'සෙංකොට්ටං' පොඩිනාට මහින්ද කළ දේ

  👤  3251 readers have read this article !
Published by : MB WEB 2017-09-13 16:05:10

සෙංකොට්ටං නවකතාවේ එන පොඩිනාගේ චරිතය පාදක කරගෙන ගීතයක් නිර්මාණය කරලනේ. මුලින්ම ඒ ගැන කියමු?

ලෝකයේ විවිධ නිර්මාණයන්ට තවත් බහුවිධ නිර්මාණයන් කරනවා. ලංකාවේ නවකතාවක් පාදක කරගෙන ගීතයක් නිර්මාණය වූ අවස්ථා තියෙන්නේ ගොළු හදවත නවකතාවට සහ ආදරණීය වස්සානයට. ඉතිං මමත් මගේ කෘතියට පොඩිනා කියලා ගීතයක් කළා.

'සෙංකොට්ටං' පොතට තව අලුත් ජනප්‍රියත්වයක් ලබාගන්නද මෙහෙම ගීතයක් කළේ?

නැහැ. ජනප්‍රියතාව ලබා ගන්න දේවල් කරනවා නෙවෙයි. නිර්මාණයකින් තව නිර්මාණයක් කිරීම සාමාන්‍ය දෙයක්. සමහර විට තියෙන ජනප්‍රියතාව ගිලිහී යන්න පුළුවනි. ඒ නිසා එහෙම අදහසක් නැහැ. අත්හදා බැලීමක් විතරයි මේක.

දුක් ගී රැල්ල, ලිංගිකත්වය උත්කර්ෂයට නංවන ගීත රූප රචනා, බහුල කාලයක 'පොඩිනා' ගීතයට කුමන ඉඩක් ලැබෙයි කියලද හිතුවේ?

පවතින තරගයට ඇතුළත් වීමට නෙවෙයි අපි ගීතය කළේ. ගීතය ගයන රනිල්ටවත් එහෙම අදහසක් තිබ්බේ නැහැ. අඩුම තරමේ රෝහණ වීරසිංහවත් එහෙම හිතුවේ නෑ.හොඳ නිර්මාණයක් කරලා එය දහදෙනෙක් ඇහුවත් බැලුවත් ඇති කියන මතයක අපි හිටියා. නමුත් අන්තර්ජාලය හරහා පනස්දාහක් පමණ මේ ගීතය බලල තියෙනවා. අපට කිසිම ආකාරයක මුදල් ඉපැයීමක් මේ තුළින් අවශ්‍ය නැහැ.

නවකතාව සහ ගීත රචනයත් ඔබගේ නිසාද රූප රචනයත් ඔබම අධ්‍යක්ෂණය කරන්න හිතුවේ?

එහෙම නැහැ. මම කලා ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂණ කටයුතු කරලා තියෙන නිසා රනිල් මුදුන්කොටුව කිව්වා රූප රචනය මටම කරන්න කියලා. ඉතිං මගේ කෘතියේ ගීතය මම ලියලා එහි රූප රචනයත් අධ්‍යක්ෂණය කළා.

නවකතාවක චරිත පාඨකයා සිතින් මවාගෙන ඉවරයි. නමුත් ඒ චරිත මේ ගීතය තුළින් පාඨකයා දකිනකොට නවකතාවට අසාධාරණයක් වෙන්නේ නැද්ද?

ඒකේ දෙපැත්තක් තියෙනවා. එහෙම අසාර්ථක වුණු අවස්ථා වගේම සාර්ථක වුණු අවස්ථා තියෙනවා. තුංමං හන්දියෙ අබිලිං කියන චරිතයට ජෝ අබේවික්‍රම හරියටම හරි ගියා. නමුත් ලෝක මට්ටමින් කරපු සමහර නිර්මාණ අසාර්ථක වුණු අවස්ථාත් තියෙනවා. කෙසේ වෙතත් කලා කෘතියක් රූප මාධ්‍යයට ගොඩනැඟීම තුළ ඔය අසාධාරණය කලා කෘතියට වෙනවා. නමුත් අපි එම අසාධාරණය අවම වෙන්න මෙම ගීතයට රූප රචනයක් කළා.

කලා කෘතියක් රූප රචනයකට ගැනීම තුළ අසාධාරණයක් විය හැකියි කියලා ඔබ කියනවා. නමුත් ඔබ ඇයි මෙහෙම රූප රචනයක් සෙංකොට්ටං කෘතියට කළේ?

අත්හදා බැලීමක් විදියට එහෙම කළේ. අනෙක පොඩිනා කියන චරිතයට ලොකු අසාධාරණයක් වුණේ නැහැ. අනිත් චරිත වුණත් එහෙමයි. රූප රචනය බලපු බොහෝ පාඨකයන් කිව්වේ සමන් හේමරත්න, නම්බුහේනයාම තමයි කියලා. ඒ කියන්නේ අර හිතේ මැවෙන චරිතය. පොඩිනා චරිතයත් ඊට හුඟාක් සමීපයි. ශ්‍රී පාලි කැම්පස් එකේ තිබුණු සාහිත්‍ය උත්සවයකදී තමයි පොඩිනා චරිතය කරන කෙනා මුණගැහෙන්නේ. මෙම රූප රචනය කරන්න ප්‍රමාද වුණානම් ප්‍රමාද වුණෙත් මේ පොඩිනා චරිතයට ගැළපෙන කෙනා හොය හොයා හිටපු නිසා තමයි.

ගීතය ගායනා කරන්නේ රනිල් මුදුන්කොටුව. ඔහු ජනප්‍රිය ගායකයෙක් නොවෙයි. ඔහුව කොහොමද මෙම ගීතයට තෝරාගන්නේ?

ඔහු අලුත් ගායකයෙක්. ඔහුගේ පළමු ගීතයත් මේකමයි. ඔහු මගෙන් කාලයක් තිස්සේ ගීතයක් ලියල දෙන්න කියලා ඉල්ලමින් හිටිය. ඔහුට දෙන්න කියල නෙවෙයි මේ ගීතය ලිව්වේ. නමුත් ඔහුගේ හඬ හොඳ නිසා ගීතය ඔහුට ගයන්න දුන්න.

ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුද?

ඔව්. හුඟාක් හොඳ ප්‍රතිචාර ගීතයට ලැබෙනවා.

'සෙංකොට්ටං' චිත්‍රපටයකටත් ගේන්න ලෑස්ති වෙනවලු නේද?

ඔව්. ඉදිරියේදී සෙංකොට්ටං කෘතියෙන් චිත්‍රපටයක් එනවා. එදාට මීටත් වඩා වෙනස්කම් සිද්ධ වෙයි.

නුවන් හෙට්ටිආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්