DNA සැත්කමකින් කලලයක රෝග සුව කිරීම

  👤  1380 readers have read this article !
Published by : MB WEB 2017-09-29 14:02:11

ලොව ප්‍රථම වරට මිනිස් කලලයක් සඳහා සිදු කරන ලද "රසායනික සැත්කමකින්" ඉතා සාර්ථකව රෝගයක් සුව කරන ලද බව චීන විද්‍යාඥයන් කණ්ඩායමක් බීබීසී යට පැවසූහ.

'Base editing' නම් තාක්ෂණය යොදා ගෙන මිනිස් DNA අණුවල "අකුරු" බිලියන තුනක තිබෙන එක් වැරැද්දක් නිවැරදි කිරීමට තමන්ට හැකි වූ බව ද චීනයේ ගුවන්ෂු (Guangzhou) පළාතේ සුන් යැට් සෙන් (Sun Yat-sen) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.

විද්‍යාගාරයේ නිර්මාණය කරන ලද කලලයක 'බීටා තැලසීමියා' රෝගය සුව කිරීම පිණිස එම ක්‍රමය මගින් කලලයේ DNA අණුව වෙනස් කර තිබේ. රෝගය සුව කරන ලද නමුත් එම කලලය ගර්භාෂයක තැන්පත් කර නැත.

සිය සොයා ගැනීම, අනාගතයේ කිසියම් දිනෙක ප්‍රවේනිගත රෝග සුව කිරීමට ඉවහල් වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු පළ කරති.

'Base editing' තාක්ෂණය මගින් සිදු කරනු ලබන්නේ DNA අණුවල මූලික සැකසුම වෙනස් කිරීමය.

ජීවිත හානි සිදු විය හැකි 'බීටා තැලසීමියා' රෝගය හටගන්නේ DNA අණුවල ජාන සැකසුම් හතරෙන් එකක පදනම වෙනස්වීම මගිනි.

සිය 'රසායනික සැත්කම' මගින් චීන පර්යේෂකයෝ එම වෙනස්වීම නිවැරදි කළහ.

හටගෙන තිබෙන ජාන විකෘතිය හඳුනාගැනීම පිණිස ස්කෑනරයක් මගින් DNA අණුවල සංයුතිය විමසා බැලූ ඔවුහු, එම විකෘතිය නිවැරදි කළේ 'Base editing' තාක්ෂණය යොදා ගනිමිනි.

'Base editing' ක්‍රමය යොදා ගෙන මිනිස් කලලවල ජාන විකෘති නිවැරදි කිරීමේ හැකියාව "මුලින්ම පෙන්වා දුන්නේ අපි" බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ජුන්ජි හුවාන් (Junjiu Huang) පැවසීය.

'බීටා තැලසීමියා' රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මෙන්ම එම රෝගය සහිත දරුවන් බිහිවීම වැළැක්වීමට ද සිය පර්යේෂණය මගින් මග හෙළි කෙරෙන බව පවසන ඔහු, එපමණක් නොව වෙනත් ප්‍රවේනිගත රෝගවලට ප්‍රතිකාර කිරීම පිණිසත් එමගින් මග විවර කරනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

සිය පර්යේෂණය සඳහා ඔවුහු 'බීටා තැලසීමියා' රෝගියෙකුගේ රුධිරාණු සහ ක්ලෝන ක්‍රමය මගින් නිර්මාණය කරන ලද කලල යොදා ගත්හ.

'Base editing' ක්‍රමයේ පුරෝගාමියා වන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ලිවූ (David Liu) එය හඳුන්වන්නේ 'රසායනික සැත්කමක්' ලෙසිනි.

මෙයට පෙර පැවති ක්‍රමවේදයන්ට වඩා එමගින් ඇතිවන අනවශ්‍ය අතුරු ප්‍රතිඵල ඉතා අඩු බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

Protein and Cellසඟරාවේ පළකරන ලද මෙම නවතම සොයා ගැනීම, මිනිස් DNA අණුවල ජාන සැකසුම වෙනස් කිරීමට විද්‍යාඥයන් සතු හැකියාව ප්‍රදර්ශනය කරන්නකි.

කෙසේ නමුත් ලෙඩ රෝග වැළැක්වීම පිණිස කළ යුත්තේ කුමක්ද සහ නොකළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඒ සමගම සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතුවෙමින් පවතී.

(බීබීසී පුවත් සේවය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්