රොෂාන්ගේ පූජනීයයි ආදරේ රසිකයන් අතරට

  👤  2308 readers have read this article !
Published by : MB WEB 2017-08-26 16:18:26

රොෂාන් ප්‍රසංගයට ලෑස්තියි නේද?

ඔව්. මම ඒකපුද්ගල ප්‍රසංගයක් කරන්න හිතුවා. 'පූජනීයයි ආදරේ Live in Concert' කියලා. ඉතින් පහුගිය දවස් ටිකේම ඒ වෙනුවෙන් තමයි මහන්සි වුණේ.

හදිස්සියේම මෙහෙම ප්‍රසංගයක් පවත්වන්න හිතුවේ ඇයි?

මේ වෙද්දි මම ගායකයෙක් විදියට සංගීත ක්ෂේත්‍රයට පිවිසිලා වසර 15ක් වෙනවා. ඒ කාලය ඇතුළත මගේ ගීත විශාල සංඛ්‍යාවක් රසිකයන් විසින් ජනප්‍රියත්වයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ විදියට මගේ රසිකයෝ මට ගෙනැල්ලා දීපු ගෞරවය වෙනුවෙන් පෙරළා මගේ ප්‍රණාමය පුද කරන්න තමයි මම මේ ප්‍රසංගය පවත්වන්න තීරණය කළේ.

ප්‍රසංගය පැවැත්වෙන්නේ කවදා කොහෙදීද කියලත් කියමු?

අගෝස්තු 27 වැනිදා රාත්‍රි 7ට නෙලුම් පොකුණ රඟහලේදී තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ.

ප්‍රසංගයේදී මොන වගේ වෙනසක්ද රසිකයන් වෙනුවෙන් තිළිණ කරන්න බලාපොරොත්තු වෙන්නේ?

ප්‍රධානම වෙනස විදියට ප්‍රසංගයේදී මගේ අලුත්ම ගීතයක් එළිදැක්වීම සිදු වෙනවා. ඒ වගේම ප්‍රසංගයේ සංගීතමය පැත්ත කතා කළොත් Flash Back සංගීත කණ්ඩායම සමඟින් තවත් වාද්‍ය වෘන්දයක් එකතු වුණු සංගීත සුසංයෝගයක් ප්‍රසංගයේදී විඳගන්න ලැබෙයි. ඉතින් ඒකත් වෙනසක්. අනෙක් අතට මේ ප්‍රසංගය චන්න විජේවර්ධනයන් සහ ටෝනි ෆර්ඩිනෑන්ඩස් කියන දෙපළගේ නර්තන මෙහෙයවීමෙන් අලංකාරවත් වෙනවා. ඒ වගේම තවත් සුවිශේෂී ආරාධිත ශිල්පීන් පිරිසකුත් මේ වෙනුවෙන් ගායනයෙන් දායක වෙනවා.

ඒ සුවිශේෂී පිරිසත් මතක් කරමු?

විශේෂයෙන්ම නන්දා මාලනී, වික්ටර් රත්නායක, එඩ්වඩ් ජයකොඩි වගේ ප්‍රවීණතම ශිල්පීන් පිරිසක් මේ වෙනුවෙන් සහභාගි වෙනවා. ඒ වගේම නළු නිළියන් සහ ගායන ක්ෂේත්‍රයේ මගේ සමීපතමයන් පිරිසකුත් මගේ පවුලේ අයත් මේ ප්‍රසංගය වෙනුවෙන් සහභාගි වෙන්න නියමිතයි.

පසුගිය කාලෙම සංගීත කණ්ඩායමක් විදියට ගීත නිකුත් කළා මිසක් රොෂාන්ගෙම කියලා ගීතයක් එළිදැක්වූවේ නැති නිසාද අලුත් ගීතයකුත් එළිදක්වන්න මේ ප්‍රසංගය අවස්ථාවක් කරගත්තේ?

මෙහෙමයි, කොච්චර ගීත ගායනා කළත් මගේ රසිකයන්ගෙන් වැඩිම ඉල්ලුමක් ආවේ මගේ මුල් ගීතවලට. උදාහරණයක් විදියට තව එකසැරයක්, මා සිත බැඳුණේ, සුපෙම් සුවඳක්, ඔබට තියෙන ආදරේ වගේ ගීත ගත්තොත් අදටත් ඒ ගීත වෙනුවෙන් රසික ආකර්ෂණය වැඩියි. ඉතින් මම හිතුවා මේ දැන් යන රැල්ලෙන් මිදිලා අර පැරැණි රසය තියෙන ගීත ක්‍රමයට මම ආයෙත් එන්න ඕන කියලා. ඉතින් ඒ පරිවර්තනය කරන්න තමයි මම මේ අලුත් ගීතය නිර්මාණය කරලා රූප රචනයත් එක්කම ප්‍රසංගය දාට එළිදක්වන්න හිතුවේ.

