හැංගි හැංගි වෙස් බඳින්න වුවමනා නැහැ

  👤  2686 readers have read this article !
Published by : MB WEB 2017-09-28 16:16:28

මේ දවස්වල වෙනස් වෙනස් වැඩ කිහිපයකින් ඉසුරු පේන්න ඉන්නවනේ..?

ඔව්. මේ දවස්වල අලුත්ම ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. ඒ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කරන, මහේෂ් සත්සර රචනා කරන "පිනි" ටෙලිනාට්‍ය. ඒකේ මම නිරූපණය කරන්නේ "සම්පතා" කියලා සුවිශේෂ චරිතයක්. පැහැසරා ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ "දිල්මින්" කියන කුම්මැහි කුමාරයෙක්ගේ චරිතය. ඒ වගේ වෙනස් වෙනස් චරිත කිහිපයක් නිරූපණය කරන්න මට ලැබුණා.

ඔය චරිත ඉසුරුගේ සැබෑ ජීවිතයටත් සම්බන්ධයක් තියෙනවාද..?

මගේ ජීවිතයට මේ චරිත දෙකේම සම්බන්ධතාවක් නෑ. "සම්පතා" කියන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු චරිතයක්. දිල්මින් කියන්නේ කුම්මැහි පෙරේතයෙක්. මම ඔය චරිත දෙකටම සම්බන්ධ නැහැ. හැමදේම අතහැරෙනවා කියලා තේරුම් අරගෙන මැදුම් පිළිවෙතේ ඉන්න උත්සාහ කරන කෙනෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටි කියන්නේ.
ඉසුරු කියන්නේ ඔය කියන විදිහටම කරන,

කරන දේ කියන පුද්ගලයෙක්ද..?

මම කියන දේ කරන්න උත්සාහ කරන, කරන දේ කියන්න උත්සාහ කරන කෙනෙක්. මම හොඳ මිනිහෙක් වෙන්න උත්සාහ කරනවා. මට තාම පන්සිල් පද පහම රැකගන්න බෑ. හැබැයි මම පන්සිල් පද පහවත් ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා.

පිනි ටෙලියේ "සම්පතා" කියන්නේ ඔබව මේ දිනවල ජනප්‍රිය තැනක තිබ්බ චරිතයක්නේ. ඒ ගැනත් කතා කරමු..?

පිනි ටෙලි නාට්‍ය විකාශනය වෙන්න අරගෙන තාම ටික දවසයි. මේ කාලය ඇතුළතත් සම්පතාගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මත්කුඩුවලට ඇබ්බැහි වුණු කෙනෙක් ඔහු. ඔහුගේ නංගිගේ චරිතය රඟපාන්නේ උදාරි. ඇයත් ඩ්‍රග්ස් ඩීල් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ චරිත නිරූපණයට ප්‍රේක්ෂකයෝ ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා.

වෙනස් චරිතයක් නිසා චරිත අධ්‍යයනයක යෙදෙන්න ඇති..?

අනිවාර්යයෙන්ම. මේ චරිතයට මට කතා කරපු වෙලාවේ ශාන්ත මහත්මයයි මහේෂ් මහත්මයයි මට කිව්ව දෙයක් තමයි සම්පතාගේ චරිතය සමාජයට එපා වෙන චරිතයක් වෙන්න බෑ කියන එක. මේ චරිතය කරන්න කලින් මම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු චරිත ආශ්‍රය කළා. ඔවුන්ගේ චරිත මම වැරැදි තැනකින් ඇල්ලුවොත් ඒක ගොන්පාට් එකක් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ වචන භාවිතය, ඔවුන්ගේ හැසිරීම අධ්‍යයනය කරලා මම සම්පතාව නිරූපණය කළා.

ඉසුරු කියන්නේ චරිතයට උපරිම කැපවෙන කෙනෙක් වගේ..?

ඔව්. මම මට ලැබෙන චරිතයට උපරිම කැප වෙනවා. හරිම අමාරුවෙන් මම මේ තැනට ආවේ. ඉසුරු ලොකුහෙට්ටිව ගොඩදාන්න කවුරුවත් නෑ. මමමයි මාව ගොඩදාගන්න ඕන. නළුවෙක් විදිහට ස්ථාවරයක් හදාගන්න අමාරුයි. අධ්‍යයනයකින්, කැපවීමකින් මේ ගමන හදාගන්න මම උත්සාහ කරනවා.

