ලංකාව ගෙදරදී ලැබූ නින්දිතම පරාජය උරුමකර ගනී

  👤  2311 readers have read this article !
Published by : MB WEB 2017-09-04 10:16:26

සිරිනාම රාජපක්‍ෂ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..

යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පන්දුවාර 50කට පෙර දැවී යාමත් සහ පන්දු යවන්නන්ගේ දුර්වලතාවන්ද හේතුවෙන් ඊයේ 5වැනි එක්දින තරගයෙන්ද කඩුලු 6ක ජයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම තරග 5කින් යුත් එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජයගත්තේ ඉන්දීය කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළදී මෙතෙක් වාර්තා කළ ඉහළම එක්දින තරගාවලි ජය සටහන් කරමිනි. පසුගිය එක්දින තරගයේදී ශතකයක් ලබා ගත් ඉන්දීය නායක කෝලි ඊයේ පන්දු 116කදී නොදැවී ලබාගත් ලකුණු 109 ජයග්‍රහණයට පාදක වූ අතර, එසේම විරාත් කෝලි මෙම 2017 වසර තුළ ක්‍රීඩා කළ 18වැනි තරගයට ඊයේ සහභාගි වෙමින් එක්දින ලකුණු 1000 සීමාවද පසුකළේය.

ශ්‍රී ලංකාව ලබා දුන් 239ක ඉලක්කය පසුකිරීමට පැමිණි ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු යුගලයේ සම්බන්ධය ලකුණු 17කට සීමා කරමින් 5වැනි පන්දු වාරය යැවූ මාලිංගගේ 4වැනි පන්දුවට ෆයින් ලෙග්හි සිටි මුණවීරට උඩපන්දුවක් ලබා දීමට සලස්වා රහනෙ ලකුණු 5කට දවා ගත් අතර තවත් ලකුණු 12ක් එක්වෙද්දී ෂර්මාද ලකුණු 16කට දැවී ගියේය. විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට පුෂ්පකුමාර අතට උඩපන්දුවක් දීමෙන් එසේ ෂර්මා දැවීයාමෙන් පසුව නායක කෝලිට එක්වූ මනේෂ් පන්ඩේ 3වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 99ක් රැස්කර සිටියදී පන්ඩේ ලකුණු 36කට දැවී ගියේය. ඉන් පසුව කෝලි සහ කේදර් ජාදව් 4වැනි කඩුල්ල සඳහා ලකුණු 109ක සබඳතාවක් ගොඩනැගූ ගමනේදී ජාදව්ගේ 2වැනි එක්දින අර්ධ ශතකයත් කෝලිගේ 30වැනි එක්දින ශතකයත් වාර්තා විය.

වර්ෂාව හේතුවෙන් පැය භාගයක් ප්‍රමාදවී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් දික්වැල්ලට මිනිත්තු 11කට වඩා කඩුල්ලේ සිටින්නට ඉඩ නොදුන් බුවනේශ්වර් කුමාර් මෙම තරගාවලියේ ඔහුගේ පළමු කඩුල්ල ලෙස ඔහු දවාගත්තේය. පන්දු යැවූ කුමාර් විසින්ම උඩපන්දුවක් ලබා ගැනීමෙන් දික්වැල්ල ලකුණු 2කට දැවී යන විට ආරම්භක සබඳතාව ලකුණු 14ක්වූ අතර ඉන් පසුව පැමිණ තම 2වැනි එක්දින තරගය ක්‍රීඩා කළ දිල්ෂාන් මුණවීරද කුමාර්ගේ පන්දුවක් ඉදිරියේ දැවී ගියේ මිඩ් ඕෆ්හි සිටි කෝලි පසුපසට ගොස් අනර්ඝ උඩපන්දු රැකීමක නිරත වූ නිසාය. 7වැනි පන්දුවාරයේදී මුණවීර දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 40ක් වු අතර නායක තරංගට එක්වූ තිරිමාන්න දෙදෙනා තවත් ලකුණු 23ක් එකතු කර සිටියදී එතෙක් වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි තරංග ලකුණු 48කට දවාගන්නට තම පළමු පන්දුවාරයේදීම ජස්ප්‍රිට් බුම්රා සමත් විය.

පන්දු 34කට මුහුණ දෙමින් මිනිත්තු 42ක් කඩුල්ලේ රැඳී සිටි තරංග කඩුලු රකින දෝනි අතට උඩපන්දුවක් දී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 63ට කඩුලු 3ක් සේ සටහන් වූ අතර එතැන් සිට තිරිමාන්න සහ මැතිව්ස් එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 100ක් දක්වා ඉහළ දැම්මේ 34වැනි පන්දුවාරයේ 2වැනි පන්දුවේදීය. ඊට පෙර 32වැනි පන්දුවාරයේ 3වැනි පන්දුවේදී මිනිත්තු 102කදී පන්දු 83ක් වැයකර ලබා ගත් තිරිමාන්නගේ 18වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ අතර තවත් පන්දුවාර 5ක් ගතවෙද්දී මැතිව්ස්ද ඔහුගේ 35වැනි එක් දින අර්ධ ශතකය සටහන් කළේය. කෙසේ වෙතත් ඉනිමේ 39වැනි පන්දුවාරය යැවූ කුමාර්ගේ 5වැනි පන්දුවට පන්දු 102කින් ලකුණු 67ක් ලබා සිටි තිරිමාන්න දැවී ගිය අතර ඔහු සහ මැතිව්ස් අතර 4වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 122කදී නිමාවන විට ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනකු 4වැනි කඩුල්ලට තැබූ නව වාර්තාවක්ද විය.

කෙසේ වෙතත් පන්දු 98කින් ලකුණු 55ක් ලබා සිටි මැතිව්ස් යාදව්ගේ පන්දුවකට දෝනි වෙත උඩපන්දුවක් දී 42වැනි පන්දුවාරයේ 3වැනි පන්දුවට ශ්‍රී ලංකාවේ 5වැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු 194ක් සේ සටහන් වූ අතර ඊට තවත් ලකුණු 44ක් එක්වන විට ඉතිරි කඩුලු 5ම බිඳවැටුණේ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ අනවශ්‍ය ඉක්මන්කම මුසුවූ වගකීමෙන් තොර පිතිහරඹය නිසාය. ඒ අනුව මෙවර එක් දින තරගාවලියේ බුවනේෂ්වර් කුමාර් ලබා ගත් කඩුලු 5ම ඊයේ තරගයේදී පමණක් වාර්තා කිරීමටද අවස්ථාව උදාවූ අතර එම දක්‍ෂතාව නිසාම ඔහු තරගයේ වීරයාද විය. තරගාවලියේ වීරයා ජස්ප්‍රිට් බුම්රාය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව (පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී) 238 (ළහිරු තිරිමාන්න 67, ඇන්ජිලෝ මැතිව්ස් 55, උපුල් තරංග 48, මිලින්ද සිරිවර්ධන 18, බුවනේෂ්වර් කුමාර් 5/42, බුම්රා 2/45)

ඉන්දියාව (පන්දුවාර 46.3කදී කඩුලු 4කට) 239 (විරාත් කෝලි නොදැවී 110, කේදර් යාදව් 63, මනිෂ් පාන්ඩේ 36, මාලිංග 1/35, වනිඳු හසරංග 1/29, විෂ්ව ප්‍රනාන්දු 1/40, පුෂ්පකුමාර 1/40)

ඡායාරූප - නුවන් අමරවංශ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්