"මල් හතයි" එක බඹරයි

  👤  1255 readers have read this article !
Published by : MB WEB 2017-09-19 16:20:07

ආලෝක සෙල්ලක්කාර තරුණයෙක්. උපාධියක් හැදෑරීම සඳහා ඔහුගේ මවුපියන් ඔහුව විදේශ රටකට පිටත් කර හරිනවා. ඔවුන් එය කරන්නේ තමා සන්තක සියලු දේම උකස් කරමින්. නමුත් උපාධිය බාගෙට නිම කරන ආලෝක නැවත ලංකාවට පැමිණෙන්නේ මවුපියන්ටද නොදන්වමින්.

තම පාසල් මිතුරා වූ බ්‍රයන්ගේ උදවු ඇතුව කුලී නිවෙසක නතර වන ආලෝක තමන් සිටින්නේ එංගලන්තයේ බව කියමින් දිගින් දිගටම සිය මවුපියන්ව රවටනවා. සතියේ දින 07න් 06ක්ම තරුණියන් 06 දෙනකු සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වන ඔහු මේ තරුණියන් 06 දෙනාටම පෙන්වන්නේ ස්වරූප හයක්. විටක ව්‍යාපාරිකයෙක්ද, තවත් විටෙක ජේ‍යා්තිර්වේදියකුද වන ආලෝක සංගීත විශාරදවරයකු, විශ්වවිද්‍යාල සිසුවකු හා හින්දි භාෂා ප්‍රවීණයකු ලෙසත් වෙනස් වෙනස් නම් යොදාගනිමින් තරුණියන්ව රවටනවා.

ආලෝක මේ තරුණියන්ගෙන් විවිධ වරප්‍රසාද ද ලබාගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකගේ දියණියන් දෙදෙනකු වන මිනුලි හා බිනුලි සමඟත් ස්වරූප දෙකකින් ආලෝක ප්‍රේම සම්බන්ධතා පවත්වන්නේ ඉතා කපටි හා සූක්ෂ්ම ලෙසින්.

ආලෝකගේ ජීවිතයට වන්දනා සමීප වන්නේ මේ අතරතුරදී. ක්‍රමයෙන් ආලෝකගේ සිතේ වන්දනා ගැන සැබෑ ප්‍රේමයක් හටගන්නවා. ආලෝක ගැන සියල්ල දැනගන්නා වන්දනාට ආලෝකගේ ප්‍රේමය අවශ්‍ය වන්නේ නැහැ. ආලෝකට තමා පවත්වාගෙන යන අනෙක් සියලු සම්බන්ධතා නවත්වන්නට වුවමනා වෙනවා. නමුත් ඒ වෙද්දි ආලෝක ඒ සියලු සම්බන්ධතා සමඟින් ගලවාගැනීමට නොහැකි තරම් අවුල්වල පැටලී අවසන්. මේ අතර ආලෝකගේ මවුපියන් උකස් කළ සියලු දේපළ සින්න වෙන්න යනවා.
ආලෝක, මේ සියලු ප්‍රශ්න නිරාකරණය කරගෙන, සිය සත්‍ය ප්‍රේමය ජයගන්නා කතාව තමයි මල් 07 යි කියන්නේ.

කාවිංග පෙරේරා, ශලනි තාරකා, පබෝදා සන්දීපනී, තිසුරි යුවනිකා, රිතූ ආකර්ෂා, පියුමි බොතේජු, රුක්ෂානා දිසානායක, ෂෙහානි කහඳවල, ගිවන්ත අර්ථසාද්, කිංස්ලි ලොස්, ප්‍රියා රණසිංහ, කුසුම් පෙරේරා, සරත් කුලාංග, නෙතලි නානායක්කාර, ජීවන් හඳුන්නෙත්ති, කමල් දේශප්‍රිය, නිර්මා ප්‍රනාන්දු මෙහි රංගනයට එකතු වෙනවා.
රවීන්ද්‍ර විජේරත්නගේ අධ්‍යක්ෂණයක් සහ තරංග දිසානායකගේ නිෂ්පාදනයක් වන 'මල් හතයි' සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 8.00 ට හිරු ටීවී තුළින් ප්‍රේක්ෂකයන් අතරට එනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්