කුසල් බලයෙන් ලංකාව අදවත් ගොඩ ගමුද?

  👤  2245 readers have read this article !
Published by : MB WEB 2017-08-31 11:01:31

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා-ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි එක්දින තරගය අද (31දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන්නේ දෙරට අතර මෙම පිටියේදී පැවැත්වෙන 35 වැනි එක්දින තරගය ලෙසිනි.
දෙරට අතර මෙම පිටියේදී පැවැති එම තරග 35 අතුරින් තරග 15ක ජය ලංකාව සතුවත්, තරග 13ක ජය ඉන්දියාව සතුවත් ඇති අතර, තරග 7ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

එක්දින තරගාවලිය 3-0ක් ලෙස මේ වනවිටත් ඉන්දියාව ජයගෙන ඇති හෙයින් ඔවුන් අද තරගයට ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිව සහභාගි වන නමුත් තවත් නැතිවෙන්නට දෙයක් නැති ශ්‍රී ලංකාව අද තරගය ජයගැනීම සඳහා උපරිම උත්සාහය ගන්නවාට සැක නැත.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදීම තුන් ඉරියව්වෙන්ම පෙන්වූ දුර්වලතාව අද තරගයේදී හෝ මඟහැර ගතහොත් ජයග්‍රාහී මාවතට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.. ඉන්දියාවට එරෙහිව මුහුණ දුන් පළමු එක්දින තරගයේදීම (එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී) ලකුණු 89ක් ලබාගත් කුසල් මෙන්ඩිස් පිළිබඳව බොහෝ දෙනකු දැඩි අවධානය යොමුකර ඇති අතර, ඔහු ලබාගන්නා ලකුණු මත ශ්‍රී ලංකාවේ ඉරණම රැඳී පවතින බවද ක්‍රීඩා ලෝලීන්ගේ විශ්වාසය වී තිබේ. ඒ නිසා ඉන්දියාවට එරෙහිව පසුගිය එක්දින තරග තුනේදීම අසාර්ථක වූ ශ්‍රී ලංකා අංක 3 පිතිකරු කුසල් අද ලකුණු අතරට පැමිණියහොත් එය ශ්‍රී ලංකාව වැටී සිටින තැනින් ගොඩඒමට ඉමහත් පිටිවහලක් වනු ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ආබාධ හේතුවෙන් ඉවත්ව සිටින චන්දිමාල්, කපුගෙදර හා ගුණතිලක මෙන්ම තරග තහනමකට ලක්ව සිටින උපුල් තරංගගේ අඩුව පිරිමැසීම සඳහා ඩිල්ෂාන් මුණවීර අද තරගයට යොදවා ගැනීමට ඉඩ ඇති අතර, ඔහු ඊයේ (30දා) ශ්‍රී ලංකා පුහුණු සැසියටද සහභාගි වී තිබිණි.
මේ අතර මෙම තරගාවලියේ පළමු තරගයෙන්ම ඉවතට විසි වූ තිසර පෙරේරාට අද නැවතත් අවස්ථාවක් ලැබීමට ඉඩ ඇති අතර, දුෂ්මන්ත චමීර වෙනුවට ලක්‍ෂාන් සඳකැන් හෝ මලින්ද පුෂ්පකුමාර කණ්ඩායමට එක්වනු ඇතැයිද පැවැසේ.

අද තරගය මෙන්ම ඉරිදා (03දා) තරගයද ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් 2019 ලෝක කුසලාන තරගාවලියට අපහසුවකින් තොරවම පිවිසීමේ හැකියාව මෙන්ම පසුගිය කාලයේදී කණ්ඩායමට බලපා තිබූ පරාජිත කුණාටුව නිමා කරගැනීමටද ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්