ක්‍රිකට් තේරීම් කමිටුව ගෙදර යයි

  👤  1830 readers have read this article !
Published by : MB WEB 2017-08-30 11:43:45

සිරිනාම රාජපක්‍ෂ

සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් පස්දෙනාම සිය තනතුරුවලින් ඊයේ ඉල්ලා අස්වූහ. ඊයේ සවස ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණි සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටු සාමාජිකයෝ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවී ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති අතර ලබන සැප්තැම්බර් මස 7දා සිට ඉල්ලා අස්වීම් ක්‍රියාත්මක වන බවද පැවැසේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සභාපති සනත් ජයසූරිය ඇතුළු රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත,අසංක ගුරුසිංහ සහ රංජිත් මධුරසිංහ යන පස්දෙනාගෙන් සමන්විත වූ අතර පසුගිය වසරේ මැයි මස 16 වැනිදා සිට වසරකට පත්වූ මෙම කමිටුවේ සේවා කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තීරණය කරන ලදී. කෙසේ වෙතත් මෙම හදිසි ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව අසාර්ථක වීම බවට පැවැසෙන අතර ඔවුන් ඊයේ පැමිණ ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සනාථ කළේය.

තවද තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී නායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා පිලේ චාමර කපුගෙදර ආබාධයකට ලක්වීම හේතුවෙන් හෙට තරගයට ක්‍රීඩා නොකරන අතර ඔහු පිටකොන්දේ ආබාධයක් සහිතව සිටියදී කණ්ඩායමට තෝරා ගැනීම සම්බන්ධයෙන් කණ්ඩායමේ අභ්‍යාසක නික් ලී හා භෞතචිකිත්සකවරයාගෙන් නිදහසට කරුණු විමසා
පරීක්‍ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ වෙත නියෝග කර ඇතැයිද වාර්තාවේ. ඊට අමතරව පසුගිය තුන්වැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කරමින් නායක කපුගෙදර කණ්ඩායමේ සැලැසුමට පටහැනිව ක්‍රියා කිරීම ගැනද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇමැතිවරයා තවදුරටත් දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර හෙට තරගයට නායකයකු තෝරා ගැනීමේ ගැටලුවට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මුහුණ දී සිටින අතර ඇන්ජිලෝ මැතිව්ස් හෙට තරගයට නායකත්වය දීම ප්‍රතික්ෂේප කර ඇති නිසා බොහෝ විට ශ්‍රී ලංකා පිලේ නායකත්වය ලසිත් මාලිංගට පැවැරෙනු ඇතැයි පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්