ක්‍රිකට් ගොඩගන්නා මෙහෙයුම අරවින්දට භාර දෙයි

  👤  1896 readers have read this article !
Published by : MB WEB 2017-09-12 12:24:39

වර්තමානයේදී දැඩි පසුබෑමකට ලක්වී ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ඉහළට ඔසවා තැබීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලබන එක් පියවරක් ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම හිටපු ක්‍රිකට් කමිටු සභාපතිවරයාද වන අරවින්ද සිල්වාට ක්‍රිකට් උපදේශක තනතුරක් පිරිනැමීමට යන බවට වාර්තා පළවී ඇත.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඇදවැටීමට හේතු පාදක වූ කරුණුවලටද අදාළව ඉක්මන් විසඳුම් සොයා කටයුතු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කිරීමට යන මෙම මෙහෙයුමේදී අරවින්ද සිල්වා සහ රොෂාන් මහානාම, බේ‍රන්ඩන් කුරුප්පු සහ ග්‍රැහැම් ලැබ්රෝයි යන ක්‍රීඩකයන් පමණක් නොව මහේල ජයවර්ධනගේ සහයෝගයද ලබා ගැනීමට කටයුතු සැලසුම් කරමින් සිටින බවද එකී වාර්තා තවදුරටත් සඳහන් කරයි.

මෙවන් හිටපු ශේ්‍රෂ්ඨ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහයෝගයද ලබා ගෙන කටයුතු කරමින් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන්ට මහජනතාවගෙන් එල්ල වී ඇති අපකීර්තිය මකා ගැනීමටද ක්‍රිකට් ආයතනය ගන්නා මෙම පියවර සැලකිය හැකි වන අතර ජාතික ක්‍රිකට් කණ්ඩායමට අදාළ පුරප්පාඩු ඉදිරි දිනවලදී ඉක්මනින්ම පිරවීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද පැවැසේ.

මේ අනුව පුරප්පාඩු වී ඇති ප්‍රධාන පුහුණුකරු තනතුරට සුදුස්සකු පත් කිරීම ප්‍රමුඛතම කටයුත්ත ලෙස නව ක්‍රිකට් උපදේශකවරයාට පැවැරෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙළේ නිලධාරියකු උපුටා දක්වමින් එකී වාර්තා තවදුරටත් සඳහන් කර ඇත්තේ, රොෂාන් මහානාම, බේ‍රන්ඩන් කුරුප්පු සහ ග්‍රැහැම් ලැබ්රෝයි යන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි. තවද තවත් ක්‍රිකට් ප්‍රවීණයකු වන මහේල ජයවර්ධනද ක්‍රිකට් උපදේශකයකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්තෙන් සිටින බවත් තවදුරටත් පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්