මාලිංගගේ චෝදනා ගැන සොයන්න ක්‍රීඩා ඇමැතිගෙන් විශේෂ කමිටුවක්

  👤  1709 readers have read this article !
Published by : MB WEB 2017-09-20 13:07:22

සිරිනාම රාජපක්ෂ

පසුබෑමකට ලක්වී ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමේ අරමුණෙන් පසුගියදා පැවැති ක්‍රිකට් වැඩමුළුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව කරන ලද චෝදනා සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර ඇතැයි "මව්බිම"ට වාර්තා වේ.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධව කටයුතු කරන දූෂණ මර්දන ඒකකයේ නිලධාරියා (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයා) මෙම විශේෂ පරීක්ෂණ කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කරනු ඇති බවද පැවැසේ. ලසිත් මාලිංග එම විශේෂ වැඩමුළුවේදී චෝදනා එල්ල කරමින් කියා සිටියේ පසුගියදා නිමාවූ ඉන්දියාවට එරෙහිව තරගාවලියට අදාළ තණතීරු සකස් කිරීමේදී සමහර අවස්ථාවලදී ජාතික කණ්ඩායමේ අවශ්‍යතාවට පටහැනිව යමින් ඒවා සකස් කළ බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට අවශ්‍ය තමන් සතුව ඇති යෝජනා හා චෝදනා ඉදිරිපත් කළ මාලිංග "අපි තණකොළ සහිත තණතීරුවක් ඉල්ලූ අවස්ථාවලදී අපිට දුන්නෙ තණකොළ අඩු තණතීරුවක්. එහෙම තණකොළ නැති තණතීරුවක් අපට දුන්නෙ ඇයි කියල ඇහැව්වාම ඒක සකස් කරන අය කියන්නේ වැරැදීමකින් තලය මාරුවෙලා භාවිත කිරීම නිසා එසේ සිදුවූ බවයි. මේ විදියට එක්වරක් නෙවෙයි දෙවරක් වුණා. එහෙත් ඒවාට අදාළ පුද්ගලයන්ට කිසිම ප්‍රශ්නයක් සිදුවුණේ නැහැ. මේ හේතුව නිසාම පැරැදුණා කියල මම කියන්නෙ නැහැ. එහෙත් අපට අවශ්‍ය විදියට කටයුතු සිදු නොකළාම ක්‍රීඩකයන්ගේ විශ්වසනීයත්වය නැතිවෙනවානේ" යනුවෙන් එහිදී පැවැසීය.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධක (High Porformance Manager) කළමනාකරු ලෙස කටයුතු කරන සයිමන් විල්ස්ගේ පත්වීමට එරෙහිවද කරුණු දැක්වීම ඇතුළු මතුවී ඇති ප්‍රශ්න පිළිබඳ දීර්ඝව අදහස් දැක්වීමක් මාලිංග විසින් එදින සිදුකරමින් දායක වුවද එම වැඩමුළුවට සහභාගි වූ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් වේලාසනින්ම එම ස්ථානයෙන් නික්ම ගොස් තිබූ බව වාර්තා විය. කෙසේ වෙතත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන්ම සැලැසුම් කර තිබූ එම වැඩසටහන මඟ හරමින් කටයුතු කළ එවන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නාම ලේඛනයක් තමන් වෙත ලැබීමට සලස්වන ලෙසද ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී හමුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම් දුන් බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්