කොළඹින් එළිදකින "පූජනීයයි ආදරේ" රට වටේ ගෙනියන්නත් අදහසක් තියෙනවාද?

පහළොස් වසරක සංගීත ගමනේදී මට හයියක් වුණු රසිකයන්ට ප්‍රණාමය පුද කරන එක විතරයි මේ ප්‍රසංගයේ අරමුණ වුණේ. ඉතින් එතැනින් එහාට මේ ප්‍රසංගය ගෙනියනවා කියලා තීරණය කරලා නැහැ. නමුත් මේ ප්‍රසංගයෙන් පස්සේ රසිකයෝ මේක දිගටම ඉල්ලුවොත් මම කල්පනා කරලා බලනවා මෙතැනින් එහාටත් මේ ප්‍රසංගය ගෙනියන්න පුළුවන්ද කියලා.

මේ දවස්වල ප්‍රසංග වේදිකාවේ ඇහෙන්නෙත් අඬන සින්දුමයි කියලා මතයක් තියෙනවා. රොෂාන් ඒ ගැන හිතන්නේ මොකක්ද?

ඕක පටන් ගත්තේ මගේම සින්දුවකින්. මම ඔයා නිසා හඬලා කියන ගීතය කිව්වට පස්සේ සමහරු ඒක පස්සෙම එල්ලිලා ඒ ආරෙම ගීත කරන්න ගත්තා. නමුත් මගේ ගීතයේ වරදකුත් මම දකින්නේ නැහැ. මොකද ඒක නරකයි නම් මෙච්චර ජනප්‍රිය වෙන්නේ නැහැනේ. කොටින්ම 2013 වසරේ "People Awards" පවා හම්බවුණේ ඒකට. ඉතින් අපේ සමහරු එකක් අල්ලන් ඒක පස්සෙම යන එක තමයි මම දකින වැරැද්ද.

ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම දීර්ඝ කාලයක් සංගීත කණ්ඩායම් අතර ඉහළින්ම වැජඹීමේ රහසක් ඇති නේද?

මම හිතන්නේ අපි පවුලක් විදියට වැඩ කරන එක තමයි මේකට රහස වෙන්න ඕන. ඒ හැරුණාම අපි සැලැස්මක් සහ විනයක් එක්ක තමයි අපේ හැම ප්‍රසංගයකටම ඉදිරිපත් වන්නේ. ඉතින් අපි ගොඩ නඟාගත්ත ඒ ක්‍රමය ඇතුළේ අපිත් එක්ක වැඩකරපු අය දන්නවා ෆ්ලෑෂ්බෑක්ලා මොන විදියටද වැඩ කරන්නේ කියලා. අනෙක මිනිස්සු කැමැති තමන් කරන වැඩේ හොඳම විදියට කරගන්න. ඉතින් සංගීත කණ්ඩායමක් විදියට අපේ අරමුණත් වෙන්නේ කරන දේ හරි විදියට හොඳින්ම කරලා දෙන එක.

ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ ඉදිරි වැඩකටයුතු මොනවාද?

අපිට ඩුබායි, ඕස්ට්‍රේලියා, ඇමෙරිකා වගේ රටවල් කිහිපයකම ප්‍රසංග වෙනුවෙන් සහභාගි වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ලංකාව තුළත් සුපුරුදු පරිදි ප්‍රසංගවලට සහභාගි වෙන්න සූදානමින් ඉන්නවා. නමුත් ප්‍රසංග වැඩි කරගැනීම නොවෙයි දැන් අපේ අරමුණ. ස්ටේජ්, ලයිට්ස්, සවුන්ඩ්ස් වගේම කොස්ටියුම්වලින් පවා රසිකයන්ට හොඳ දෙයක් දෙන එක තමයි අපේ බලාපොරොත්තුව.

අවසාන වශයෙන් රසිකයන්ට කරන්න තියෙන්නේ මොන වගේ ආරාධනයක්ද?

ඇත්තටම මම බොහොම පුංචි තැනක හිටපු කෙනෙක්. මාව මේ තැනට ගෙනාවේ මගේ රසිකයෝ. ඉතින් මගේ ප්‍රසංගයට සමහරුන්ට එන්න පුළුවන් වෙයි. සමහරුන්ට එන්න බැරි වෙයි. නමුත් ඒ හැමෝගෙම ආශීර්වාදය මාත් එක්ක තියෙනවා කියලා මම දන්නවා. ඉතින් ඒ හැමෝටම මම ආරාධනා කරනවා දිගටම මාත් එක්ක රැඳී හිඳිමින් මට ශක්තියක් වෙන්න කියලා.

රුවින්ද වීරසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්