ධනවතෙක්, කුලවතෙක් වුණත් ප්‍රේමය ළඟ අසරණයි

  👤  2570 readers have read this article !
Published by : MB WEB 2017-08-23 17:05:30

සඳකත් පිනි දිය දිය වී ගලනා - සීතල කඳු අතරේ
හද ගොළු වී ඉකි බිඳ ඔබ හඬනා හඬ - මා සවනේ පෑදේ
නිසංසලේ රෑ අහසේ - නිසංසලේ රෑ ගන බොල් අහසේ
මිලාන වූ තරු එළියේ - ඔබේ නුවන් මිණි පහන් නැඟී
ඇවිළේ මා දෑසේ සුසුම් හෙළන තුරු ලතා ළපල්ලේ - සිහිල් සුළඟ හා වෙළී
මගේ කවුළු ‍ෙදාර තුළින් එබී - ඔබ සොයා ඇදේ

ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය - ලයනල් අල්ගම
පද රචනය - මහගමසේකර

පරසතු මල් චිත්‍රපටයේ තිබෙන ගීත හතරෙන් එකක් වන "සඳකත් පිනි දිය" කියන ගීතය තමයි මගේ ආදරණීයම ගීතය. එහි පද රචකයා මහගමසේකරයන්. සංගීතය ලයනල් අල්ගමගේ. එය ගායනා කරන්නේ අමරදේව මහත්තයා. මේ සියල්ල එක්ක මට තියෙන බැඳීම වෙනත් එකක්. මගේ ආසම චිත්‍රපටය පරසතු මල්. ආසම ගීතයත් එහි එන මෙම සඳකත් පිනි දිය ගීතය. ආසම ගායකයත් අමරදේව සූරීන්. ආසම පද රචකයා මහගමසේකර.

මෙම චිත්‍රපටය තුළ සිටින බොනී මහත්තයාගේ ආදරයේ වේදනාව තමයි මේ ගීතයේ තියෙන්නේ. ඇත්තටම ඔහු ඕනෑම ගැහැනියකගේ හිත ගැනීමට හැකි කෙනෙක්. නමුත් ඔහු ආදරය කරන එකම ගැහැනිය ඔහුට අකැමැතියි. නමුත් වෙනත් ඕනෑම ගැහැනියක් බොනී මහත්තයා තම ග්‍රහණයට හසු කර ගන්නවා කිසිම වෙහෙසක් නොමැතිව. එහෙත් බොනී නැමැත්තා කැමැතිම ගැහැනිය ඔහුට කවදාවත් හිමි කර ගැනීමට නොහැකි වෙනවා. අවසානයේදී ඇය ඔහුව තේරුම් ගත්තත් බොනීට සමීප වීමට ඒ අවස්ථාවේ ඇයට හැකියාවක් නැති වෙනවා.

මෙන්න මේ සිදුවීමත් එක්ක තමයි මෙම ගීතය ජනතාව අතරට යන්නේ. මෙහි තවත් ගීත තුනක් තියෙනවා. නමුත් "පරසතු මල්" චිත්‍රපටයේ ගීත සියල්ලටම මං පුදුම ආසයි. වැඩිපුරම ආසම ගීතය තමයි සඳකැන් පිනි දිය ගීතය.

බොනී මහත්තයට මං ආදරෙයි. ඒ වගේම ඔහුගේ හිතේ කැකෑරෙන ඔහුගේ හිතේ පිරිලා තිබ්බ ආදරයටත් මං ආදරෙයි. අන්න ඒ ආදරේ මනාවට පිරිලා තියෙන ගීතයටත් මං ආදරෙයි. මෙම ගීතය පුරාවටම තියෙන්නේ ඒ ආදරය.

බොනී මහත්තයා ඉතා රාගාධික කෙනෙක්. චිත්‍රපටය පුරාවට එහෙම තමයි ඔහු හැසිරෙන්නේ.

නමුත් ඔහු ආදරය දෙන්න හිත සරසවා ගන්නේ ඔහු දිහා හැරිලවත් නොබලන කෙනෙක්ට. නමුත් මෙම ප්‍රේමය නොමැතිව ඔහු මියයනවා. එය විශිෂ්ටතම ප්‍රේම කතාවක්. මං දන්න කාලේ ඉඳලා ආසම ගීතය මේක. හේතුව උපරිම ධනය, බලය නිලය කියන සියලු සාධක තිබියදී ඔහු බලහත්කාරකම් නොකර ප්‍රේමය වෙනුවෙන් බලා හිඳීම.

පසුව ඔහුට ප්‍රේමය නොලැබුණත් ඒ ප්‍රේමය බලාපොරොත්තුවෙන් සිටියදී ඔහුගේ සිතිවිලි පද රචකයකුට කියලා ලියවා ගන්නවා. මධුවිතක් පානය කරන රැයක ඔහු එය ගායනා කරවනවා. එහිදී මෙම වේදනාව මටත් දැනෙනවා. කමලා ප්‍රේම කරන්නේ සිරිසේනට. ඒ බව බොනී දන්නවා. නමුත් බොනී මහත්තයාට හිත යන්නෙම කමලාට. ඉතින් හදවත ගොළු වෙලා ඉකිබිඳිනවා සඳෙන් වැටෙන පිනිවල සීතල ඇති රැයක.

මෙම ගොළු වීම හටගත්තේ මෙම ප්‍රේමය නිසා යැයි ඔහු සඳහන් කරනවා. ලෝකයේ ඕනෑම චණ්ඩියෙක්, ධනවතෙක්, කුලවතෙක් සැබෑ ප්‍රේමය ළඟ අසරණ වෙනවා. අහස නිසංසලයි. හරියට කමලා වගේ වෙන්න ඇති. නමුත් ඔහුට ඒ අහස කිසිවක් නැති හිස් අහසක් ඇති රාත්‍රියක්. තරු සියල්ල මිය ගොස්. ඉතින් තවත් එය ගන රාත්‍රියක්ම විතරයි.

ඒ කියන්නේ ඇය නැතිව ඇගේ ප්‍රේමය නැතිව බොනීට කිසිවක් පලක් නැති බව. එහෙම තියෙන රාත්‍රින්වල ඇගේ දෑස් ඔහුට පෙනෙන්න ගන්නවා. එවිට බොනීගේ දෑස් ගිනි ගන්නවා. ඒ කිසිම එළියක් නැති රැයක ඇගේ ඇස් කොයි තරම් අපූරුද කියලා දැනුණත් ඒ දෑස් කවදාවත් බොනී මහත්තයාට ලැබෙන්නේ නෑ. හැමදාම සුසුම් හෙළනවා ඇරෙන්න කමලාගේ ප්‍රේමය ලබා ගන්න බැරි දුකට වෙන කුමක් කරන්නද?

ඇයව දකින්නට බලන්නට යෑම පවා ඔහුට අසීරුයි. මොකද බොනී මහත්තයාට තියෙන්නේ ගමේ හොඳ නමක් නෙවෙයි. ඉතින් සිහිල් සුළඟ සමඟ තමයි ඇයව හොයාගෙන යන්න වෙන්නේ. ඔහුගේ ආදරය අවසානයේ ඇය තේරුම් ගත්තත් ඇයට නැවත හැරෙන්න බෑ. නොලැබුණ ප්‍රේමණීය ශෝකාන්තයක් ඒ ගීතය අවසානය තෙක්ම තියෙනවා.

නුවන් හෙට්ටිආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්