැක පුරුදු ඒ රුව මට හැබැහින් දකින්නට හැකිවුණේ පුවත්පතේ ලිපියක් සකස් කිරීමට ටෙලි නාට්‍ය රූගත කිරීමක් සිදුවූ ස්ථානයකට ගොස් සිටියදීය. 

ඔහුගේ රුව මා හඳුනාගෙන හිටියත් ඔහු මගේ රුව කෙදිනකවත් දැක තිබුණේ නැත. ඔහු දැන සිටියේ මගේ හඬ පමණි. නමුත් ඔහු මා සිටි තැනට ආවේ මා දැන හැඳිනගත් සේයාවෙනි. සැබැවින්ම ඔහු මා හඳුනා ගත්තේ මාත් පුදුමයට පත් කරමිනි.

ටෙලි නාට්‍යයක, දෙකක රඟපෑ විට තමන් ලංකාවේ සිටින හොඳම රංගන ශිල්පියා ලෙස උදම් අනන චරිත අතර දසුන් නම්වූ ඒ හැඩකාර දක්ෂයා සැබැවින්ම නිහතමානිකම පුරවාගත්තකු විය. ඔහුගේ සිනහව ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් දිදුලන සිනහවක් නොවීය. ඔහුට තිබුණේ නිර්ව්‍යාජ සිනහවකි. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අතර ආදරණීය චරිතයක් වීමට ඔහුගේ සෙනෙහබර ළෙන්ගතුකම් සේම ඔහුගේ නිර්ව්‍යාජ සිනහව බලපෑ බව නොඅනුමානය. ඔහුව මතක බෙහෝ අයට ඔහුගේ සිනහබර මුහුණ අමතක නොවන තරම් ඔහුගේ සිනහව කාටත් ළෙන්ගතුය.

දසුන් ක්ෂේත්‍රයට එකතු වුණේ නිරූපණ ශිල්පියකු ලෙසිනි. නිරූපණ ශිල්පියකු වූ ඔහු රංගන ශිල්පියකු බවට පත් වන්නේ අපේක්ෂා ටෙලි නිර්මාණයෙනි. එහි ප්‍රධාන නළු භූමිකාවට පණ පොවමින් රංගනයට බර අඩියක් ඔහු තැබුවේය. ඔහුගේ රංගන හැකියාව නිසා ඔහුට රංගනයේ තව තවත් ‍ෙදාරගුළු විවෘත විය. රතු පිච්ච, පැහැසරා වැනි ටෙලි නිර්මාණවලින්ද දසුන් අපට ළෙන්ගතු විය. මා ඔහු සමඟ කතා කරන සෑම විටම තමන්ට ලැබුණු අවස්ථා නිහතමානී සතුටකින් භුක්ති විඳින බව ඔහු හෙළි කළේ නිර්ව්‍යාජ සිනහවක් පාමිනි.

මා ඔහු සමඟ අවසාන වරට කතා කළේ පසුගිය මාර්තු මාසයේය. ඒ වන විට ඔහු "කවුරුන්ද නුඹ මගේ" ටෙලි නිර්මාණයේ මුතූට පෙම් කරමින් සිටියේය. සැබෑ ජීවිතයේ හිත ගිය කෙනා හිත දනී යැයි ඔහු පැවැසුවේ රටට ලෝකයට ඔහුගේ පෞද්ගලිකත්වය ඒ මොහොතේ විවර කිරීම නුසුදුසු යැයි සිතුණු නිසාවෙනි.

ඔහු මහා හීන ගොන්නක් මැද ජීවත් වූවෙක් නොවුණත් ඔහුට රංගනයේ හීනයක් තිබුණේය. ඒ සිනමාවට පය තියන්නටය. වේදිකාවෙන්, පුංචි තිරයෙන් එහා ගොස් සිනමා නළුවෙක් ලෙස නම තියන්නට ඔහුට අසීමිත ආසාවක් තිබිණි. ඒ ආසාව මල්පල දරා තිබුණේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ "දේදුනු ආකාසේ" චිත්‍රපටයට සම්බන්ධ වීමට ලැබීමෙනි. සිනමාවේ හො¼ද තැනක් කවදා හෝ හදා ගන්නා බව ඔහු කීවේ ස්ථීර අරමුණිනි.

ඒ අරමුණු සියල්ල අතර මඟ නතර කර ඔහු හීන මාවතෙන් වගේම ජීවිතයෙන් සමුගෙන ගිය පුවත ඇසෙද්දී මා වගේම ක්ෂේත්‍රයේ කොයි කවුරුත් ඒ පුවත එකවර විශ්වාස කළේ නැත. එසේ විශ්වාස නොකළේ ඔහුට තිබුණේ අතරමඟ නතර කර යා හැකි ජීවිතයක් නොවූ නිසාවෙනි. නමුත් ඔහු තමන්ගේ ජීවිතය අතරමඟ නතර කරන්නට ඉක්මන් තීරණයක් ගෙන තිබිණි.

මවත්, ඔහුගේ එකම සහෝදරයාත් ඒ වන විට ඔහුගේ ලෝකයේ හිමිකාරියක් වී සිටි තැනැත්තියත් ඔහුට ආදරය කළ සුවහසක් දෙනාත් ඔහුගේ නික්ම යෑම හීනයක් යැයි සිතන්නට කැමැති වන බව නොඅනුමානය. නමුත් ඔහු සැබෑවටම අප අතහැර ගොසිනි.

ඔහු ජීවිතයෙන් නික්ම යෑමට ගත් හදිසි තීරණය කුමක් නිසා ගත්තා දැයි අපිට විනිශ්චයක් දීමට නොහැකිය. ඔහුට ඒ තීරණය ගන්නට හේතුවක් තිබෙන්නට ඇත. නමුත් ඔහුගේ ජීවිතය ගැන විනිශ්චයක් දීමට අපි ඔහුගේ ජීවිතයේ සෑම පිටුවක්ම කියවා නැත. ඒ නිසා ඔහුගේ ජීවිතය ගැන විනිශ්චයන් දීමට අපි උත්සාහ නොකරන්නෙමු. නමුත් කියන්නට යමක් නම් ඇත. දසුන් ඔබ යන්න ඉක්මන් වුණා වැඩිය. දිදුලන ඔබ නිවෙන්නට සිතුවේ කිමැයි අපි නොදනිමු. ඔබ ඔබට ඕනෑ ගමන ගියේය. ඔබට ආදරය කරන සියල්ලන්ට ඔබ දුන් කඳුළ බර වැඩිය. කිසිදු භවයක මෙවන් අකල් වියෝවක් ඔබට නොවේවායි පතමු.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්