ඉසුරු කියන්නේ ලැබෙන ඕනම චරිතයකට අනුගත වෙන්න පුළුවන් කෙනෙක්ද..?

මම මට ලැබෙන චරිතවලට කොටු බැමි දාගෙන නැහැ. හැබැයි මම එක වගේ චරිත කරන්නේ නැහැ. මට ගොඩක් විලන් චරිතවලට කතා කරන්නේ. ඒත් මම එක වගේම චරිත කරන්න කැමැති නැහැ. සම්පතා, දිල්මින් වගේ චරිත වෙනස් චරිත. මට වෙනස් චරිත ලබා දුන්න අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට මම ස්තුති කරනවා. ගැමුණු මහරජ නාට්‍යයේ නන්දිමිත්‍ර, පැහැසරා නාට්‍යයේ දිල්මින්, පිනි නාට්‍යයේ සම්පතා, ළඟදී විකාශනය වෙන කොන්කළ දෝණි ටෙලි නාට්‍යයේ පෙම්වතාගේ චරිතය වගේ වෙනස් චරිත මට ලැබුණා. මම හිතනවා මේ වගේ වෙනස් චරිත කරපු එකම නළුවා මම කියලා.

නිර්මාණ කිහිපයක එකම කාලේ පේන්න ඉද්දී අගය අඩු වෙනවා කියලා සමහරු කියනවා. නිර්මාණ කිහිපයකම එකම කාලේ පේන්න ඉද්දී ප්‍රේක්ෂකයන්ට ඉසුරුව
එපාවෙයි කියලා හිතෙන්නේ නැද්ද..?

එහෙම පෙනිලා පෙනිලා එපා වෙන නළුවෝ ඉන්නවා. ඒ එයාලා ඒකාකාරී චරිත කරපු නිසා. නළුවෙක් කියන කෙනා පේන්න ඉන්න ඕන. හැංගිලා ඉඳලා වැඩක් නැහැ. මම එක වගේ චරිතවල පේන්න නැති නිසා මාව ප්‍රේක්ෂකයන්ට එපා වෙයි කියලා බයක් නැහැ. තමන් දැන ගන්න ඕන ප්‍රේක්ෂකයන්ට එපා නොවෙන විදිහට විවිධ චරිත කරන්න. විජය කුමාරතුංග, ගාමිණි ෆොන්සේකා ඒ කාලේ වැඩිපුර පේන්න හිටියට ප්‍රේක්ෂකයන්ට ඔවුන්ව එපා වුණේ නෑ.

එතකොට ඉසුරුත් ප්‍රේක්ෂකයන්ට එපා වෙන එකක් නෑ කියලද කියන්නේ...?

ඔව්. ප්‍රේක්ෂකයන්ට මාව එපා නොවෙන්න මම වගබලා ගන්නවා.

ඉදිරියේදී ඉසුරුව සිනමාවෙනුත් වැඩිපුර දකින්න ලැබෙයි නේද..?

මගේ පළමුවෙනි චිත්‍රපටය රන්සයුර. ඒක තිරගත වුණා. මම පුරුදු දුෂ්ටයාගෙන් එළියට ආවේ. මා, සිනමා, කිඩ්නැප්, නිදහසේ පියා කියන චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. තව චිත්‍රපට දෙකක වැඩ මේ අවුරුද්දේ පටන් ගන්නත් තියෙනවා.

මොකක්ද මේ ඉසුරුගේ ෆේස්බුක් සෙල්ලම..?

ඇත්තටම ඒක මටත් ප්‍රශ්නයක්. මගේ ෆේස්බුක් ගිණුම කවුද හැක් කරලා. ශාරුක් වගේ සල්මන් වගේ වෙන්න හදන අය ඉන්නවනේ. ඉතිං මේ ඉසුරු ලොකුහෙට්ටි වගේ වෙන්න හදන්නේ කවුද කියලා මටත් ප්‍රශ්නයක්. මගේ ෆේස්බුක් ගිණුම දැන් මට අරින්න බෑ. ඒ නමින් වෙන ෆේස්බුක් ගිණුමක් හදලා මගේ ෆොටෝස් දාලා එක එක පෝස්ට් හදලා දාලා. ඉතිං මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඕන ඒ ඉන්නේ මම නෙවෙයි කියලා.

