කාලවර්ණ පින්කඳ ගීයකින් වැනූ ජනනාත්

  👤  1354 readers have read this article !
Published by : MB WEB 2017-09-24 10:33:25

මෑත කාලීන ගී පද රචනාවලට ප්‍රස්තුත වූයේ කාරණා කිහිපයක් යැයි බැලූ බැල්මට පෙනී යනු ඇත. ආදරය, විරහව ඉන් මුල් තැනක් ගනී. එහෙත් මෑත කාලීනව බිහිවූ ගීත සමුදායට නව අරුතක් එක්කරලන්නට හැකි ගීතයක් පසුගියදා එළි දැක්විණි. ඒ ගම්පහ රතු පස්වල හර්ෂ ධර්මවිජය වෙද මහතාගේ නිවසේදීය.

ගීතයට පාදක වී තිබුණේ ආශීර්වාද පැතීමකි. ඒ අන් කිසිවෙකුටත් නොවේ. මේ මහා දෙරණ මත ජීවමාන පුණ්‍යවන්තයකුටය. මනුස්ස ආත්මයක් නොලැබුවද, උසස්ම තැනක ඉපදුණු අයකුටය.

ඒ අන් කිසිවෙකුත් නොව වරප්‍රසාද ලත් කිහිප දෙනකු හැරෙන්නට අන් කිසිවකුට ජීවිතයේ කිසිම දිනකදී ස්පර්ශ කළ නොහැකි උතුම් දන්ත ධාතූන් වහන්සේ පුරා පැය පහකටත් අධික කාලයක් සිය පිට මත රඳවාලමින් භේරි නාද මධ්‍යයේ පාවඩ මතින් දෑලේ ඇතුන් පිරිවරා දස දහසකගේ වැඳුම් පිදුම්වලට ලක්වන නැඳුන්ගමුවේ හස්තිරාජයාණන්ටය.

ඉසුරු සමරසිංහගේ පන්හිදෙන් "කාල වර්ණ පින් කඳ" ලෙසින් රචනා කෙරුණු පදවැලට සංගීතය මුසුවනුයේ ගජගා වන්නමේ නාද රටාවන් ඇසුරිනි. සිය සංගීත රටාවලටම හඬ මුසු කරනුයේ විශාරද ජනනාත් වරකාගොඩය.

සංසාරයේ් භවයන් පුරාවට පෙරුමන් පුරමින් රැස්කොටගත් මහා පින් බලයෙන් තෛලෝක්‍යනායක සම්බුදු පියාණන්ගේ දන්ත ධාතූන් වහන්සේ පුරා එකොළොස් වසක් මුළුල්ලේම වීදි පුරාවට සෙත් මල් වස්සමින්, තම පිට මත හොවමින් තේජස් ගමනක යෙදෙන "නැඳුන්ගමුවේ රාජා" නම්වූ ඒ මහා සද්දන්තයාට චිරජීවනය ප්‍රාර්ථනා කරමින් මේ නාද රටා හඬ වාතලයට මුසු වූයේ කාල වර්ණයෙන් දිදුලන රන් දෙරණේ පිංකඳක් බඳුවූ ඒ හස්තිරාජයා පේනා තෙක් මානයේදීය.

නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතියට මහා වස්තුවකි. අභිමානවත් ඇත් පරපුරක ජීවමාන පුණ්‍යවන්ත සාක්ෂිය බවට පත්වෙමින් පුරා වසර හතළිහක් පුරාවට තම පවුලේ අයකු මෙන් ජීවත්වන හස්ති රාජයාගේ ගුණ ගයමින් නිර්මාණය වුණු ගීතය හර්ෂ ධර්මවිජය වෙද මහතාගේ පවුලේ පිරිස පිළිගත්තේ කෘතවේදී සොම්නසිනි.

ධාතූන් වහන්සේ රැගෙන යන, ඒ පින් බලයෙන්ම සසර පුරාවට නැඳුන්ගමුවේ ඇත් රජුට ආශීර්වාද කිරීමට තම හඬ මුසු කිරීම තමා ලද භාග්‍යයක් බව ජනනාත් වරකාගොඩ පවසනුයේ ජීවමාන සත්ත්වයකු වෙනුවෙන් පළමු ගීතය නිර්මාණය කිරීමේ නිරහංකාර ආඩම්බරයෙනි.

සවනි ශේශාධි
ඡායාරූප - කැළුම් චාමර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්