එතකොට තරින්දිත් එක්ක ඉසුරුගේ තියෙන විශේෂ ඇයි හොඳයිය මොකක්ද..?

තරින්දියි මමයි පැහැසරා නාට්‍යයේ රඟපානවනේ. අපි පැහැසරා ෆේස්බුක් පේජ් එකට දාන්න ෆොටෝස් ගන්නවා. ඒ පේජ් එකෙන් ගත්ත ෆොටෝස් අරගෙන තමයි මගේ නමින් ෆේස්බුක් අකවුන්ට් එකක් හදලා ඒකට ඒ ෆොටෝ දාලා තියෙන්නේ. ථර තධමඥ , මගේ පණ කියලා අපි දෙන්නගේ ෆොටෝ ෂෙයාර් කරනවා. මට ඔය විදියට පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කරන්න මොළේ අමාරුවක් නෑ. කවුරු හරි මානසික ලෙඩක් තියෙන පුද්ගලයෙක් තමයි ඔය වැඩේ කරන්නේ.

ඇත්තටම තරින්දි එක්ක ඉසුරුගේ සම්බන්ධයක් නැද්ද..?

තරින්දි මගේ සහෝදරියක් වගේ. එහෙම සම්බන්ධයක් තියෙනවා නම් හැංගි හොරා වෙස් බඳින්න ඕන වෙන්නේ නැහැ. තරින්දිත් මේ නිසා අපහසුතාවට ලක්වෙලා තියෙනවා. හැබැයි එයාලගේ පවුලේ අයත් මේ දේවල් තේරුම් ගන්න නිසා ප්‍රශ්නයක් නෑ.

වෙන කෙනෙක් ඉසුරු නමින් පෙනී සිටීම ප්‍රශ්නයක් නෙවෙයිද..?

මං වගේ පෙනී සිටින කෙනා මගේ යාළුවන්ට පරුෂ වචනයෙන් චැට් කරලා තිබුණා. මගේ යාළුවෝ ඒ චැට් ස්ක්‍රීන් ෂොට් ගහලා මට වයිබර් කළා. ඒ කරන වැඩ නිසා මම අනිත් අය අතරේ පිරිහෙනවා. ඒකයි ප්‍රශ්නය.

ඒ තත්ත්වය වළක්වන්න පියවරක් ගත්තේ නැද්ද..?

මම ඒ ගැන රිපෝට් කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.

දැන් ඉසුරුගේ ජීවිතේ විශේෂ කෙනෙකුත් ඇති නේද..?

මගේ ජීවිතේ අද වෙනකල් විශේෂ අය ඉඳලා තියෙනවා. හැබැයි කාලයක් යද්දී ඒ විශේෂ අය අතිවිශේෂ වෙනවා. එතකොට අමාරුයි. මම ජීවිතේ ට්‍රේලර් කිහිපයක් එල්ලගෙන ගියා. හැබැයි මම වමට කපද්දී ට්‍රේලරය දකුණට හැරෙන්නේ. ඉතිං මම හිතුවා ට්‍රේලරයක් නැතුව තනියම යන ගමන පහසුයි කියලා.

ඔය නොකියා කියන්නේ ඉසුරුට අවංක ආදරයක් හම්බවුණේ නෑ කියන එකද..?

නෑ... අවංක ආදරේ හම්බුණා. හැබැයි ආදරේ වැඩි වෙද්දී සමහරුන්ට හිතට ඊර්ෂ්‍යාවක් එන්න පුළුවන්. සමහර පෙම්වතියෝ කැමැති නෑ තමන්ගේ පෙම්වතාට යෙහෙළියෝ ඉන්නවට. ආදරේ වැඩි වෙද්දී පෙරේතකම වැඩිවෙනවා. හැබැයි සැබෑ ආදරේදී ඕන දෙයක් අතහරින්න පුළුවන් වෙන්න ඕන.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්